2020 ජනවාරි 11 වන සෙනසුරාදා

ඒ ඉල්ලීම් මට අහක දාන්න බැහැ

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 224

ගම්‍යා රඟපෑ යූ ටර්න් චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
මේ දිනවල චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. වෙනස් විදිහේ චිත්‍රපටයක් කියලා දැනටමත් ප්‍රේක්ෂකයන්ට අවබෝධ වෙලයි තියෙන්නෙ. ඒ වගේම මේ කතාවේ තියෙන නැවුම් බවට බොහෝ දෙනා කැමතියි. අපි සාමාන්‍යයෙන් දකින තේමාවලට වඩා වෙනස් වුණු චිත්‍රපටයක් විදිහට මම යූ ටර්න් චිත්‍රපටය දකිනවා. ඇත්තටම මම හිතන විදිහට මේක චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදන කණ්ඩායම බාරගත්ත  අභියෝගයක්. මගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර හොඳයි. බොහෝ දෙනා මට කියපු දෙයක් තමයි ඔයාගේ චරිතය නිසා දුක හිතුණා කියලා. ඒ දැනුණු හැඟීම ඇත්තටම ගොඩක් වටිනවා. හොඳ නරක කියන මතයට වඩා දැනෙන හැඟීම නිර්මාණකරුවාට ගොඩක් වටිනවා. මම කරපු චරිතය ප්‍රේක්ෂකයාට දැනුණානම් ඒක මට ගොඩක් වටිනවා.

මේ ගම්‍යා රඟපෑ දෙවැනි චිත්‍රපටයයි. නමුත් ප්‍රේක්ෂකයා ඔබේ රංගනය දුටු මුල්ම චිත්‍රපටයයි. මේ ආරාධනාව ලැබුණේ කොහොමද..?
මම මුලින්ම රඟපෑවේ 1970 love story චිත්‍රපටයේ. ඒක අධ්‍යක්ෂණය කළේ අනුර ජයවර්ධන. එහි කැමරා අධ්‍යක්ෂණය කළේ චන්න දේශප්‍රිය. යූ ටර්න් චිත්‍රපටයේ තිරපිටපත කළෙත් අනුර ජයවර්ධනයි. චන්න දේශප්‍රිය මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. මේ දෙන්නා එක්ක මම 1970 love story චිත්‍රපටය හරහා වැඩ කරලා තිබුණු නිසයි මේ චිත්‍රපටයට ආරාධනාව ලැබුණෙ. මම රඟපාපු චරිතය ප්‍රධාන චරිතයක් වුණාට මුළු චිත්‍රපටය පුරාම දිවෙන චරිතයක් නෙමේ. ලංකාවේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න කලින් මම ඉන්දියාවේදී චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. ඒකෙන් දෙකක් ප්‍රධාන චරිතවලිනුත් එකක් ගීතයකටත් පෙනී සිටියා. ප්‍රධාන චරිත දෙකක් කරලා තිබුණු නිසාම මේක මගේ වෘත්තියට බලපාන්නෙ කොහොමද කියලා මට පොඩි චකිතයකුත් ඇතිවුණා. අනුර අයියගෙත් චන්න අයියගෙත් ඉල්ලීම මට අහක දාන්න බැහැ. මම රඟපාපු චරිතය මුළු චිත්‍රපටය පුරාම දිවෙන්නෙ නැති වුණත් ඒ චරිතය ප්‍රබලයි. ඒ වගේම මේ චිත්‍රපටයට දායක වුණු කලාකරුවනුත් ප්‍රවීණයි. එයාලා එකතුවෙලා කරන මේ කලා නිර්මාණය සාර්ථක සහ හොඳ නිර්මාණයක් වෙයි කියලා මම විශ්වාස කළා. ඒකෙ යම් කොටසක් හෝ වෙන්න මට කැමැත්තක් තිබුණා.

