2020 ජනවාරි 11 වන සෙනසුරාදා

ගුරුතුමීට බයේ ආදරය හංගාගෙන හිටියා

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 241

අලුත් අවුරුද්දකුත් ලැබුවා... මුලින්ම ඔබ දෙපළටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි හදසර  ප්‍රාර්ථනා කරනවා...!
බොහෝම ස්තූතියි... ඔය හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි කියලා අපි දෙන්නත් ප්‍රාර්ථනා කරනවා..

පසුගිය වසරේදී නෙලූ ටිකක් කාර්යබහුල වුණා නේද..?
ඔව්... ඇත්තටම පසුගිය වසරේදී නම් බොහෝ කාර්යබහුල වුණා. විශේෂයෙන් දෙසැම්බර් මාසෙදී ගොඩාක් කාර්ය බහුල වුණා. නත්තල් මාසය පුරාවට බොහෝ උත්සවවලට සහභාගී වුණා. අපේ කලායතනයේ කටයුතුත් එක්ක අපි මේ කලා කටයුතු කරන නිසා අතිශ්‍ය කාර්යබහුල වුණා. අපි දෙන්නා දරුවන් තුන් හාරසීයකට පමණ උගන්වන කලායතන තුනක් මහරගම, මාලඹේ, පැලවත්තේ පැවැත්වෙනවා. අපේ දුව දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටිය නිසා තවත් කාර්ය බහුල වුණා. පුතා දැන් නවය වසරේ. ඒ දෙන්නාගේ වැඩකටයුතුත් කරන ගමන් කලායතනවල වැඩයි, කපිලගේ සංගීත නිර්මාණවල වැඩකටයුතුයි අතරේ අපේ මව්පියන්ගේ වැඩකටයුතුත් බලා කියාගෙන ගතකරන මේ ජීවිතේ කාර්යබහුලයි. හැබැයි ඒ හැමදේම මැද සමබරව ගතකරපු ඒ කාලය ඇත්තටම හොඳයි. අපි කාර්යබහුල වෙන තරමට එක පැත්තකින් හොඳයි. එක්තරා වයසකට ගිහින් අපිට වැඩ නැහැ. කියලා ඉන්නකොටත් අපි දුක් වෙනවානේ. මරණය දක්වාම වැඩ කරන්න පුළුවන් නම් තමයි මම කැමති.

කපිලගේත් නෙලූගේත් ආදර කතාව පටන් අරගෙන දැන් කොච්චර කල්ද? ඒ ආදරය පාසල් ප්‍රේමයක්. එහෙම නේද...?
ඔව්... මගේ අම්මා සංගීත ගුරුවරියක්. මගේ අම්මාට කපිලව මුණගැහෙන්නේ කපිල හය වසරේ ඉගෙන ගනිද්දීයි. ඒ හලාවත ආනන්ද විදුහලේදීයි. කපිල සංගීතයට විශේෂ දක්ෂතා තියෙන දරුවෙක් විදිහට ඒ කාලේදීම මගේ අම්මා දැනගෙන හිටියා. මම පාසල් තුනක ඉගෙන ගත්තා. මුලින්ම මාරවිල කොන්වන්ට් එකේත්, නිවුස්වඩ් බාලිකාවේත් අවසානයේදී උසස් පෙළ ඉගෙන ගන්න මම හලාවත ආනන්ද විදුහලට ඇතුළත් වුණා.

ඒ කියන්නේ කපිල ඉගෙන ගත්තු පාසලටම...?
ඔව්.. කපිල කියන කෙනා අම්මට විශේෂ පුද්ගලයෙක් වුණා. සෞන්දර්ය අංශයේත් පාසලට බොහෝ ජයග්‍රහණ ලබා දෙන්න කපිලට පුළුවන් වුණා. මට උසස් පෙළ සංගීතය හදාරන්න මම ඉගෙනගත්තු පාසැලේ ගුරුවරයෙක් නොමැතිකම නිසාම මට ආනන්ද විද්‍යාලයට අම්මගෙන්ම සංගීතය ඉගෙන ගන්න යන්න සිදුවුණා. පාසලේදී කපිලව මට මුණගැහුණා. අපි හරියට හිතවත් වුණා. මගේ අම්මා දැකපු විශේෂත්වය කපිලගෙන් මමත් දැක්කා. මගේ පරම්පරාවත් එක්ක සංගීත හැකියාව පුංචි කාලේ ඉඳන්ම මටත් තිබුණා. තාත්තාගේ පරම්පරාවෙනුත් ආපු දක්ෂතාවයන් කුඩා කල සිටම මටත් තිබුණා. ඒ සංගීතයට තිබුණු කැමැත්ත කපිලගෙනුත් මම දැක්කා.

ඇත්ත කියන්න... පාසලේදී යාළුකමට එහා ගියපු විශේෂ කැමැත්තක් නෙලූගේ හිතේ කපිලට තිබුණා නේද?
ඔව්.. කවදා හරි මම විවාහ වෙන කෙනා මටත් වඩා දක්ෂතා තිබෙන කෙනෙක් වෙන්න ඕනේ කියන සිතුවිල්ල මගේ හිතේ තිබුණා. කවදාහරි දවසක මටත් උපදෙසක් ගන්න පුළුවන් දක්ෂ කෙනෙක් තමයි මට ඕන වෙලා තිබුණේ. කපිල කියන්නේ ඒ මගේ හිතේ හිටිය කෙනාම තමයි. කොහොම හරි කපිලගෙන් මට ඒ යෝජනාව ලැබුණා.

කපිල... පාසලේදී  සංගීත ගුරුවරියගේ දුවට ආදරේ කරන්න ඇත්තටම බයක් හිතුණේ නැද්ද?
(ඔන්න.. අපි ඒ ප්‍රශ්නය නැගුවේ මෙතෙක් වෙලා මේ දෙන්නාගේ ආදර කතාව අහගෙන හිටපු කපිලගෙනුයි..)
ඇත්තම කිව්වොත් ඒ සංගීත ගුරුතුමියගේ දුවට ආදරේ කරන්න මට ලොකු බයක් හිතුණා. අපේ සංගීත ගුරුතුමිය අපිට හරි ආදරෙයි. හරිම විනෝදකාමී ගුරුතුමියක්. පාසලේදී තිබුණු විවිධ ප්‍රසංග, නාට්‍ය, ජන ගී හැමදේකදීම ගුරුතුමිය නිසා අපි හිටියා. මුලින් නෙලූ ගියේ වෙන ඉස්කෝලේකට. හැබැයි කීපවතාවක්ම අපේ ඉස්කෝලෙටත් ඇවිත් තිබුණා. ඒ නිසා ඒ දැකීම මගේ හිතේ තිබුණා. නෙලූ අපේ ඉස්කෝලේට ආවට පස්සේ ගුරුතුමියගේ දුව කියලා නෙලූට එහෙම තැනක් දුන්නේ නැහැ. තමන්ගේ දුවට ඉස්කෝලේ තැනක් දුන්නේ නැති වුණාට අපිට හැමදාමත් ගුරුතුමි තැන ලබලා දුන්නා. නෙලූ ගැන කැමැත්තක් ආදරයක් මට ඇතිවෙන්නම හේතුවත් සංගීතයම තමයි. 

නෙලූ කියන්නේ හරි දක්ෂ කෙනෙක්. සංගීත පන්ති කාමරේදී තම්මැට්ටම, බෙරය, වයිලිනය, ගිටාරය හැම සංගීත භාණ්ඩයක්ම ඒ කාලේ මම වාදනය කළා. නෙලූටත් ඒ හැම සංගීත භාණ්ඩයක්ම වාදනය කිරීමේ හැකියාව තිබුණා. නෙලූ ගීත ගායනා කරනවා අහන් ඉන්න මම ආසා කළා. මගේ යාළුවෝත් “උඹට ගැලපෙන්නෙම නෙලූ තමයි... කියලා මට කිව්වා. හැබැයි මගේ යටි හිතෙත් කාලයක් තිස්සේ නෙලූට ආදරයක් තිබුණා. හැබැයි ගුරැතුමිය නිසා ඒ ආදරේ මම කාලයක් තිස්සේ හංඟාගෙන හිතේ තියාගෙන හිටියා. හැබැයි හැමදාමත් ඒ ආදරේ හිතේ හංඟගෙන ඉන්න මට බැරිවුණා. මම දවසක් ඒ ආදරේ ගැන නෙලූට කිව්වා. 

නෙලූ.. ගෝලයාට තමන්ගේ එකම දුව බාරදෙන්න අම්මා කැමති වුණාද..?
නැහැ... මුලදී එහෙම එක පාරටම කැමති වුණේ නැහැ. ගුරුගෝල සම්බන්ධතාවයත් එක්ක තිබුණු ගෞරවයත් එක්ක ලොකු ප්‍රශ්නයක් වුණා. ගෝලයෙක්ව හිතවත් කරගන්නේ තමන්ගේ දුවව දෙන්න නෙමෙයිනේ. අපේ පරම්පරාවත් එක්ක තිබුණු මතත් එක්ක ඒක ටිකක් මුලදී අමාරු වුණා. ඒ නිසා කවදාහරි අපි දෙන්නම රස්සාවල් කරනකම් මේ දේ හිතේ තියාගෙන අපි බලාගෙන ඉමු කියලා අපි දෙන්නට දෙන්නා පොරොන්දු වුණා. නැවතත් නිසි කලට වේලාවට ඒ දේ ඉදිරිපත් කරමු කියලා අපි දෙන්නා බලාගෙන හිටියා.

කපිල පාසල් අධ්‍යාපනයෙන් පසුව විශ්වවිද්‍යාලය තේරුණා.. එහෙම නේද?
ඔව්.. කපිල සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඊට පස්සේ අවුරුද්දේ මමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. කපිල විශ්වවිද්‍යාලයේ හතර වෙන අවුරුද්දේ ඉඳිද්දී අපේ අම්මා අසනීප වුණා. ඒ නිසා නැවත වතාවක් අපේ ආදරය ගැන අම්මාට කියන්න සිදුවුණා. අම්මා කොහොමත් කපිලට හරි ආදරෙයි. ඒ නිසා මව්පියන්ගේ ආශිර්වාදයෙන් අපි දෙන්නා 1998 වසරේදී විවාහ වුණා. අපි ආදරේ කරන්න පටන් ගත්තේ 1991 අවුරුද්දෙයි.

නෙලූ කලා ක්ෂේත්‍රයටත් අවතීර්ණ වුණේ හරිම අහම්බෙන් නේද?
ඔව්... මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දී රෝහණ අයියා (රෝහණ වීරසිංහ) “සුදෝ සුදු නාට්‍යයේ ගීතවලට අලුත් කට හඬක් හොයද්දී කැම්පස් එකේ අපේ සර් කෙනෙක් කියලා මමත් ඒකට ඉදිරිපත් වුණා. ඒකෙන් මාව රෝහණ අයියා තෝරාගත්තා. එක දවසක් රෙකෝඩින් කරද්දී මහින්ද බණ්ඩාර අයියා මාව දැකලා “ආ.. මේ අතුලගේ නංගිනේ.. කියලා මාව හඳුනාගෙන මාත් එක්ක කතා කළා. 
එතකොට තමයි රෝහණ අයියා මාව අතුල අයියාගේ නංගී කියලා දැනගත්තේ. ඊට පස්සේ රෝහණ අයියා මට ගීත කිහිපයක් කරන්න උදව් කළා. ඔබ අසා සිටී නම් ගීතය එක්ක බොහෝ දෙනා මාව හඳුනාගත්තා. කපිල කොහොමටත් පාසල් යන කාලේ සිටම රාජිත දිසානායකගේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා සංගීත පැත්තෙන් එයගේ ගමන හදාගෙන තිබුණේ. විශ්වවිද්‍යාලයට ආවට පස්සේ කපිල ටෙලිනාට්‍යවලට, චිත්‍රපටවලට සංගීත පැත්තෙන් සම්බන්ධ වුණා. කොහොම හරි අවසානයේදී අපි දෙන්නම එක ක්ෂේත්‍රයක් නියෝජනය කරමින් හෙමින් අපේ ගමන යනවා.

විවාහ වුණාට පස්සේ දෙන්නා වෙනම පදිංචි වුණාද? මව්පියන් එක්ක පදිංචි වුණාද..?
කොහොමත් අපේ අම්මයි තාත්තයි මාත් එක්ක හිටියේ. විවාහ වුණාට පස්සේත් අපි එකටමයි හිටියේ. තාත්තාට අසනීප වුණ නිසා කාලයක් තාත්තා එයාගේ මල්ලි හිටිය ඕස්ට්‍රේලියාවට ගිහින් එහේ බෙහෙත් ගත්තා. අපිට දරුවෝ ලැබුණට පස්සේ හතර දෙනාම අපිත් එක්ක හිටියේ. දරැවෝ ටිකක් ලොකු වුණාට පස්සේ කපිලගේ අම්මලා කපිලගේ මල්ලිගේ ගෙදරටත් අපේ ගෙදරටත් මාරුවෙන් මාරුවට ගියා.

අද දරුවන් දෙන්නෙක්ගේ මව්පියෝ...?
ඔව්... දරුවෝ ලැබෙන්න ගියාමත් ගොඩාක් කල් මට දරුවෝ නැති ප්‍රශ්නයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. මගේ එක දරුවෙක් ලැබෙන්න ගිහින් මට නැති වුණා. මම දරුවන්ට ගොඩාක් ආදරෙයි. හරිම ආසයි. ඒ නිසා දරුවෝ අපිට නැතිවෙයි කියලා ලොකු බයකින් අපි දෙන්නම හිටියේ. නමුත් අපි ඒ තරම් අවාසනාවන්ත වුණේ නැහැ. අපිට මුලින්ම දුවෙක් ඉපදුණා. ඒ සඳුනි පියුමිකා. සඳු ඉපදුණාම මට මුළු ලෝකයෙම ලැබුණා වගෙයි දැනුණේ. 
කොහොමත් ගමේ ඉදිද්දීමත් ඒකාලේ මම කළේම අහළ පහළ හිටපු පොඩි දරුවොම හදපු එක තමයි. වත්ත වටේ හිටපු චූටි ළමයි ගෙදර තියාගෙන හෝදනවා, නාවනවා, කවනවා, පොවනවා, සෙල්ලම් කරනවා. ඒ තරමටම මම චූටි දරුවන්ට ආදරෙයි. සඳු ලැබුණාට පස්සේ අපි දෙන්නගේ ජීවිතේ ලොකුම සතුට එයා වුණා. ඊට අවුරුදු තුනාහමාරකට පස්සේ අපේ දෙවැනි පුතා අපිට ලැබුණා. ඒ තරුන් තත්සර. දැන් මගෙයි කපිලගෙයි ජීවිතේ සම්පූර්ණයි. අද කාලේ සිදුවෙන දේවල් දකිද්දී අපි දෙන්නා ගොඩාක් සතුටු වෙනවා. අපි පුදුමාකාර අවදානම් ගමනක් හරි පරිස්සමෙන් ඒ ගමන ඇවිත් තියෙන සතුට මටත් කපිලටත් තියෙනවා. 

සඳුනි දැන් ලොකු දැරිවියක්. අම්මා තාත්තා සහ දුව අතර තියෙන බැඳීම කොහොමද?
බොහෝ වෙලාවට ගෙදරක වගකීම වැඩියෙන්ම පැවරෙන්නේ අම්මටයි. දරුවෙක් හැදෙන විදිහ වඩාත් විමසිල්ලෙන් බලන්නේ ඒ අම්මයි. කපිල කොහොමටත් හරි විනෝදකාමී චරිතයක්. කුඩා කල සිටම කපිල දරුවන් දෙන්නා එකක් හරිම සමීපයි. අදටත් එහෙමම තමයි. මම තමයි ඒ දෙන්නට ටිකක් සැරෙන් ඉන්නේ. හැබැයි ඒ වගේම මාත් මේ දෙන්නට ගොඩාක් කිට්ටුයි. මගේ ජීවිතේ බොහෝ අත්දැකීම් මම ලබාගත්තේ මගේ අම්මාගේ චරිතයෙනුයි. අම්මාගෙන් ලැබුණ ආදර්ශය ගැන මට කියන්න වචන නැහැ. එයා හරි විශේෂ කෙනෙක්. අද මම හිතපු විදිහට තමයි මගේ අම්මා ඒ කාලේදීත් හිතුවේ. මගේ අම්මා හරි සරල කෙනෙක්. මුදල්, දේපළ ගැන එයා හිතුවේ නැහැ. එයාගේ විෂයත් එක්ක මිනිස්සුන්ට ආදරේ කරමින් සතුටින් ජීවත් වුණු කෙනෙක්. 

මට මගේ දුවත් එක්ක අතිශය පෞද්ගලික ඕනෑම දෙයක් කතා කරන්න පුළුවන්. මගේ දුවගේ සමහර යාළුවන්ගේ දේවල් ගැන එයා මාත් එක්ක කියද්දී මට ඒ දුවලා ගැන ඇත්තටම දුකයි. සමහර දරුවන්ට ඒ අයගේ හිතට එන තරුණ සිතුවිලි බෙදාගන්න අම්මා තාත්තා හිතින් ගොඩාක් ඈතයි. ඒ මව්පියන්ට ඒ අයගේ තරුණ කාලය අමතක වෙලා. මට මගේ සාමාන්‍ය පෙළ කාලේදී මගේ තරුණ සිතුවිලි මට මතකයි. මට ඒ සිතුවිලි මගේ අම්මා එක්ක බෙදාගන්න පුළුවන් වුණු නිසා මම රැකුණා. අද මගේ දුවගේ ඒ සිතුවිලි එයාත් එක්ක බෙදාගන්න මම එයාට ඉන්නවා. එයා තාත්තා එක්කත් හරි සමීපයි. අදටත් කපිලට මේ එදා හිටිය චූටි දුවමයි. තාත්තලා දරුවන්ට ගොඩාක් දුරස් වුණාම ඒ පිරිමියා කියන සිතුවිලි බෙදාගන්න දරැවන් තව පිරිමියෙකුට ළංවෙන්න උත්සහ ගන්නවා. සමහර මව්පියන්ට දරුවන් ගොඩාක් ඈතයි. ඇත්තටම ඒක දුකක්. 

දරුවන් දෙනාත් සංගීතයට දක්ෂයි... නමුත් තවමත් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා නැහැ. එහෙම නේද?
ඔව්... ඒ දෙන්නත් සංගීතයට දක්ෂයි. නමුත් මමවත් කපිලවත් ඒ දෙන්නට ඒ පැත්තට නැඹුරැ කරවන්න බල කළේ නැහැ. මේ දෙන්නට සංගීත පැත්තට වඩා තමන්ට වෙනත් දක්ෂතාවයන් තියෙනවා කියලා දැනෙද්දී ඒ දෙන්නට ඒ වෙන පැත්තකට යන්න අවශ්‍යයි කියලා කියද්දී බලෙන් අපේ ක්ෂේත්‍රයට තල්ලු කරන්න අපි දෙන්නම කැමති නැහැ. ඒ දෙන්නා හරිම සංවේදී දරැවන් දෙන්නෙක්. සංගීතයට ලැදියි. නමුත් ඒ දෙන්නා යන ගමන තීරණය කිරීම ඒ දෙන්නට අපි බාරදීලයි තියෙන්නේ.

කපිල ගීත කියන්න දක්ෂයි. නමුත් ගායකයෙක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ?
ඒ කාලේ මම ගායනයට සම්බන්ධ වෙලා ඉදිද්දී නෙලූ ක්ෂේත්‍රයට ආවා. නෙලූට හොඳ ගායන හැකියාවක් තියෙනවා. මම සංගීත අධ්‍යක්ෂනය පැත්තට යොමු වුණාට පස්සේ මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ ඒ සංගීත අධ්‍යක්ෂනය පැත්තෙනුයි. ගායකයෙක් වෙනවාට වඩා නිර්මාණ කිරීමේ ආසාව මට තියෙන්නේ. ඒ නිසා ගීත ගායනා කිරීමේ ආසාව මගෙන් මඟහැරුණා. අදටත් මම ආස සංගීත අධ්‍යක්ෂනයටම තමයි.

2020 තියෙන බලාපොරොත්තු මොනවාද?
අපි දෙන්නා බොහෝම හෙමින් ගමනක් ආපු දෙන්නෙක්. මෙතෙක් අපි දෙන්නා ආපු ගමන හා ලබාගෙන තිබෙන දේවල් ගැන හිතද්දී අපි දෙන්නටම තියෙන්නේ නිහතමානී සතුටක්. අපි අපේ දරැවන්ටත් ලෝකය පෙන්නලා දීලා තියෙන්නේ. ඒ දෙන්නත් ඒ ගමන යාවී. ගුරු වෘත්තිය පැත්තෙන් වුණත් අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට දැන් චුට්ටක් විවේකයකුත් ඕනේ. මේ අවුරුද්දේදී සමහරවිට දුවව උසස් අධ්‍යාපනයට විදෙස් ගත කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එයාව ඈත් කරන එක අපිට ටිකක් දරාගන්න අමාරුයි. ඒ නිසා පොඩි කාලයක් එයාට මෙහාට අපි වෙනස් වේවී. 
එකොළොස් වැනිදාට උපන් දිනය සමරන නෙලූ.. සුභ උපන් දිනයක් වේවා...!

 

► Text - Dishani  /  Pic –Sumudu