2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

නොපෙනෙන හීන මගෙ හිතේ තිබුණා...

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

- තරුෂි සුරම්‍යා පෙරේරා

තරුෂි... මේ දවස්වල නියැලිලා ඉන්න නිර්මාණ කටයුතු මොනවාද?
මේ දවස්වල දෙවැනි ඉනිම සහ නීල පබලු ටෙලිනාට්‍යයෙයි දැනට වැඩකටයුතු කරගෙන යනවා. තවත් ටෙලිනාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකත් හොඳ චරිතයක්. ඉතින් ඒ නිර්මාණයටත් ඉදිරියේ දී සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය මීට පෙර රඟපෑ චරිතයට වඩා වෙනස් චරිතයක් අද රඟපානවා. මුල් රංගනය තරැෂිට අභියෝගයක් වුණාද?
ඔව්... ඇත්තටම.. ඒ මුල් චරිතය ගොඩාක් අභියෝගාත්මක චරිතයක් වුණා. ඒ නිසාම මම හරිම කැමැත්තෙන් ඒ චරිතය බාරගත්තා. ඒ මානසික වියවුල්තාවය සහ ඒ චරිතය ඇතුළේ හැංඟුණ කතාවක් තිබුණා. ඒ ගැටලු සහගත තත්ත්වයත් එක්ක ඒක මුල් කාලයේදී විකාශනය වුණා. ටික කාලයක නිහඬතාවයකින් පසුව නැවතත් ඒ චරිතය තුළින්ම මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඒක වෙනස් නිරූපණයක් වුණා. ඒ චරිතය ඔස්සේ හැංඟුණ රහස් නිරාකරණය වුණාට යටගිය රහස් කතාව ඇතුළේ තියෙනවා. චරිතයේ මානසික තත්ත්වය හොඳ වුණාට ඒ ගැටලු සහගත තත්ත්වයන් තව තැනකදී මතුවෙයි කියලා අපි හිතනවා. ඒ ඔස්සේ චරිතය ආයෙත් වෙනස් වේවී. ඒක හරියට කියන්න බැහැ. නමුත් ඒ හැමදෙයක්ම මට අභියෝගයක් වුණා.

මෙවැනි චරිතයක් කරද්දී ඒක සාර්ථක කරගන්න තරැෂි මොනවගේ දේවල් උපයෝගි කරගත්තාද?
දෙවැනි ඉනිමේ මේ පිටපත මට දෙද්දී මම මගේ චරිතය ගැන හොඳ අධ්‍යයනයක් ලබා ගත්තා. මම ඒ පිටපතම කියෙව්වා. ඇය ඒ තත්ත්වයට පත්වෙන්නට හේතුවත් එක්ක අධ්‍යක්ෂකවරයා සමඟ කතාබහ කරලා තමයි මම ඒ චරිතය කරන්න බාරගත්තේ. එවැනි මානසික වියවුල් තත්ත්වයේ ඉන්නා නිර්මාණ කිහිපයක් මම බැලුවා. ඒ චරිතය සාර්ථක කරගන්න අධ්‍යක්ෂකවරයාගෙන් ඇතුළු මුළු කණ්ඩායමෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා.

කාලයක් ඒ චරිතය යටගිහින් නැවතත් දෙවැනි ඉනිම හරහා දැකබලා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. අද වෙද්දී ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ප්‍රතිචාර නම් එදා ඉඳන්ම හොඳයි. මානසික රෝගියකු ලෙස රඟපාන කාලයේදී නම් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මඟතොටේදී වුණත් සමහර වයසක අම්මලා අතින් අල්ලලා අනේ.. දුවේ... කියලා කියපු වෙලාවලුත් තිබුණා. දැනුත් ඒ හා සමානම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක වෙනස් වූ චරිතයක්. ඉහළ පන්තියක ධනවත් කාන්තාවක් ව්‍යාපාරයකට හිමිකම් කියන කාන්තාවක්. නමුත් මගේ දුව (සමල්කා) වෙනස් චරිතයක්. ඉතින් එදත් අදත් අතර ලොකු වෙනස්කමක් මම දකිනවා. බලමු... ඉදිරියේදී ලොකු වෙනසක් නිර්මාණය තුළින් දැකබලා ගන්න පුළුවන් වේවී.