මේ දකින්නෙ කුඩා කාලෙ දැකපු හීනයක්ද?
ඔව්.. මට පොඩි කාලේ ඉඳන්ම හීන ගොඩක් තිබුණා. මම එක දේකට කොටුවෙන්න ඕනෙ කියලා හිතපු කෙනෙක් නෙමේ. මම හය වසර වෙනකම්ම මියුසියස් විද්‍යාලයටයි ගියේ. ඊටපස්සෙ මම හැදුණේ වැඩුණේ අධ්‍යාපනය හැදෑරුවේ ඔස්ට්‍රේලියාවෙ. මියුසියස් විද්‍යාලයෙදී මම පන්තියේ මේස උඩ නැඟගෙන නාට්‍ය පෙන්නපු කෙනෙක්. මමම නාට්‍ය හදලා, මමම අධ්‍යක්ෂණය කරලා, මමම රඟපාපු හරි සුන්දර ළමා කාලයක් මට තිබුණා. ගෙදරදීත් එහෙමයි. ඒ හැමදේම එක්ක මම අධ්‍යාපනය පැත්තෙනුත් යම් දක්ෂතාවයක් දැක්වුවා. අදටත් මම මගේ දෙවැනි පශ්චාත් උපාධිය හදාරමින් ඉන්නවා. ඊට අමතරව නර්තනය පවා මම පොඩි කාලේ ඉඳන්ම හැදෑරුවා. ඉන්දියාවට ගිහින් පූර්ණකාලීන වශයෙන් රංගනය වෘත්තීය මට්ටමෙන් හැදෑරුවා. ඒ වගේම උර්දු, හින්දී, දමිළ භාෂා හැදෑරුවා. සිහිනයක් වුණත් අපි හැබෑකර ගනිද්දී ඒකෙ යම්කිසි වටිනාකමක් තියෙන්න ඕනෙ.

මේ අතරේදී ගම්‍යා Miss Sri Lanka තරගයටත් සහභාගි වුණා..?
ඔව්.. 2009 වසරේදී මම Miss Sri Lanka තරගය ජයග්‍රහණය කළා. එතනදී මට අවධානය ලැබුණා. නමුත් කොහොමත් මට ඕන වුණේ යම්කිසි හැදෑරීමක් කරලා ක්‍රමවේදයක් ඇතිව අපි කරන වෘත්තියට යොමුවෙන්න. මේක මේ වෘත්තියට කඩා වැදිලා කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ පිළිබඳව හැදෑරීමක් කළ යුතු වෙනවා. ඒ පසුබිමත් එක්කම තමයි මම රංගනයට එකතු වෙන්නෙ.

ලංකාවේ දායක වුණු නිර්මාණවලදී ඉන්දියාවෙන් ලැබුණු ආරම්භය ලොකු පිටිවහලක් වෙන්න ඇති නේද..?
ඔව්.. අනිවාර්යෙන්ම. රංගනය කියන දේ යම් කලාවක් වගේම ඒකෙ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. තාක්ෂණය, දෙබස්, හඬකැවීම් වගේ දේවල් අපි හැදෑරීම් මගිනුයි ඉගෙන ගත්තෙ. අත්දැකීම් කියනදේත් හරිම වැදගත් වෙනවා. අතිදක්ෂ රංගන ශිල්පියකු තුළ අත්දැකීම් රාශියක් තියෙනවා. ඒක විවිධ අධ්‍යක්ෂකවරු, කැමරා අධ්‍යක්ෂකවරු යටතේ වැඩ කිරීමෙන් ටිකෙන් ටික දියුණුවෙන දෙයක්. ඉන්දියාවේ රංගනය තුළ යම්කිසි දෙයකට තේරීපත් වෙද්දී පරීක්ෂණ බොහොමයක් තියෙනවා. ඒක ලංකාවේ ගොඩක් අඩුයි. දවසකට අවම වශයෙන් එකයි. වැඩිම වුණොත් හතරක පහක පෙනී සිටින දවසුත් තියෙනවා. ඉන්දියාවේදී සිය දහස් ගණන් චිත්‍රපටවලට වාර්තා වැඩසටහන්වලට වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිට කරපු පරීක්ෂණවලට මම මුහුණදීලා තියෙනවා. හැමදාම කරන්න ලැබුණෙ වෙනස් චරිත. ඒක හරියට චිත්‍රපට ගණනාවක රඟපාපු අත්දැකීම් ගොන්නක්. විනාඩියෙන් දෙකෙන් ඒ කියන චරිතයට හැඩගැසිය යුතු පරීක්ෂණ බොහොමයකට මම ඉන්දියාවේදී මුහුණදීලා තියෙනවා. ඒ දේවල්වලින් බොහෝවිට තමන් තුළ තියෙන කලාව දියුණු වෙනවා කියලා මම විශ්වාස කරනවා. ලංකාවේදී ඉතා දක්ෂ හොඳ නළු නිළි පිරිසක් එක්ක මට වැඩ කරගන්න අවස්ථාව ලැබුණා. මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, හේමාල්, අශාන් වගේ බොහෝ දෙනෙක් දිහා බලලා ඉගෙනගන්න ලැබුණු බොහෝ දේවල් තියෙනවා. 

