2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ආතර්ගේ ජීවිතය අස්සේ මමත් ඉන්නවා...

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 186

ඇය නැති බැරිකම් දුප්පත්කම් එක්ක ජීවිතයේ දුක අහුලන මිනිසුන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් යමක් කරන්නට හදන සුන්දර යුවතියකි. 

මිෂෙල් මේ දවස්වල ඔයාගේ ජීවිතේ ගෙවෙන විදිය ගැන පොඩ්ඩක් කියලම අපේ කතාව පටන්ගමු නේද?
පහුගිය දවස්වල ටිකක් විතර කාර්යබහුල වුණා... අලුත් ටෙලි චිත්‍රපටයකට සම්බන්ධ වෙලා වැඩකළා.... තව ඉරේෂ් ලොකුබණ්ඩාර මහත්මයාගේ අලුත් ටෙලිනාට්‍යයකත් වැඩ කරගෙන යනවා. ඒ වගේම නිමල් රත්නායක මහත්මයාගේ ටෙලිනාට්‍යයකත් වැඩකරනවා... තව ටෙලිනාට්‍ය දෙකක කාස්ටින් කරගෙන යනවා. ඒ ඇරුණාම මගේ සමාජසේවා කටයුතුයි ඉගෙනීමේ කටයුතුයි සමබරව කරගෙන යනවා. ඕවා තමයි ඉතින්...

ඒ තමයි මේ දවස්වල මිෂෙල්ගේ ජීවිතය... අපි එහෙනම් මාතෘකාවට බහිමු නේද...?
මිෂෙල් කියන්නෙම දක්ෂ තරුණ රංගන ශිල්පිනියක්... ඇගේ දක්ෂතා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍ය හරහා මුළු රටම එයාගේ දක්ෂතා දැක්කා... ඒ නිසා ඇගේ රංගනය ගැන අපිට තර්කයක් නෑ... හරි ඒවා පැත්තකින් තියමුකෝ... ඔබේම නිර්මාණයක් කියලා හිරකරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණු අපූරැ වැඩක් ගැන ටිකක් කතා කරමුද..? හැබැයි කොන්දේසියක් තියෙනවා... ඒ අපූරැ නිර්මාණයට මිෂෙල්ගේ සම්බන්ධයක් තියෙන්න බෑ... එකඟද?

මිෂෙල් මොහොතකට කල්පනා ලෝකයේ...

හරි එකඟයි..?
මට දැනිච්චි නිර්මාණ ගොඩක් තියෙනවා... ඒ නිර්මාණ අතරින් එකක් තෝරගන්නවා කියන එක ටිකක් විතර අසීරු වැඩක් වුණත් මුලින්ම මේ වැඩේ ගැන කියනකොටම මගේ මතකයට ආවේ මෑතකදී මම නරඹපු චිත්‍රපටයක්... මේ චිත්‍රපටයේ තිරරචනය සහ අධ්‍යක්ෂණය කරන්නෙ ටොඩ් ෆිලිප්ස්...  ජෝකර් තමයි ඒ චිත්‍රපටය...  

මම මේ චිත්‍රපටය තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. මීට මාස කිහිපයකට කලින් මේ චිත්‍රපටය ගැන මට මුලින්ම කියන්නෙ මගේ හොඳම යාළුවා මනූෂා... මුලින්ම ඇය ජෝකර් චිත්‍රපටයේ ටේලර් එකක් තමයි මට පෙන්නුවේ... ටේලර් එක බැලුවට පස්සෙ මට ගොඩක් ආසා හිතුණා... ඊටපස්සේ මම මේ චිත්‍රපටය ගැන හොයන්න ගන්නවා... මම මේ චිත්‍රපටය ගැන ගොඩක් දේවල් දැනගන්නවා... මේ චිත්‍රපටය අයිතිවෙන්නෙ මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපට ගොන්නට... මට ගොඩක් මේ චිත්‍රපටය දැනෙන්න හේතුව තමයි අවුරුදු හතරක් තිස්සේ මම මේ මාතෘකාව ගැන කතාකරලා.. අවුරුදු කීපයක රීසර්ච් එකකින් පස්සේ මම පොතකුත් ලිව්වා... ඒ පොතේ නම තමයි social invisibility is not a fiction it exists (සමාජ අදෘශ්‍යමානභාවය මිත්‍යාවක් නොව  එය පවතින්නක්) ජෝකර් චිත්‍රපටය තුළින් ටොඩ් ෆිලිප්ස් කියන්න උත්සාහ කරපු දේයි මගේ පොත හරහා මම ඉස්මතු කරන්න හදපු දේයි ගොඩක් දුරට සමානයි... කෙනෙක් දිගටම සමාජයෙන් කොන්වුණාම ඒ කොන්වෙන පුද්ගලයාට ඒක බාලපාන විදිය මගෙ පොත හරහා මම කතාකරනවා... සමාජ අදෘෂමානභාවයට දෙන්න පුළුවන් හොඳම උදාහරණය විදියට මම ජෝකර් ෆිල්ම් එක දකිනවා...