තරුෂිට වැඩිපුරම රඟපාන්න ලැබෙන්නේ අහිංසක ගැමි චරිත ඇයි මේ?
අනේ.. මන්දා... ඒක මටත් හිතාගන්න නම් බැහැ.. මම ඉපදුණේ නුවර නාවලපිටියේ. ඒක ගමක් නොවේ. මට ලැබුණු බොහෝ චරිත ගැමි අහිංසක චරිත. හැබැයි එකම රාමුවකට කොටුවෙන්න මම කැමති නැහැ. ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් කියන විශ්වාසය මගේ හිත තුළ තියෙනවා. නමුත් ලැබෙන චරිතවලට මම පුළුවන් උපරිමයෙන් සාධාරණයක් කරනවා. ඇත්තටම විවිධත්වයක් තියෙන චරිත කරන්න මම ගොඩාක් ආසයි. ඇත්තටම ඒවාට මම හරි ලෝභයි. එහෙම නොවන ඒකාකාරී චරිත කිහිපයක්ම පහුගිය කාලයේදී මම ප්‍රතික්ෂේප කළා.

මේ හැබෑ වෙන්නේ පුංචි කාලේ දැකපු හීනයක් ද?
මම හිතන්නේ අපිට නොපෙනෙන හීන මගේ හිත ඇතුළේ තියෙන්න ඇති කියලා. පුංචි කාලේ ඉඳන් මම රඟපාලා තියෙනවා. නිර්මාණාත්මක හැකියාවන් මගේ තිබිලා තියෙනවා. මගේ නංගිලා, යාළුවෝ ඉස්සරහා මම රඟපාලා තියෙනවා. සෙල්ලම් ගෙවල් දාලා අපි ගතකරපු ඒ ලස්සන ළමා කාලයට මම තවමත් ආදරෙයි. ටිකක් ලොකුවෙලත් අපි සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කළා. අපි සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරපු කාලයේදී පවා බලපු චිත්‍රපට මම ආයෙත් ගෙදර ඇවිත් රඟපාලා තියෙනවා. මට මතකයි මාලනී ෆොන්සේකා, සබීතා පෙරේරා අක්කලා රඟපාපු චරිත අනුකණය කරලා ගෙදරදී මම රඟපාලා තියෙනවා. ඇත්තටම ඒක ගෙදරදී ලබපු හරිම වින්දයක්. සමහරදාට නළුවන්ගේ චරිත පවා මම ගෙදරදී රඟපාලා තියෙනවා. ඒ ඔස්සේ මට රඟපාන්න ආසාව ඇතිවුණා

පාසලේදී මොනවගේ චරිතයක් ද?
ඉස්කෝලේදී පොඩි පොඩි දඟ වැඩ කළා. හැබැයි ඒ දඟ වැඩවල මූලිකයා වුණේ නම් නැහැ. කලා කටයුතුවලට සම්බන්ධ වුණා. මම නර්තනය කළා. ඒ ගුරුවරියත් ගොඩාක් ආදරණීයයි. මම මුලින්ම ඉගෙන ගත්තේ නාවලපිටිය ශාන්ත ඇන්තනී විද්‍යාලයෙන් සහ නුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයෙන්. ස්වර්ණමාලි විදුහලේ හේමා සමරකෝන් මැඩම් මට ගොඩාක් සමීපයි. අදටත් මම මැඩම්ට කතා කරනවා. හේමා මැඩම්වත් මම හරිම ආදරෙන් මතක් කරනවා. 

අද ඔබ ආදරණීය මවක්.. ඒ ජීවිතේ ගැන කතා කළොත්..?
මගේ පෞද්ගලික ජීවිතේ මම ඉතා හොඳින් ගත කරනවා. මට හොඳ සැමියෙක් ලැබිලා තියෙනවා. ඔහු සුමේධ තෙන්නකෝන්. සුමේධ හොඳ ආදරණීය තාත්තා කෙනෙක්. අපි විවාහවෙලා දැන් වසර හයක් වෙනවා. මම මගේ දරුවට කරන අසීමිත ආදරයත් එක්ක තියෙන ලොකුම හීනයක් එක්ක මගේ දරුවට හොඳ තාත්තා කෙනෙක් ලැබීමම මම මේ ලෝකේ ඉන්න හොඳ අම්මා කෙනෙක් වුණා කියලා හිතනවා. අපිට පුතෙක් ඉන්නවා. ඒ තරුල්. දැන් එයාට වයස අවුරුදු හතරහමාරයි. දැන් මගෙයි සුමේධගෙයි ලෝකෙ එයා.

කියන්න අලුත් ආරංචියකුත් තියෙනවා. අපූරු ඉලක්කයක් තියෙනවා නේද?
ඔව්... ලොකු ඉලක්කයක් නම් තියෙනවා. ඒ ඉලක්කයට දැන් ගොඩාක් ළංවෙලයි තියෙන්නේ. අපි ඒ හැමදේම ළඟදීම කියමු. බොහෝ විට 2020දී හරි අපූරු වෙනසක් සිදුවේවී.

 

Text - Dishani