2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ලෝකයම ඔයාව අත්හැරියත් ඔයා ඔයාව අත්හරින්න එපා

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 883

ආශ්චර්යාගේ ජීවිතය ගැන කතාබහක් මුල් කොටස ඉකුත් සතියේ පළවිය.

ඔබ නිර්මාණ ශිල්පිනියකට වඩා මේ වෙද්දී ක‍්‍රියා කරන්නේ උපදේශිකාවක් විදියට නේද?
ඔව්.. ඔයා හරි. මම වