2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ගම්මාන පිටින් විකුණන රටක්

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

නගරෙ ජීවිතේ කලබලයෙන් ගැලවෙන්න වුවමනා ගොඩක් අය කරන්නේ නගරයට පිටින් ගම්මානය තියෙන ගෙයක් මිලට ගන්න එකයි. අවුරුද්දට වතාවක් දෙකක් පිටිසර තියෙන ඒ ගෙදරට ගිහින් නිස්කලංක බව හිතේ හැටියට විඳගන්න එක තමයි ඒක අරමුණ. හැබැයි ස්පාඤ්ඤයට ගියොත් ගමකින් ගෙයක් විතරක් නෙමෙයි, මුළු ගමක්ම වුණත් සල්ලි දීලා අරගන්න පුළුවන්. 

ස්පාඤ්ඤයේ වයඹ දිග ප්‍රදේශයේ තියෙන ගැලිසීයා ප්‍රාන්තයේ මේ වෙද්දි ගම්වැසියන් නැතිව අත්හැරලා දාපු ගම්මාන 3500කට වඩා තියෙනවා. ගම්මානවල ඉන්න ජනතාව නගරය කරා ඇදී යාම වගේම ස්පාඤ්ඤයේ දරු උපත් සංඛ්‍යාව අඩුවීමත් වයස්ගත ජනගහනය වැඩිවීමත් නිසා ගම්මාන මේ වෙද්දි පාළුවෙලා ගිහින්. මේ තත්ත්වය උඩ   මෙච්චර කල් ගෙවල් විකුණමින් හිටපු සමාගම්වලට ගම්මාන පිටින්ම විකුණන්න අවස්ථාව ලැබිලා.

රෝසි කොස්ටොයා සහ ඇගේ සැමියා මාක් මේ වෙද්දි පටන් අරගෙන තියෙන ගැලිසියා රස්ටි හෝම්ස් කියන ව්‍යාපාරයෙන් කරන්නේ ඒ විදිහට ගැලිසියා ප්‍රාන්තයේ පාළුවට ගිහින් තියෙන පුංචි පුංචි ගම්මාන විකුණන එකයි. 
කොහොම වුණත් වැඩේ එච්චර ලේසිත් නැහැ. එක ගෙයක් විකුණනවා වගේ නෙමෙයි, මුළු ගමක්ම විකුණද්දි අවශ්‍ය කරන ලියකියවිලි බොහෝමයි. ඒ නිසා ගමක් විකුණන මට්ටමට ගේන එකත් ලොකු වැඩක්. ඒ කෙසේ වෙතත් රෝසිටත් මාක්ටත් මේ වෙද්දි ගම්මාන කිහිපයක්ම විකුණන්න අවස්ථාව ලැබිලා. තව ගම් 12ක් විතර විකුණන්න ලෑස්ති කරලත් තියෙනවා.

සමහර ගම්මාන යුරෝ 50,000කට වගේ අලෙවි වෙද්දි යුරෝ ලක්ෂ 20කට විතර විකිණිච්ච ගම් පවා තියෙනවා. ඒවායේ මිල ගණන් වෙනස්වෙන්නෙ ගම පිහිටලා තියෙන තැන, ගමේ ගොඩනැගිලිවල තත්ත්වය වගේ දේවල් උඩයි. 
ස්පාඤ්ඤ ගම්මානවලට මේ වෙද්දි ලොකුම ඉල්ලුමක් තියෙන්නේ එංගලන්තේ ජීවත් වෙන අයගෙන් වීමත් විශේෂත්වයක්. ඊට අමතරව ස්පාඤ්ඤ වැසියන් වගේම අමෙරිකාවෙනුත් මේ ගම් මිලදීගන්න ඉදිරිපත් වෙනවා.

“මමත් කුඩා ගම්මානයක හැදුණු වැඩුණු කෙනෙක්. ගමේ ජීවත් වුණු අතීතය මට හැමදාම සුන්දර මතකයක්. මට මේ වැඩෙන් ඕන කරන්නේ විනාශ වෙලා යන අපේ ගම්මානවලට නැවතත් ජීවිතය දෙන්නයි” රෝසි එහෙම කියනවා.
රෝසි මෑතකදී මුහුදුබඩ පුංචි ගම්මානයක් වන විවෙරෝ යුරෝ ලක්ෂ තුනකට බ්‍රිතාන්‍ය පවුලකට අලෙවි කළා. ගෙවල් තුනකින් සහ විශාල එළිමහන් ප්‍රදේශයකින් සමන්විත මේ පුංචි ගම්මානය ගැන අලුත් අයිතිකරුවන් ඉන්නේ ලොකු සතුටකින්.
“අපිටත් ගැලිසියාවලින් කොටසක් හිමිකරගන්න ලැබුණා කියලා හිතෙද්දි හරිම සතුටුයි” අලුත් හිමිකාරිනිය සෙරීනා පවසනවා.

බීබීසී ඇසුරෙනි 

Text - Suranga   /   Pic -  Internet