2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

දැන් මම බීච් බෝයි

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 441

මම සචිත්‍ර කියන්න ද..? යෂ් කියන්න ද...? සචී කියන්න ද..? විහේන් කියන්නද..?
මෙහෙමනේ... මගේ නම සචිත්‍ර යෂ්.. ගොඩාක් දෙනා මට කියන්නේ සචී කියලයි. හැබැයි ඉතින් ළඟදී ඉඳන් ධනුෂ්ක අයියයි (ධනුෂ්ක රත්නායක), ගයාන් අයියයි (ගයාන් දිනේෂ් පෙරේරා) මාව විහේන් කළා. ඒ “හේලි ටෙලිනාට්‍යයෙන්. මේ දවස් කිහිපය ඇතුළත පුංචි තිරයේදී මම දැන් විහේන්.

“විහේන් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොම ද?
“හේලි ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක අයියා මුලින්ම කරපු “වෙස් ටෙලිනාට්‍යයටත් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණා. ඒ “වෙස් ටෙලිනාට්‍යයේ රෑගත කිරීම් කරන අතරතුරේදී දවසක මට ධනුෂ්ක අයියා අලුත් ටෙලිනාට්‍යයක පිටපතක් අතට දීලා “මේක හොඳට තියෙනවාද කියලා බලපන් කියලා කිව්වා. මාත් ඒක කියවලා බැලුවා. හරි ලස්සන පිටපතක්.. “ෂා.. මරුනේ අයියේ... ඕක කොහොම හරි කරන්න. කියලා කිව්වා. හැබැයි ඒ “හේලි පිටපත කියවලත්, ඒකට මාව සම්බන්ධ කරගන්න ධනුෂ්ක අයියගේ හිතේ තියෙනවාද කියලාවත් ඒ වෙලාවේ මම දැනගෙන හිටියේ නැහැ. “ඔව්.. ඕක තමයි ඊළඟට කරන්න හිතන් ඉන්නේ. වැඩේ හොඳයි නේද..? උඹෙන් අදහසක් ගන්න මම නිකන් දුන්නේ.. කියලා ධනුෂ්ක අයියා කිව්වා. 

එහෙම පිටපත කියවපු “හේලි* කතාවට සචීට සම්න්ධ වෙන්න ආරාධනා ලැබුණේ කොයි කාලේදී ද?
ඒකට ආරාධනා ලැබෙන්නේ “වෙස් ටෙලිනාට්‍ය රූගත කිරීම් අවසන් කරලා ටික කාලයක් ගියාටත් පස්සෙයි. දවසක් ධනුෂ්ක අයියා මට මුණගැහිලා මේ කතාවේ “විහේන්ගේ චරිතයට එකෙක් හොයනවා. උඹව පොඩ්ඩක් ඒකට බලන්නත් හිතෙනවා. උඹට දෙන පළවෙනි අභියෝගය තමයි සති තුනක කාලයක් දෙන්නම්. මට සික්ස් පැක් හදලා පෙන්නහන්.. කියලා. ඒක තමයි දුන්නු පළවෙනි අභියෝගය.

ඒ කියන්නේ “විහේන් වෙන්න තිබුණ ආසාවටම සචිත්‍ර ඒ අභියෝගය බාර ගත්තා.. එහෙම ද..?
ඔව්... ලියලා තිබුණ පිටපත අනුව ඒක ඉතා ලස්සන කතාවක්. ඒ නිසාම ඇත්තටම ඒකට සම්බන්ධ වෙන්න මම ගොඩාක් ආසා කළා. ඒ නිසාම ධනුෂ්ක අයියා දුන්නු ඒ පළවෙනි අභියෝගය මම බාර ගත්තා. කොහොම හරි අභියෝගය බාරගත්තු දවසේ ඉඳන් ආහාර පාලනය කළා. ජිම් ගිහින් ව්‍යායාම් කළා. ඒ හැමදේකින්ම මහන්සිවෙලා කොහොම හරි සති දෙකාහමරකින් මම සික්ස් පැක් හදලා විහේන්ට ගැලපෙන ඇඟ හදාගත්තා. මේක බීච් බෝයි කෙනෙක් වගේම ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කරන චරිතයක්. ඒ නිසා ධනුෂ්ක අයියාගේ හිතේ රැදිච්ච බීච් බෝයි මම වුණා. ඊට පස්සේ “හේලි සම්පූර්ණ පිටපත මට ලැබුණා. මම ඒක කියෙව්වා. ඊට ටික දවසකින් “හේලි වැඩ ටික පටන් ගත්තා. 