ඉන්දියාවෙන් රංගනය පිළිබඳව කළ හැදෑරීම් හා අත්දැකීම් එක්ක ලංකාවේ නිර්මාණවලට ඔබ සම්බන්ධ වෙන්නෙ ප්‍රමාද වෙලයි..?
ඔව්.. ඉන්දියාවේ අවුරුදු හයක් හිටපු නිසා සමහරවිට ලංකාවේ නිර්මාණවලට මාව අමතක වෙන්න ඇති කියලා හිතෙනවා. ඉන්දියාවට යන්න පෙර මම සිරස මාධ්‍යයේ නිවේදන කටයුත්තක් සඳහා යම්කිසි පරීක්ෂණයකට සහභාගිවෙලා තිබුණා. ඒ හරහා සිරස මාධ්‍යයට මාව මතකයේ තිබුණා. ඒ මතකය නිසාමයි එයාලා කරන රියැලිටි වැඩසටහනක නිවේදනයට මට ආරාධනා ලැබුණෙ. ඒ තුළින් මගේ නර්තන හැකියාව, ගායන හැකියාව, රංගන හැකියාව එක වැඩසටහනක් හරහා මුළු රටටම පෙන්නන්න අවස්ථාව ලැබුණා. ඊටපස්සෙ තමයි මට රංගනයට ආරාධනා ලැබුණෙ. කොහොමත් මම වෘත්තීය වැඩ ප්‍රමිතියකින් කරන කෙනෙක්. වෙලාවට එන එක, වෙලාවට සූදානම්ව ඉන්න එකේ සිටම මම වෘත්තීමය ප්‍රමිතියක් ඇතිව නිර්මාණවලට සම්බන්ධවෙන කෙනෙක්. ඒ හැමදේම මම ඉගෙන ගත්තෙ ඉන්දියාවෙන්.

යූ ටර්න් චිත්‍රපටයේ ගම්‍යා වැඩිපුරම රඟපාන්නෙ කුඩා දියණියක් සමඟයි..?
ඔව්.. මුල් දවසේ ඉඳන්ම මම ඒ චූටි දූ එක්ක යම්කිසි මිතුරුකමක් ගොඩනගා ගත්තා. ඒ මිතුරුකම නිසාම තමයි ඉතා කටුක දුෂ්කර රූගත කිරීම් පවා සාර්ථකව කරගන්න පුළුවන් වුණේ. ඒ කුඩා දියණිය ඉතා වෙහෙසකර තත්ත්වයට පවා පත් වුණා. නිදිමැරීම, වැස්සට තෙමීම අතිශය දුෂ්කර වුණා. නමුත් ඒ හැමතැනකදීම ඒ පුංචි දරුවා වෘත්තීමය රංගන ස්වරූපයකුයි පෙන්නුම් කළේ. ඕනෑම දේකට හා කිව්වා. ඒ වගේ පොඩි දරුවෙක් එක්ක වැඩ කරද්දී එයාගේ මව්පියන්ගෙ කැපවීමත් හරිම වැදගත්. මේ දරුවාගේ අම්මා තාත්තා ඉතාම සහයෝගයෙන් අපිට උදව් කළා. මම ස්කූටරයක් පදින්න පුරුදු වුණේ මේ චිත්‍රපටයෙනුයි. ඒ වෙලාවේදී පවා ඒ මව්පියන් බය නැතිව ඒ දරුවාව මගේ ස්කූටරයේ නැග්ගුවා. ඒ විශ්වසනීය බව හරියට වටිනවා.  

යූ ටර්න් චිත්‍රපටයෙන් පසුව වෙනත් නිර්මාණවලට දායක වෙන්න ගම්‍යාට අවස්ථාව ලැබුණෙ නැද්ද..?
1970 love story චිත්‍රපටයෙන් පස්සෙ මට විවිධ සිනමා කෘතීන් වෙනුවෙන් ආරාධනා ලැබුණා. දැනුත් එහෙමයි. නමුත් ලංකාවේ නිර්මාණයකට ආරාධනා කරලා ඒක කරන්න යන කාලය ටිකක් වැඩියි. දැනට නිර්මාණ කිහිපයකටම කතා කරලා තියෙනවා. බලමු.. ඉදිරියේදී ඒ ගැන කතා කරමු. මම පවුලේ එකම දරුවා. මගේ අම්මා තාත්තා දෙන්නම ඔස්ට්‍රේලියාවේ පදිංචිවෙලා ඉන්නෙ. ඔස්ට්‍රේලියාවේ නිර්මාණවලටත් මම දායක වෙනවා. ළඟදීත් වෙළෙඳ දැන්වීමකට සහභාගි වුණා. නමුත් මේ දිනවල වැඩිපුරම ඉන්නෙ ලංකාවේ.

 

► Text - Jayamali   /   Pic -Sumudu