2017 මාර්තු 25 වන සෙනසුරාදා

ඕවට නම් එන්න එපා හොඳේ

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

ඕවට නම් එන්න එපා හොඳේ

මේ දිනවල රූපගත කරමින් තිබෙන දීර්ඝ ටෙලිනාට්‍යයක නළු නිළියො විශාල ප්‍රමාණයක් රඟපානවා. වේශ නිරූපණය භාරව ඉන්නෙ ප්‍රවීණ ශිල්පියෙක්. මැදිවියේ පසුවුණත් මේ ශිල්පියා බාල මහලු කොයි කවුරු එක්කත් සුහදව ගනුදෙනු කරන නිසා ඔහුට හැමෝම ගරු කරනවා. ඒ නිසාම බයිට් වෙන අවස්ථාවල්ද නැතුව නෙවෙයි. ඔන්න ළඟදි දවසක මේ ශිල්පියා මේකප් කරගෙන ඉන්න අතරතුර තරුණ නළුවෙක් ඔහුගෙ ජංගම දුරකතනය ඉල්ලගෙන තියෙනවා.

ඒක අරගෙන ජනප්‍රිය නිළියො තුන් හතර දෙනෙකුට අසැබි පණිවිඩ කීපයක් යවලා සද්ද නැතුව ඒ ෆෝන් එක අංග රචනා ශිල්පියාට බාර දුන්නලු.

ඒ පණිවිඩයක් ලැබුණු එක නිළියක් මේ ටෙලිනාට්‍යයේ පහුවදා උදේම වැඩට ආවලු. මේක්අප් එක දාගන්න ආවම අර ශිල්පියා සුපුරුදු විදිහට ගුඩ් මෝනිං කියලා ඇයව පිළිගත්තලු.

“අයියෙ මාත් එක්ක ඕවට විතරක් එන්න එපා හරිද? මීට පස්සෙ මට එහෙම මැසේජ්  එවලා තිබුණොත් කෙළින්ම ඔයාගෙ ගෙදරට ගිහින් නෝනටයි ළමයින්ටයි පෙන්නනවා.” ඇය එහෙම කියද්දි ඔහුට කිසිම දෙයක් තේරුම් ගන්න බැරිවුණාලු. 

 

ආරාධිතයාට බැනර් බැණුම්

පිටරටකින් ලංකාවට පැමිණි නර්තන කණ්ඩායමක් මහනුවර පැත්තෙ ශාලාවක තම ප්‍රසංගය පැවැත්වුවලු.

එක්තරා අමාත්‍යංශයක් හා ඊට අදාළ දෙපාර්තමේන්තුවක් මේ ප්‍රසංගය සංවිධානය කරලා තිබුණෙ ශ්‍රී ලංකාව හා ඒ රටේ රජයත් අත්සන් කළ අවබෝධතා ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන්. ආරාධිත නර්තන කණ්ඩායමේ නායකයා ප්‍රසංගයේ ආරම්භය සඳහා සියලු කටයුතු ලෑස්ති කරමින් ඉන්න කොට අර අමාත්‍යංශයේ ලේකම්වරියක් ඔහුට දිගට හරහට බණින්න පටන් ගත්තලු.

කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව හිටිය ඒ විදේශිකයා ඇයගෙන් කරුණු විමසුවලු.

ඇය ආරාධිත කණ්ඩායමේ නායකයාට බැණලා තියෙන්නෙ අමාත්‍යංශයේ ලාංඡනය සහිත බැනරය ශාලාව ඉදිරියේ දාපු නැති නිසාලු.

ආරාධිත කණ්ඩායම් නායකයාට මල පැනලා කිව්වලු, “ඔයාගෙ අමාත්‍යංශයේ අය කරන වැරදිවලට පිටරටින් ආපු අපට දොස් කියන්න හදන්න එපා,” කියලා.

 

නළුවා නාන කාමරේ

එක්තරා කලා ශිල්පීන් පිරිසක් පහුගිය දවසක යුරෝපා රටක සංචාරයක් ගියාලු. විවිධ නගරවල තිබුණු සංදර්ශන අතරතුර ඔවුන් නැවතිලා හිටියෙ තරු පහේ හෝටල්වල.

ඔන්න එක දවසක් මේ කට්ටියට ඒ ර‍ටේ ඉන්න අපේ ශ්‍රී ලංකා තානාපති ආරාධනා කළාලු රාත්‍රී භෝජන සංග්‍රහයකට. එදා කට්ටියටම නවාතැන් පහසුකම් සපයලා තිබුණෙ තානාපතිතුමාගෙ නිල නිවසෙ.

පහුවදා උදේ එක්කෙනෙක් හැර අනිත් කට්ටියම ආවලු උදේ කෑම මේසෙට. නාපු කලා ශිල්පියා හොයන්න එයාගෙ කාමරේට ගියාම එහෙත් මිනිහා නැහැල්ලු.

ඒත් ඒ නාන කාමරේ දොරට ඇතුළෙන් කවුදෝ තට්ටු කරනවා ඇහෙනවලු. දොර ළඟට කන තියල බැලුවම ඒ ශිල්පියා ඇතුළෙ දොර ඇරගන්න බැරිව හිරවෙලා.

“මොකද බං උඹට හයියෙන් දොරට ගහන්න තිබ්බනෙ. නැත්තන් අපට කෝල් එකක් දෙන්න තිබ්බනෙ.”, ඔහුගේ සගයෙක් කිව්වා.

“කොහොමද මචෝ හයියෙන් දොරට ගහන්නෙ? අල්ලපු කාමරේ ඉන්නෙ තානාපතිතුමා. අනික නාන්න යනකොට කවුද ෆෝන් ගෙනියන්නෙ. මේකට නම් දාලා තියෙන්නෙ යකාගෙ ලොක් එකක්,” දොර කඩලා එළියට ගත්තට පස්සෙ ඒ ශිල්පියා කිව්වලු.

 

තානාපති අතරමං

පහුගිය දවසක කොළඹින් පිට නගරයක පැවැති කලා උත්සවයකට ප්‍රධාන අමුත්තන් හැටියට සහභාගිවෙලා තියෙන්නෙ වෙනත් රටක් නියෝජනය කරන තානාපතිවරයෙක් හා ඔහුගේ බිරියලු.

මේ දෙන්නව පිළිගන්න යොදාගෙන තිබුණෙ ඒ පළාත භාරව සිටින ප්‍රධාන පෙළේ නිලධාරිනියක්.

ඔන්න උත්සවය පටන් ගන්න මිනිත්තු කීපයකට කළින් මේ නිලධාරිනිය ආවලු. ඇය පිළිගන්න හිටිය සේවක මඬුල්ල ඇය කැඳවාගෙන ශාලාව තුළට රැගෙන ගිහිල්ලා. ඒත් එක්කම එම ස්ථානයට පැමිණි තානාපති හා බිරිය අන්දුන් කුන්දුන් වී තනියෙන් හිටගෙන ඉන්නවලු.

මේගොල්ලො පිළිගන්න එක්කෙනෙක්වත් ඉඳලා නැහැ. පස්සෙ මේ දෙන්නා තනියෙන්ම ශාලාව තුළට ඇවිත් අසුන් ගත්තලු. උත්සවය අවසානයේදි පැවති තේපැන් සංග්‍රහයට සහභාගි නොවී ඒ දෙන්නම ගෙදර ගියාලු.

 

ෂේප් - වාෂ්ප

පහුගිය දවසක පැවැත්වුණානෙ ජනප්‍රිය සම්මාන පිදීමේ උත්සවයක්. විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කළ අයට වගේම මාධ්‍යවලටත් සම්මාන ලැබුණා.

වර්ෂයක් පාසා පවත්වන මේ උත්සවයට එක්තරා ජනප්‍රිය ශිල්පියෙකුට තමයි හොඳම ගුවන් විදුලි නිවේදකයාට හිමි සම්මානය ලැබිලා තියෙන්නෙ. ඒ සම්මානය ලැබුණෙ වසර ගණනාවක් ඔහු නියෝජනය කළ නාලිකාවක් වෙනුවෙන්. ඔහු මෑතකදී වෙනත් නාලිකාවට බැඳුන බව කවුරුත් දන්නවා.

උළෙලෙන් පස්සෙ අර සම්මානලාභියා ඔහුගේ කළින් නාලිකාවේ සගයන් සමඟ සතුට බෙදාගන්න හිතා ගත්තා.
ඔන්න බොලේ ඒ අය ළඟට යනකොටම ඒ හැමෝගෙම ජංගම දුරකතනවලට කෝල් ඇවිල්ලා, ෂේප් එකේ එතනින් වාෂ්ප වුණාලු.

කලාවට සම්බන්ධ ක්ෂේත්‍රයක නියැලිලා ඉන්න කෙනෙකුට පුදුමාකාර පුුරුද්දක් තියෙන බව ආරංචි වුණා

විවිධ කලා කටයුතු සඳහා නොයෙක් නිර්මාණවලට සම්බන්ධවෙලා වැඩ කරන මොහුට සතියකට දවස් පහක්වත් අඩුම තරමෙ වැඩ කරන්න වෙනවා. ඔහුගෙන් කාටත් කරදරයක් හිරිහැරයක් නැතිවුණාට එක්තරා කාරණයක් නිසා ඇතැම් අයට ඔහුව වදයක් වෙන වෙලාවල් තියෙනවා

ඔහුට ගෙදර බල්ලෙක් ඉන්නවලු. ඒ බල්ලට කෑම දෙන්න ඔහු වැඩ කරන නිර්මාණවල කට්ටිය ඉතුරු කරන බත්, ඉඳුල් ගෙනියන එක ඔහු පුරුද්දක් කරගෙන තියෙනවා

දවල්ට එකතු කරන ඔය වගේ කෑම සමහර දවස්වලට ඔහු ගෙදර ගෙනියන්නෙ රෑ වෙලා. ඉතින් ඒ වගේ වෙලාවට බල්ලා ඔය කෑම කනවද නැද්ද කියලවත් කවුරැත් දන්නෙ නැහැ. කට්ටිය නම් කියන්නෙ ඔහු වැඩ නොකරන දවස්වල බල්ලත් බඩගින්නෙ ඉන්නවා ඇති කියලා.

Text – Mithra