එමී.. කියන්නේ විදේශ කාන්තාවක්.. “හේලි නාට්‍යයේදී සචිත්‍රට වැඩි වශයෙන් රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ.. “හේලිට රඟපාන එමී එක්කයි. ඇයගෙන් ලැබුණු සහයෝගය කොහොම ද..?
ඇත්තටම එමීට ලැබුණේ ලොකු අභියෝගයක්. එයා රුසියානු කෙනෙක්. එයා සිංහල පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නැහැ. මේ නාට්‍යටම තමයි ධනුෂ්ක අයියලා එමීව ලංකාවට ගෙන්නුවේ. ඉතින් කිසිම දෙයක් දන්නේ නැති භාෂාවකින් රඟපානවා කියන්නේ වෙනමම අභියෝගයක්.. හැබැයි ඒකට හේලි පිටපත් රචකයා වුණු සුසිත් රුවන් අයියාගෙන් සහ ධනුෂ්ක අයියාගෙන් ලොකු සහයෝගයක් එමීට ලැබුණා... එමීට වෙනම පිටපතක් ලියලා ඒකේ තේරැම් ආයෙත් වෙනම ඒක යටින් ලියලා තමයි රූගත කිරීම් කළේ. එමීගේ කැපවීම උපරිමයෙන්ම තිබුණු නිසා එයා වැඩේ හොඳට කළා. අපි දෙබස් කියවද්දී වචන කැඩෙන තැන් වෙනස් නේ... ඒ හැමදේම ළඟ ඉඳගෙන එමීට කියලා දෙන්න සිද්ධ වුණේ මටයි. මුලදී ඉංග්‍රීසියෙන්ම කතා කරපු එමී ටික ටික සිංහල වචනත් කතා කරන්න පටන් ගත්තා.

එමීගේ රඟපෑමේ උනන්දුව ගැන මොකද හිතෙන්නේ?
ඒ උනන්දුව නම් ඉතා ඉහළයි. මට මතකයි එක දවසක් අපි එක සටන් ජවනිකාවක් ඇතුළු රූගත කිරීමක් පාන්දර හයේ ඉඳන් පසුවදා පාන්දර පහ වෙනකන් රූගත කිරීම් කළා. ඒ දවසේ උදේ කට්ටිය තැන් තැන්වල හාන්සි වෙලා මහන්සියෙන් ඉඳිද්දී මම ගාවට ආපු එමී “ඔයා කරන වැඩේ කැමැත්තෙන් නම් කරන්නේ ඔයාට මහන්සියක් දැනෙන්න විදිහක් නැහැ.. කියලා කිව්වා. ඇත්තටම එමී අපිත් එක්ක රඟපෑවේ හරිම සතුටින්.

රඟපාන්න විතරක් නෙමේ, සටන් කරන්න, නර්තනයන් ඉදිරිපත් කරන්නත් සචිත්‍රට අවස්ථාව ලැබුණා..?
ඔව්... මම කාලයක් සටන් ශිල්පය හදාරපු කෙනෙක්. “වෙස් නාට්‍යයෙන් තමයි මට යම් සටන් ක්‍රමත් කරන්න පුළුවන් කියලා ධනුෂ්ක අයියා දැනගත්තේ. “හේලි* රූගත කිරීම් කරන්න මාසයකට කලින් සටන් පුහුණු වීම් කළා. මම “හේලි ඔස්සේ තමයි මුල්ම වතාවට නර්තනයෙන් කළඑළි දකින්නේ. ඒකත් මගේ ජීවිතේ ලොකු හැරවුමක් වෙනවා. ඒකත් ධනුෂ්ක අයියා මට දීපු හොඳ චාන්ස් එකක්.

“හේලිට අමතරව මේ දිනවල කරන නිර්මාණ මොනවාද?
මේ දවස්වල “හේලි* සහ “රාවණා නාට්‍ය දෙකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ චරිත දෙක එකිනෙකට වෙනස්. ඊට අමතරව “මුතු අහුර නාට්‍යයේ “ටොප්රුක් චරිතයට හඬ කැවීමේ කටයුතුවලත් නිරත වෙනවා.

මේ හැබෑවෙලා තියෙන්නේ පුංචි කාලේ දැකපු හීනයක් ද?
ඔව්.. අපේ ලොකු අම්මා, පබෝදා අක්කා, බිමල් අයියා රඟපානවා දකිද්දී මටත් කවදාහරි රඟපාන්න තිබුණා නම් හොඳයිනේ කියලා හිතුණ අවස්ථා තිබුණා. මම මුලින්ම ඉගෙන ගත්තේ මුණිදාස කුමාරතුංග විද්‍යාලයේ. ඊට පස්සේ බෝමිරිය ජාතික පාසලට ඇතුලත් වුණා. මම 1 ශ්‍රේණියේ ඉඳන් පාසලේ නළුවා වුණා.

ඊළඟට තියෙන බලාපොරොත්තුව මොකක්ද..?
ලොකුම ඉලක්කය තව ෆිල්ම් එකකට සම්බන්ධ වීම තමයි. මීට පෙර මම “විජයබා කොල්ලය චිත්‍රපටයේ චරිතයක් කළා. ඒකත් ලැබුණු හොඳ අවස්ථාවක් ඒ වගේම “ශ්‍රී සිද්ධා කියන චිත්‍රපටයටත් දායකත්වය ලබලා දුන්නා. බොහෝ විට ඒ චිත්‍රපටයත් ලබන වසරේදී තිරගත වේවී. 

 

► Text - Dishani  /   Pic - Sumudu