2020 ජනවාරි 11 වන සෙනසුරාදා

රෝයිට අද වෙනකම් රජයෙන් කිසිම ගරු කිරීමක්, උපහාරයක් ලැබුණෙ නැහැ

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 111

ගල්කිස්ස බෞද්ධ බාලිකාවේත්, කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයෙත් ඉගෙන ගත්තු ඔබේ පාසල් කාලය මතක් කළොත්..?
ළමා කාලයේදී මම ඇත්තටම නිහඬ චරිතයක්. ඒ වුණාට බුද්ධඝෝෂ විද්‍යාලයේදී ක්‍රීඩා තරගවලට, විවිධ ප්‍රසංගවලට මාව බලෙන්ම වගේ එකතු කර ගත්තා. මට තාම මතකයි පාසලේ තිබුණු විවිධ ප්‍රසංගයකදී මාව මනමේ කුමරියට තෝරාගත්තා. මුලදී මම අකමැති වුණත් පස්සෙ හරිම ආසාවෙන් ඒකට සම්බන්ධ වුණා.

ඔබේ පවුලේ කිසිම කෙනෙක් සිනමාවට සම්බන්ධ නැහැ නේද..?
නැහැ. පවුලේ කවුරුවත් සිනමාවට සම්බන්ධ නැහැ. අඩුම තරමේ මගේ තාත්තා කලාවට එහෙම ලොකු කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමේ. හැබැයි අම්මා කලාවට හරි කැමතියි. අදටත් මගේ සහෝදර සහෝදරියන් කවුරුවත් කලාවට සම්බන්ධ අය නෙමේ. තාත්තානම් මම කලාව ගැන ගෙදරදී කතා කරනවාටත් කැමති වුණේ නැහැ. තාත්තාට ඕන වුණේ මාව උසස් අධ්‍යාපනයට යොමු කරවන්නයි. මගේ පවුලේ ගැහැනු ළමයි හත් දෙනයි පිරිමි ළමයි දෙන්නයි. පවුලේ මම දෙවැන්නා.

සහෝදර සහෝදරියන් එක්ක ගෙවුණු කාලය කොහොමද..?
හරිම සුන්දරයි. අපි ළමා කාලයෙදී පුදුම විදිහට විනෝද වුණා. අපිට සෙල්ලම් කරන්න අහළ පහළ ළමයි ඕන වුණේ නැහැ. ගෙදරම හිටපු ළමයි ටික එකතු වුණාම ඒ හොඳටම ඇති. එහෙම එකතුවෙලා සෙල්ලම් කරද්දී අපිට හැමදාම සිංහල අලුත් අවුරුද්ද වගේ තමයි. හරිම විනෝදකාමීයි. ගෙදර හැමවෙලේම අපේ කිචි කිචි ගාන සද්දෙයි ඇහුණෙ. පුංචි කාලේ එකට සෙල්ලම් කළා. සමහර වෙලාවට රණ්ඩු වුණා. තරහ වුණා. හැබැයි ඒ තරහවීම් බොහොම පොඩි කාලයයි. ආයෙත් අපි එකට එකතුවෙලා සෙල්ලම් කළා. ඇත්තටම ඒ කාලය ගැන හිතද්දී හිතට දැනෙන්නේ ලොකු සතුටක්.

පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද..?
පුංචි කාලේ මම හරිම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒකට ප්‍රධාන හේතුව වුණේ බොහෝ දෙනා මාව දිරිමත් කළේ &කවදාහරි ගුවන් සේවිකාවක් වෙන්න කියලම තමයි. ඒ කාලේ මගේ වයසේ අනිත් ළමයින්ට වඩා මම ටිකක් උසයි. ඔයා හුඟක් උසයි. ඔයාට හොඳ පෙනුමක් තියෙනවා කියලා ඒ අය මට කියද්දී ඒ කාලේ ගුවන් සේවිකාවක් නොවුණත් මම හිතින් ගුවන් සේවිකාවක් වෙලා ඉවරයි. මේ අතරේ මගේ යාළුවෝ මටත් හොරා අවුරුදු කුමරි තරගවලට එහෙමත් මගේ නම දාලා තිබුණා.