මේ චිත්‍රපටය ප්‍රධාන වෙන්නෙ ආතර් ෆ්ලෙක් කියන පුද්ගලයා... ආතර් ෆ්ලෙක්ට රඟපාන්නෙ ජෝකීන් ෆීනික්ස්... ආතර් ෆ්ලෙක් කියන්නෙ ගෝතම් නගරයේ ජීවත් වෙන විකට නළුවෙක්... එයා ජීවත් වෙන්නෙ ලෙඩවෙච්ච එයාගේ අම්මත් එක්ක. ආතර් රස්සාව විදියට කරන්නෙ වීදි විහිළුකාරයෙක් විදියට මුහුණ ආවරණය කරගෙන රඟපාන එක... මෙයා සෑහෙන්න මහන්සිවෙනවා පවතින ආර්ථිකයෙන් උඩට එන්න..  සෑහෙන ආර්ථික ප්‍රශ්න මැද තමයි මේ දෙන්න ජීවිතය ගැටගහගන්නෙ... මෙයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා... ඔහු කරන රැකියාවයි හැසිරෙන ආකාරය නිසා අමානුෂික විදියට ආතර් සමාජයෙන් කොන්වෙනවා... එන්න එන්නම ඒ පීඩාව වැඩිවෙනවා... මෙයා වැඩකට නැති පුද්ගලයෙක් විදියට පහත් කරනවා... අවසානයේ සමාජයේ අදෘශ්‍යමානවෙලා හිටපු මේ පුද්ගලයා සමාජයේ කතාබහ කරන චරිතයක් බවට පත්වෙනවා මේ චිත්‍රපටය පටන්ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම ඇහැපිල්ලමක්වත් නොගහා බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි ජෝකර් කියන්නෙ...

මේ කෘතිය මිෂෙල්ට මෙච්චරම දැනෙන්නේ... ඔබේ ජීවිත අද්දැකීමකට මේක කතාව සමීපයි කියලා මට හිතෙනවා? මම හරිද?
ඔව් සමහර වෙලාවට එහෙම කියන්නත් පුළුවන්... ආතර් ෆ්ලෙක් කියන චරිතය ගොඩක් දුරට මගේ ජීවිතයට සමීපයි... මමත් රංගන ශිල්පිනියක් වෙන්න කලින් වැඩිය සමාජීශීලි චරිතයක් නෙමේ... පොදුවේ සමාජය ගමන් කරන විදියක් තියෙනවනේ.. සමාජයේ බොහෝ දෙනෙක් ජීවත්වෙන්නෙ චක්‍රයකට අනුවනෙ... අපි ඉපදෙනවා, ඉස්කෝලෙ යනවා, රස්සාවක් කරනවා කසාද බඳිනවා... ළමයි හදනවා... ඔන්න ඔය වගේ... ජීවිතේ සමහර අවස්ථාවල් තිබුණා මම මේ සමාජ චක්‍රයෙන් විසිවෙලාද ඉන්නෙ කියලා හිතුන වෙලාවල්... ඒ වෙලාවට මමත් සමාජයෙන් සැඟවෙන්න උත්සාහ කළා... අද වෙනකොට මම ඒ තත්ත්වයෙන් මිදිලා... සමාජයේ අසරණවෙලා සැඟවෙන්න උත්සාහකරන වෙනත් අයට සහනයක් වෙන්න කටයුතු කරනවා. මම අත්වින්ද අද්දැකීම් අනිත් අයට අත් නොවිඳින්න, ඒ අයට අස්වැසිල්ලක් වෙන්න අලුත් වැඩසටහනක් මම කරගෙන යනවා... 

මට දැනුණු විදියට ජෝකර් ෆිල්ම් එක ඇතුළේ ඔයා වැඩියෙන්ම කැමති චරිතය ආතර් ෆ්ලෙක් නේද? ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්. ආතර් ෆ්ලෙක් තමයි... ආතර් ෆ්ලෙක් නියෝජනය කළේ සමස්ථ අදෘෂමාන පිරිස. යම් යම් අවස්ථාවල එවැනි අත්දැකීම් මටත් තිබුණු නිසා ඒ චරිතය මට ගොඩක් දැණුනා.. ජෝකීන් ෆීනික්ස්ගේ අති විශිෂ්ඨ රංගනයත් හේතු වුණා ආතර් ෆ්ලෙක්ට මට සමීපවෙන්න... සමස්ථයක් විදියට සියලු රංගන ශිල්පීන්ගේ රංගනයන් මේ චිත්‍රපයට සාර්ථක වෙන්න බලපාලා තිබුණා... ඔවුන් ඒ ඒ චරිතවල ගැඹුරටම කා වැදිලා රංගනයේ යෙදෙනවා. කොයිම වෙලාවකවත් අපිට හිතෙන්නෙ නෑ ඔවුන් කරන්නෙ රඟපෑම් කියලා... ඒ තරමට තාත්විකයි. 

ආතර් ෆ්ලෙක්ලා වගේ චරිත ලංකාවෙත් ඕනතරම් ඇති එවැනි අයට මොනවගේ උපකාරයක් කරන්න පුළුවන් කියලාද මිෂෙල්ට හිතෙන්නෙ...?
ඇත්තටම දැනටමත් එවැනි අය වෙනුවෙන් වැඩසටහන් කීපයක්ම මම කරනවා... අපේ ගෙවල්වලත් එවැනි අය ඉන්න පුළුවන්... අම්මා, තාත්තා, ආච්චි, සීයා වගේ අයත් වයසට යද්දි ඔය වගේ තත්ත්වලට පත්වෙනවා... ඒ අය ගැන අවධානය යොමුකරන්න අපි තාමත් පරක්කු නෑ... මට කෙටියෙන්ම කියන්න තියෙන්නෙ. එවැනි අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ඒ අයට ඇහුම්කන්දීම සහ ඒ අය වෙනුවෙන් අපේ කාලය වැය කිරීම...

ජෝකර් බලද්දී ඔයා වැඩිපුර සංවේදී වුණු තැනක් දෙකක් මතක් කරමුද? 
මේ නිර්මාණයේ ගොඩක් තැන් සංවේදී තැන් තමයි... ඒ අතරිනුත් මට ගොඩක් දැණුනා සහ මට මතකයේ තියෙන තැනක් තමයි මේ චිත්‍රපටයේ අවසාන දර්ශනය..  අතර් ෆ්ලෙක් කියනවා එක වාක්‍යයක්... මගේ ජීවිත කාලෙම මම දැනගෙන හිටියේ නෑ.. මම ජීවත්වෙනවා කියලා... ඇත්තටම මේ ෆිල්ම් එකේ ගැඹුර ඒ වාක්‍යයෙන් ඉස්මතු වෙනවා... මොකද අපේ වේගයට යන්න බැරි හැමෝම ජීවිතයේදී අපිට මඟ ඇරෙනවා... ඒ මඟ ඇරෙන අය සමාජයෙන් කොන්වෙනවා... ඒ ගැන සමාජයේ ඇස් අරවන චිත්‍රපටයක් තමයි ජෝකර් කියන්නෙ.. 

මේ ෆිල්ම් එක මිෂෙල් කී පාරක් බැලුවද?
මේ ෆිල්ම් එක රිලීස් වුණේ ඔක්තෝබර් මුල... ලංකාවේ සිනමා ශාලාවලට ආවේ මෑතකදී... දැනට දෙපාරක් මම මේ චිත්‍රපටය බැලුවා...

සිනමා කෘතිය බලලා අවසානයේ ඔබට මොනවගේ හැඟීමක්ද හිතට දැනුණේ?
ඇත්තටම මට දැනුණා සතුටක්... මොකද ඇත්තටම එයා අවසානයේ ඔප්පු කරනවා එයත් සමාජයේ සජීවී චරිතයත් බව... මේ ෆිල්ම් එක ගැන වෙනස් වෙනස් විචාර ගොඩක් තියෙනවා... නමුත් ජීවිත ගැන වෙනස් විදියට දකින්න ආතර්ට පුළුවන් වෙනවා... මේ ෆිල්ම් එක අවසානයේ මම ඇත්තටම පුදුම වුණා. 
එහෙම තමයි මිෂෙල් නිහඬ වුණේ....

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet