2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

තාත්තගෙ සාජ්ජය සංගීත පාසලක්

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 221

අපි ඔබේ ළමා කාලයේ සිට මේ කතාබහ පටන්ගමු. කොළොන්නාව ගමේ ගෙවුණු ඒ ළමා කාලය ආයෙමත් මතක් කළොත්..?
මගේ ළමා කාලය ගෙවුණේ කොළාන්නාවේ. මගේ තාත්තා ඒ දවස්වල ටවර්හෝල් සංගමයේ සාමාජිකයෙක්. ඒ නිසා තාත්තා ඒ කාලේ සංගීතය වාදනය කරපු වාදක ශිල්පීන් එක්ක හරිම හිතවත්. මට තාම මතකයි සමහර දවස්වලට තාත්තා ඒ යාළුවෝ බජව්වලට ගිහින් රෑ බෝ වුණාම නතර කර ගත්තෙ අපේ ගෙදරයි. තාත්තා ඒ කාලේ ඒ යාළුවන්ව අපේ ගෙදර නිතරම එක්කගෙන ආවා. හැබැයි අපේ ගෙදරත් ඒ වෙද්දී වාදන භාණ්ඩ කිහිපයක්ම තිබුණා. ඒ නිසා ගෙදර ආපු යාළුවන් එක්ක මහ රූ වෙනකම්ම අපේ තාත්තා පොඩි සාජ්ජ දැම්මා. ඔය අතරේ තාත්තා ඒ අයගෙන් රාග ඉගෙන ගත්තා. ඒ නිසා මහ රූ සාජ්ජ දැම්මා වගේම ඒක පොඩි සංගීත පාසලකුත් වුණා.

තාත්තා යාළුවන් එක්ක එහෙම සාජ්ජ පවත්වද්දී ඔබත් ඒවා බලාගෙන හිටියා..?
ඔව් ඔව්.. මම පුංචි කාලේ ඉඳන්ම සංගීත භාණ්ඩ වාදනය කරන්න හරි ආසයි. තාත්තගේ යාළුවන් අපේ ගෙදරට එනවට ඒ කාලේ ඉඳන්ම මම හරිම ආස කළා. මට අයියලා තුන්දෙනයි නංගිලා දෙන්නකුයි හිටියා. ඉස්සර මම ක්‍රීඩාවටත් හරිම කැමතියි. හැබැයි කොච්චර ක්‍රීඩා කළත් මම හවසට ගෙදර ඇවිත් ගෙදර තිබුණු සර්පිනාවයි වයලිනයයි වාදනය කරනවාම තමයි.

සංගීත භාණ්ඩ වාදනය කරනවට තාත්තත් කැමති වුණා.. එහෙම නේද..?
අම්මෝ නැහැ. මුලින්ම තාත්තා ඒ වාදන භාණ්ඩ අපිට අල්ලන්නවත් දුන්නෙ නැහැ. තාත්තා හැමදාම වැඩට ගියේ වයලින් එකයි සර්පිනාවයි කබඩ් එකකට දාලා ඉබ්බා දාලයි. ඉතින්.. මට මුලදී හරිම දුකයි. හැබැයි අයියලා කම්බි කෑල්ලකින් ඉබ්බා අරිනවා දැකලා මාත් හෙමිහිට කාටත් හොරා කම්බි කෑල්ලකින් ඉබ්බව ඇරලා වයලීනය අතට අරගෙන වාදනය කරන්න පටන් ගත්තා. තාත්තගේ යාළුවෝ ගෙදර ආවාම තාත්තට රාග කියලා දෙද්දී දොර අස්සෙ හැංගිලා මාත් ඒවා බලාගෙන හිටියා. ඒ නිසාම ඒ කවුරැත් නැති වෙලාවට වයලීනය අරගෙන තනිවම ඒ දේවල් පුහුණු වෙන්න මම පුරැදු වුණා. මුලදී සංගීතය කියන දේ ගැන කිසිම දෙයක් නොදැන හිටපු කාලෙදීම මම වයලීනය වාදනය කරන්න උත්සාහ ගත්තා.

තාත්තට හොරෙන් වයලීනය වාදනය කරන්න උත්සාහ ගනිද්දී ඔබේ මව ඒවාට දැක්වූ ප්‍රතිචාරය කොහොමද..?
තාත්තගේ වාදන භාණ්ඩ හොරෙන් අරගෙන ඒවා වාදනය කරද්දීනම් අම්මත් ටිකක් බය වුණා. දැන් තාත්තා ආවොත් අල්ලගෙන ගහවි.. ඕක තිබුණු තැනින් තියන්න කියලා අම්මා මට අනන්තවත් කියලා ඇති. නමුත් පහු කාලෙදී මම වාදනයට ටිකෙන් ටික ළං වෙද්දී අම්මා ගොඩක් සතුටු වුණා. තාත්තා සේවය කරපු ආයතනයේ කාගේ හරි කෙනකුගේ ගෙදර සාජ්ජයක් තිබුණොත් ඒකට වාදනය සපයන්න බාර කළේ අපේ ගෙදර අයටයි. අපේ අයියලා කට්ටියම ගිහින් ඒ සාජ්ජය දාද්දී පුංචි මමත් ඒවාට සම්බන්ධ වුණා. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම මම බජව්වලට හරියට ආස කළා. ඒ කාලේ අපි සිංහල සින්දු වගේම හින්දි සින්දුත් අහන්න ආස කළා. ඒ නිසාම සාජ්ජවලදී අපි සිංහල සින්දු වගේම හින්දි සින්දුත් වාදනය කළා. ගායනය කළා. මම ඉස්සර මුලින්ම තබ්ලා ගහන්න පුරුදු වුණේ ට්‍රේ එකකට ගහලයි. සින්දුවේ වාදනය නවත්තන තැන් ගැන මම හරියට සැලකිලිමත් වුණා. 

පාසලෙත් ඔබ හොඳ වාදකයෙක්ද..?
ඔව්.. මම මුලින්ම කොළොන්නාව මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. පසුව කොළොන්නාව ආනන්ද විදුහලට ඇතුළත් වුණා. ඒක මිශ්‍ර පාසලක්. ඒ පාසලේ අපේ පන්ති බාර ගුරුතුමා වුණේ වික්‍රමසිංහ ගුරුතුමයි. ඒ වෙද්දී සංගීත වාදන භාණ්ඩ කිසිම දෙයක් පාසලට ගෙනත් තිබුණෙ නැහැ. අපිව පොඩි විභාගයකින් තමයි සංගීත පන්තියට තෝරාගත්තෙ. මමත් ඒ විභාගයට ඉදිරිපත් වුණා. හැබැයි මම සද්ද නඟා රාග කිව්වෙ නැහැ. ඒ නිසා මාව අසමත් කළා. උස් හඬින් ගැයූ මගේ යාළුවෙක්ව සංගීත පන්තියට එකතු කර ගත්තා. එදා මට ටිකක් දුක හිතුණා.

ඒ තෝරාගැනීමේ විභාගයෙන් අසමත් වුණු ඔබ පසු කාලෙදී සංගීත අංශයෙන් දීප්තිමත් ශිෂ්‍යයෙක් වුණේ කොහොමද..?
එදා මාව ඒ තෝරාගැනීමේ විභාගයෙන් අසමත් වුණාම මට ගොඩක් දුක හිතුණා. ඔය වෙද්දී අපේ යාළුවෝ කට්ටියක් හැමදාම ඉස්කෝලෙ ඇරුණට පස්සෙ ඉස්කෝලෙ එළියෙ තිබුණු පොඩි ස්ටේජ් එකට එකතුවෙලා ඩෙස්ක් එකකට ගහමින් සින්දු කිව්වා. දවසක් මම මිල්ටන් පෙරේරාගේ අයියා මල්ලි වගේ සින්දුව හයියෙන් කිව්වා. ඒක වික්‍රමසිංහ ගුරුතුමා ටික වෙලාවක් අහගෙන ඉඳලා තියෙනවා. සින්දුව ඉවර වුණාට පස්සෙ මගේ ළඟට ආපු වික්‍රමසිංහ ගුරුතුමා මේ මනුස්සයා හොඳට සින්දු කියනවනෙ.. හෙට ඇවිත් මාව මුණගැහෙන්න* කියලා කිව්වා. පහුවදා මම ගුරුතුමාව මුණගැහුණාම මාව සංගීත පන්තියේ නායකයා කරලා මාව පන්තියට එකතු කර ගත්තා. මම වාදන භාණ්ඩ කිහිපයක්ම ඉස්කෝලෙට ගේන්න යනවා. ඔය ළමයට තමයි ඉස්සෙල්ලාම ඒවා වාදනය කරන්න දෙන්නෙ කියලත් කිව්වා.

පාසලට ගෙනාපු මුල්ම වාදන භාණ්ඩ වාදනය කරන්න ඔබට අවස්ථාව ලැබුණද..?
ඔව්.. පාසලට වයලීනයක් සහ සිතාරයක් ගෙනාවා. හැබැයි අපේ ගෙදර සිතාරයක් තිබුණෙ නැහැ. ඒ නිසා මම සිතාරය වාදනය කරන්න ආස කළා. හැබැයි සිතාරය වාදනය කරන්න ඔයා පොඩි වැඩියි කියලා ගුරුතුමා මගේ අතට වයලීනය දුන්නා. වයලීනය ගෙදරත් තිබුණු නිසා මම මුලදී ඒකට එච්චර කැමති වුණේ නැහැ. නමුත් ගුරැතුමාගේ ඉල්ලීම මත මම වයලීනය වැඩිදුර ඉගෙන ගත්තා. එතැන් සිට මම දිගටම වයලීනය වාදනය කරන්න පුරුදු වුණා. ඇහෙන සින්දුව අනුව මම වයලීන් වාදනය කරන්න පුරුදු වුණා. ඒ කාලෙදී අපේ ගෙදර රේඩියෝව කැඩිලයි තිබුණෙ. මම ළඟපාත ගෙදරකින් ගීතයක් අහගෙන ගෙදර ඇවිත් ඒකට අනුව වයලීනය වාදනය කරන්න පුරුදු වුණා. සමහර ගීත පුරුදු වුණේ එක එක කොටස් වෙනම අහගෙන ඇවිල්ලයි. මොනවද ඔය කරන්නේ.. දෙල් කොළේ උඩ කබරයා යනවා වගේනෙ කියලා සමහරදාට අම්මා මට බැන්නා. කොහොම හරි මම ඒ හැමදේම ඉගෙන ගත්තා.

එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා ආදී ගායකයන් එක්ක පමණක් නෙමෙයි, වර්තමානයේදී තරුණ පරපුරේ අයට පවා සංගීතය සපයන්න ඔබට අවස්ථාව ලැබුණා. මේ යුග අතරේ යම් වෙනසක් තියෙනවද..?
ඔව් ඇත්තටම.. වර්තමානයේ ඉන්න කලාකරුවන් කලාකාරියන් මුදල් හදල් අතින් පොහොසත් වුණාට අද ඉන්න අයට වඩා එදා හිටපු කලාකරුවන් අතර හොඳ මනුස්සකමක් තිබුණා. මිල්ටන් පෙරේරාගේ ගීතවලට සංගීතය සපයන්න ඒ කාලෙදී මට ලැබුණෙ රුපියල් පහළොවයි. ඔය කාලෙදී මගේ තාත්තා හිටියෙ අසනීප තත්ත්වයෙන්. ඒ නිසා මේ දේවල් කරලා ලැබෙන මුදලෙන් තමයි මම ගෙදරටත් වියදම් කළේ. අයියලත් ගෙදරට වියදම් කළා. ඉතින් තාත්තගේ අසනීපය ගැන මිල්ටන් පෙරේරා දැනගෙන හිටියා. මට රුපියල් පහළොව වෙනුවට රුපියල් විස්සක් දීලා මල්ලි ඇතිද.. මල්ලි ඇතිද? කියලා අහලා ඇති අයියේ කියලා කිව්වට පස්සෙ ආ.. මේකත් ගන්න කියලා ආයෙත් රුපියල් පහක් දෙනවා. ඒ තරමටම ඔවුන් ළඟ මනුස්සකම තිබුණා. ඒ කාලේ රුපියල් පහක් කියන්නෙ ලොකු දෙයක්. අද ඉන්න සමහර අය ඇයි එයාට එච්චර දෙන්නෙ? කියලා අහන අවස්ථාවත් තියෙනවා. මුලින්ම මම වයලින් වාදනය කරලා ලැබුණෙ රුපියලයි. ටික ටික තමයි ඒ ගාණ වැඩි වුණේ. හැබැයි ඒ කාලේ ඕන තරම් වැඩ තිබුණා. වයලින් වාදනය කරන්න මට අවස්ථාව ලැබුණා.

මුලින්ම සහභාගි වුණු විදේශ ගමන මතකද..?
මට මතක හැටියට මම මුලින්ම ගියේ ලන්ඩන්වලටයි. ඒ වෙද්දී මම ගුවන්විදුලියේ වාදන ශිල්පියෙක් වෙලා අවසානයි. ඒ 1975 අවුරුද්දෙ. ඒ ගමනට නන්දා මාලිනී, රෝහණ වීරසිංහ සහභාගි වුණා. ඒක ඉතා සාර්ථක ගමනක් වුණා. ඒ ගමනින් පසුව දෙවැනි අවුරුද්දෙදී සිසිර සේනාරත්න එක්ක ලන්ඩන් නුවරට ගියා. ඉන්පසුව රටවල් කිහිපයකම සංචාරය කරන්න අවස්ථාව ලැබුණා.

ඔබ විසින් සංගීතවත් කළ ඉතා ජනප්‍රිය ගීතයක් වුණු කපුගේ මහත්තයාගේ සීතල සඳ එළියේ ගැන යමක් කිව්වොත්..?
මට කවදාවත් කාටවත් මට ගීතයක් සංගීතවත් කරන්න අවස්ථාව දෙන්න කියලා නැහැ. කපුගේ මහත්තයට මම සංගීතවත් කළ සීතල සඳ එළියේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. 

සීතල සඳ එළියේ
පීදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරො නුඹ නාඩන්
බඹරො නුඹ නාඩන්

දවසක් කේමදාස මාස්ටර් ළඟ අපි ගීත කිහිපයකටම සංගීතය සපයමින් ඉන්න අතරතුරේදී ගුණසේන මේක ගායනා කරන්න කියලා ගීතයක් මගේ අතට දුන්නා. ඔය වෙද්දී මම ගීත කිහිපයකම අත්වැල් ගායනා කරමිනුයි හිටියෙ. ඒ අනුව තමයි මම සොඳුර මට සමුදෙන් ගීතය මුල්වරට ගායනා කළේ. ඒ ගීතය ලිව්වෙ සමන් චන්ද්‍රනාත් වීරසිංහ. සංගීතවත් කළේ  ආචාර්ය ප්‍රේමසිරි කේමදාස.

සොඳුර මට සමුදෙන්න සමුදෙන්න
ඈත ගමේ සරුපස පෙරළන්නට
මා යනවා අද උදෑසනම
මා යනවා අද උදෑසනම
සොඳුර මට සමුදෙන්න සමුදෙන්න

ඔබේ විවාහය සිදුවුණේ කොයි කාලෙද..?
1971 අවුරුද්දෙයි මම විවාහ වුණේ. පාසලේදී තමයි ඇයව මට මුණගැහුණෙ. දැන් අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. එයාටත් හොඳට වයලීන් වාදනය කරන්න පුළුවන්. දුව අපිත් එක්ක ලංකාවේ ඉන්නවා.

මීට මාස කිහිපයකට පෙර ඔබේ වයලීනය නැතිවුණු බව ආරංචි වුණා.. ඒ සම්බන්ධව ආරංචියක් ලැබුණෙ නැද්ද..?
තවම නැහැ. මීට මාස එක හමාරකට විතර උඩදී එක රෑක මම බත්තරමුල්ලේ ඉඳන් ගෙදරට ත්‍රීවිල් රථයකින් ආවා. මහ වැස්සේ මම ගේ ගාවින් ත්‍රීවිලර් එකෙන් බැහැලා මගේ බෑග් එකත් අරගෙන ගෙදරට ගියා. මට වයලිනය ගන්න අමතක වුණා. අදටත් ඒ වයලීනය ගැන කිසිම ආරංචියක් නැහැ. මට ඊටපස්සෙ වයලීන් දෙකක් තෑගි ලැබුණා. නමුත් මට හුරුපුරුදු වයලීනය තරම් තාම ඒවා හුරු නැහැ. ඒ වයලිනය වටින්නෙ මටයි. තාම ඒක නැතිවීම මගේ හිතට ලොකු දුකක්. මේ ගැන තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවානම් මට කියන්න. ඒ වයලීනය වෙනුවෙන් මුදල් තෑග්ගක් ලබා දෙන්න මම සූදානම්.

 

► Text - Dishani  /  Pic -Sumudu