ලස්සන මුහුණ තරගයට ඉල්ලුම්පතක් දැම්මෙත් යාළුවෙක් නේද..?
ඔව්.. ඒ යාළුවගේ නම නන්දා. ලස්සන මුහුණ තරගය යද්දී සුමනා.. අනේ ඔයා මේකට යන්නකෝ.. ඔයා දිනනවා* කියලා හැමදාම නන්දා මාව දිරිමත් කළා. හැබැයි තාත්තා ගැන මම හොඳට දන්න නිසාම මගේ තිබුණු ඒ ආසාව මම යටපත් කරගෙන හිටියා. කොහොමහරි මගේ ෆොටෝ එකක් මටත් හොරාම නන්දා එයාලගේ ගෙදර ඇඩ්‍රස් එක දාලා තැපැල් කරලා තිබුණා. පින්තූරවලින් තෝරාගෙන අවසන් වටයට ආපු අයට ගෙවල්වලට ලියුම් එවලා තිබුණා. හැබැයි ඉතින් මගේ ලියුම ගිහින් තිබුණෙ නන්දාගේ ගෙදරටයි. දවසක් නන්දා ලියුමත් හංඟගෙන අපේ ගෙදරට ඇවිත් අපේ අම්මට හෙමිහිට ලියුම පෙන්නුවා. අම්මා මේ දේවල්වලට කැමති වුණාට තාත්තා අකමැති බව නන්දාත් දැනගෙන හිටියා. හැබැයි තාත්තගේ අකමැත්තෙන් මාව අම්මා තරගයට එක්කගෙන ගියා. ඒ තරගයෙන් මම ජයග්‍රහණය ලැබුණා. ඊටපස්සෙ තමයි මට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ.

මුල් කාලෙදී බොහෝ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබුණා..?
ඔව්.. මුලින්ම එල්.එම්. පෙරේරා, රුබී ද මැල් අධ්‍යක්ෂණය කළ පිපෙන කුමුදු, නිහාල්සිංහගේ බිනරමලී වගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. රුබී ද මැල් ගෙදරට ඇවිත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න කියලා මට කතා කළා. රුබී ද මැල් කාන්තාවක් නිසා තාත්තා මට ඒකට යන්න අවසර දුන්නා. ඒ නිසාම රුබී ද මැල්ගේ කියලා බොරු කියලා මම තව අධ්‍යක්ෂකවරු යටතේ නිර්මාණ කිහිපයකට දායක වුණා. හැබැයි ඉතින් ඒ චිත්‍රපටය තිරගත වෙන්නත් කලින් මරදාන පාරේ ගහලා තිබුණු ලොකු කටවුට් දැකපු තාත්තා ගෙදර ඇවිත් අම්මට හොඳටම දොස් කිව්වා. එදා අම්මා හොඳටම තාත්තගෙන් බැණුම් ඇහුවා. හැබැයි අම්මා ඒ හැමදේම ඉවසගෙන හිටියා. ටික කාලයක් ගියාට පස්සෙ තාත්තාටත් මගේ ගමන තේරුණා. ඒ නිසා තාත්තත් ඒකට යන්න අවසානෙදී මට ඉඩ දුන්නා.

ඔබ රඟපෑ හතර පෙරළිය චිත්‍රපටයෙන් මුණගැසුණු සුවිශේෂී පුද්ගලයා ඔබේ ජීවිතේ ලොකු පෙරළියක් කළා..?
ඔව්.. රෝයිව මට මුණගැහුණේ හතර පෙරළිය චිත්‍රපටයෙන්. ඒ කාලේ රෝයි හරි ලස්සනයි. හරි පිළිවෙලට ඇඳලා හරි ලස්සනට කොණ්ඩේ පීරලා හිටපු රෝයි ෂූටින් කරද්දී බලාගෙන ඉන්න පවා සෙනඟ ආවා. හැබැයි මට තාම මතකයි රෝයිව මට මුණගැහුණු මුල්ම දවස. එදා පුහුණුවීම්වලට ගැහැනු ළමයි දහයක් පහළොවක් විතර ඇවිත් හිටියා. එදා ෂූටින් ඉවරවෙලා ඒ හිටපු ගැහැනු ළමයි ඔක්කොම ගිහින් රෝයිව වටකරගෙන එයා එක්ක හරි ආසාවෙන් කතා කළා. මම මගේ පාඩුවේ පොතක් අරගෙන පැත්තකට ගිහින් ඒක කියෙව්වා. රෝයිගේ හිත මගේ ළඟ නතරවෙලා තිබුණේ මේ සිදුවීමටයි. ඊටපස්සෙ රෝයි මාත් එක්ක කතා කළා. අපි හිතවත් වුණා. නොදැනීම ඒක ආදරයක් වුණා. ඇත්තටම රෝයි කියන්නෙ පුදුමාකාර හොඳ මනුස්සයෙක්.

