2017 මාර්තු 25 වන සෙනසුරාදා

දැහැන

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

දියෙහි වැටෙන බත්උළු කෑමට පනිමින් පොරකන කාවයියන් මෙන්කොලුවන් හතර දෙනෙක් දියෙහි වැටෙන කාසි අවුලාගැනීමට පෙරකමින් කිමිදිති. උඩු මාලයෙහි සිටින සමහර කාන්තාවෝ විනෝදාස්වාදය ලබනු පිණිස ඉඳහිට කාසි දියෙහි දමති.

තරුණයෙක් “ඔන්න සත විසිපහක්!” කියමින් සත විසිපහේ කාසියක් වීසි කළේය. ටික වේලාවකින් සතයේ, සත පහෙ කාසි දිහෙමි වැටෙන්ට වූයේ වැහි බිඳු වැටෙන්නාක් මෙනි. ඇතැම් කාසි කිමිදුම්කාරයන්ගේ අතට අසු නොවී යට යයි. ඔවුන්ගේ අතට වන කාසි ඔවුහු ඇඟිලි තුඩින් අල්ලා උස්සා පෙන්නති.

කුඩා දරුවෝද මෑණියන්ගෙන් ඉල්ලාගන්නා සතයේ කාසි දියෙහි දමති. එකකු වීසි කළ සත පහේ කාසියක් දියෙහි නොව ලෑලි උඩ වැටිණ. කණුවට හාන්සිවී සිටි අර කොලුවා වහා පැන ඒ සත පහ අවුලාගත්තේය.
“ඒයි... වතුරෙ දාපන්”

“දාපන්... දාපන්... වතුරෙ දාපන්”යි උඩුමාලයෙහි සිටි කතුන්ගෙන් කිහිප දෙනෙක් එක වර කීහ. 
“ඌ නිකම්ම ඉඳගෙන සල්ලි අවුලාගන්න හදනවා... හොරා!...”

“ඇයි, උඹටත් නරකද වතුරට පැන්නාම? කම්මැලියා....”

මඩොල්දූවේ ජින්නා - උපාලි ඔයාට මතකද? මඩොල්දූවේ හොල්මන් අවතාර කතා ඔයාට මතකද? ඉස්කෝලෙ පොතේ උගතෙක් නොවුණු මාර්ටින් වික්‍රමසිංහ ජීවිතයත් ලෝකයත් කියවපු විඥානයේ පරාසය ඔයාට මතකද? ඔහු වරෙක කියවූයේ තමන්ටවත් කියවගන්න බැරි වෙච්ච අනුන්ගේ ඇතුළාන්තය. කාටවත් නොපෙනෙන්න වසාගත්ත මිනිසුන්ගෙ ඇතුළු හිත.. තවත් වරෙක ඔහු කියෙවුවෙ මහ පොළොව. ඔයා කියවලා තියෙනවද මාර්ටින් වික්‍රමසිංහගේ වහල්ලු කියන කෙටිකතා එකතුව. 

මට මතකයි මම ඉස්කෝලෙ යන කාලෙ වහල්ලු කියවද්දී මගේ හිතේ සියුම් සංවේදනාවක් ඇති කළේ විනෝදාස්වාදය කියන කෙටි කතාව. දුප්පත්කම විසින් හීන බොඳ කළ පුංචි එකෙක්ගේ ජීවිතය සත පනහක වටිනාකමට මුහුදු දළ රළ අතර සැඟව ගිය ඛේදවාචකය මාර්ටින් වික්‍රමසිංහ හරිම සංවේදීව ගොනු කරලා තිබුණෙ පොහොසතුන්ට අවඥාවක් වෙච්ච දුප්පතුන්ගෙ අසරණකම අපේ හිත්වලට සියුම් ලෙස දනවමින්.

සත පහ දහය ජැටියට වී සිටින පොහොසතුන් මහ මුහුදට විසි කළේ ජැටියේ පහළ තට්ටුවේ ඉන්න දුප්පත් පුංචි කොල්ලන් මුහුදට පැනලා ඒවා අහුලගෙන ඒවා උන් අල්ලෙ තියලා පෙන්වද්දී දුප්පතුන්ගෙ ඒ අසරණකම උන්ට මහා විනෝදාස්වාදයක් සපයන ක්‍රියාවක් වූ නිසා. උන්ට විසි කරන්ට පුළුවන් වුණු සත පහ ඒ දුප්පත් කොල්ලන්ට නිධානයක් තරම් වුණා. අන්තිමේදී සත පනහක් මුහුදට විසි කරන පොහොසතෙක් එය අහුලගනිල්ලා කියද්දී සත පනහක් වෙනුවෙන් මැරුණත් කමක් නෑ කියලා පීනන්න නොදන්න පුංචි කොල්ලෙක් මුහුදට පනිනවා. ඒ පුංචි එකා ගැඹුරක් කියන්න නොදන්න මුහුදු රළ අස්සෙම හැංගිලා යනවා. පොහොසතුන්ට සත පනහක් සමඟ මරණය හොයාගෙන ගිය කොල්ලගෙ ජීවිතය මුහුදට විසි කරපු සත පහක් තරම්වත් වටින්නෙ නෑ. 

විනෝදාස්වාදය කියවද්දී මේ කතාව අපේ පන්තියේම මිනිස්සු ගැන කතාවක් නේද කියලා අවසානයේ හිතට ඇනුණේ වේදනාවේ කඩු තුඩු. අදටත් මට විනෝදාස්වාදයේ නරුම පොහොසතුන් හා කරුම දුප්පතුන් මේ සමාජ යාත්‍රාවේදී මතකයට එනවා.

♦ Sanju