රෝයි ඒ යෝජනාව ගෙනෙද්දී ඔබේ හිතෙත් මේ ප්‍රියමනාප මනුස්සයා ගැන ආදරයක් තිබුණා නේද..?
කැමැත්තක් තිබුණා. එක හේතුවක් තමයි මගේ අම්මත් රෝයිට හරි කැමතියි. මම ෂූටින් යන හැම දවසකම මගේ අම්මත් මාත් එක්ක ආවා. ඒ ආවම රෝයි අම්මත් එක්ක කතා කළා. රෝයි ෂූටින් කරන තැන හරි සුහදව හිනාවෙලා විහිළු කරමිනුයි හිටියෙ. එයා ඉන්න තැන පාළුවක් දැනුණේ නැහැ. ඒ ප්‍රියමනාපකමට, ඒ අපූරු ගතිගුණ තියෙන මනුස්සයාට අම්මත් කැමතිවෙලයි හිටියෙ.

රෝයි - සුමනා විවාහයත් හරි සුවිශේෂීයි..?
ඔව්.. සූකිරි කෙල්ල චිත්‍රපටයේ විවාහවෙන දර්ශනයක් රූගත කිරීම් කළා. මම ඔසරිය ඇඳලා මාල හත දාලා ඉඳිද්දී රෝයි ළඟට ඇවිත් ඔන්න අද තමයි දවස කියලා කිව්වා. එදා දවල් විවේක වෙලාවේදී රෝයි මාවත් කාර් එකේ නංවාගෙන තව යාළුවෙකුත් එක්කගෙන ගිහින් විවාහ රෙජිස්ටාර් කෙනෙක් ළඟදී මාව කසාද බැන්ඳා. ගෙදරින්වත් කාගෙන්වත් ඇහුවෙ නැහැ. විවාහය අත්සන් කරලා ආයේ ෂූටින් කරලා ඊටපස්සෙ ඉතින් සුපුරුදු පරිදි මම මගේ ගෙදර ගියා. කාලයක් යනතුරුම අපි මේ ගැන අපේ ගෙදරට කිව්වෙ නැහැ.

හැබැයි හැමදාම මේක රහසක් විදිහට තියාගන්න බැහැනෙ..?
ඔව්.. මේ අතරේ රෝයිගේ මල්ලි අපි දෙන්නට කැනඩාවට එන්න කියලා කිව්වා. රෝයිගේ මල්ලි හිටියෙ කැනඩාවේ. රෝයිගේ බිරිය විදිහට මටත් යන්න පුළුවන්නෙ. අපි දෙන්නා හෙමිහිට පාස්පෝට් එහෙමත් හදාගෙන කැනඩාවට යන දවසට සුමානයක් විතර තියලා මේ ගැන අපේ ගෙදරට කිව්වා. තාත්තාට කරගන්න දෙයක් නැහැ. ඉතින් තාත්තත් කැමැත්ත දුන්නා. අපි කැනඩාවට ගිහින් බොහෝ තැන් නැරඹුවා. ගොඩක් සතුටු වුණා. අපේ ෆොටෝ පත්තරවල පළ වුණා. ඊටපස්සේ තමයි මායි රෝයි විවාහකයි කියලා හැමෝම දැනගත්තෙ.

රෝයි - සුමනා එකතුවෙලා කලාවට හඳුන්වා දුන් මුහුණු අද කලාවේ හොඳ තැන්වල ඉන්නවා..?
ඔව්.. ගොඩක් අය ඉන්නවා. රෝයි මායි තරම් සිංහල සිනමාවට අලුත් අය හඳුන්වා දීපු තව අය නැති තරම්. අදටත් ඒ අය ජනප්‍රියයි. රෝයිට දක්ෂයින්ව හඳුනා ගැනීමේ හැකියාවක් තිබුණා. ජීවන් ඒ කාලේ හැමදාම කළේ දුෂ්ඨයාගේ චරිතයි. නමුත් රෝයි එයාගේ වෙනසක් දැක්කා. රෝයි හිත හොඳ කොල්ලෙක් චිත්‍රපටයෙන් ජීවන්ගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා එක රුයින් ජනප්‍රිය කළා. ඔය හැම චිත්‍රපටයකටම නම් දැම්මෙ රෝයි. වාණිජ චිත්‍රපට විතරක් රෝයි කළේ නැහැ. හොඳ කලාත්මක චිත්‍රපට පවා රෝයි කළා. ඒ වගේම හොඳ ඉංග්‍රීසි චිත්‍රපට කළා. එහෙම සිනමාවට හොඳ දේවල් කරපු රෝයිට අද වෙනකම් රජයෙන් කිසිම ගරු කිරීමක්, උපහාරයක් ලැබුණෙ නැහැ. ඒක අපේ කලාකරුවන්ට තියෙන අවාසනාවක්. අපිට කලාව නිසා මිනිසුන්ගෙ ආදරය උපරිමයෙන්ම ලැබුණා. ඒ ගැන රෝයි ගොඩක් සතුටු වුණා. ඒත් බොහෝ දේවල් ගැන රෝයි හිටියෙ හරිම කලකිරීමෙන්. ඉන්දියාවේ ඉපදුණානම් අදටත් රෝයි ජීවත් වේවි.

ඒ කියන්නෙ රෝයි මියයද්දී හිටියෙ කලකිරීමෙන්ද..?

ඔව්.. රෝයි මැරෙන්න කලින් පොඩි ලියමනක් ලියලා තිබුණා. ඒකෙ තිබුණෙ එයා මියගිය දාට පැය විසි හතරක්වත් තියාගන්න එපා. පෙට්ටිය ඇරලා තියන්න එපා. වළලන්නෙ නැතිව පුච්චලා අළු ටික පා කරන්න. ස්මාරකයක්වත් හදන්න එපා කියලා. ඒ තරමටම රෝයි කලකිරීමෙන් හිටියෙ. ඇත්තටම රෝයි ගැන අදටත් මට දුකයි.

ඔබේ හැකියාවට පවා රෝයිගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.. විශේෂයෙන් ඔබගේ රූපලාවන්‍යාගාරවලට ලොකු සහයෝගයක් ලැබෙන්න ඇති..?
ඔව්.. ඇත්තටම ඔව්. පුංචි කාලේ ඉඳන් එක එක්කෙනාට මේක්අප් කරන්න මම හරි ආසයි. ස්ටූඩියෝවේ මම දකින දේවල් ගෙදර ඇවිත් මම අම්මට අක්කලාට නංගිලාට කළා. කොණ්ඩ මෝස්තර එහෙමත් කළා. අපි කැනඩාවට ගියාම රෝයිගේ අක්කගේ දුව එහේ යුනිවසිටි යන ගමන් අමතර රැකියාවක් විදිහට සැලෝන් එකක වැඩ කළා. එයා එක්ක මාත් ගියා. ඊටපස්සෙ රෝයි මාව සිංගප්පූරුවට ඉන්දියාවට එක්කගෙන ගිහින් මට ඒ සම්බන්ධව ඉගැන්වුවා. ලංකාවට ආවට පස්සෙ 1980 දී මම මගේ මුල්ම සැලෝන් එක ආරම්භ කළා. ඒක අතිශය ජනප්‍රිය වුණා. ඊටපස්සෙ මම තවත් ශාඛා දෙකක් ආරම්භ කළා. හරිම කාර්යබහුල වුණා. සේවිකාවන් කිහිප දෙනෙක් එකතු කර ගත්තා. අපි ෂූටින් යද්දී මගේ ගෝලයන්ට ඒ දේවල් බාරදීලා ගියා. ටික කාලයක් ගියාට පස්සෙ ඒ හැමදේම නැත්තටම නැති වුණා.

නිර්මාණයකට දායක වෙන්න අදහසක් නැද්ද..?
මම දැනට එරංග සේනාරත්නගේ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. එරංග හරි හොඳ කෙනෙක්. බොහෝවිට ළඟදීම ඒකෙ රූගත කිරීම් පටන් ගනීවි.

 

► Text - Dishani   /  Pic – Sumudu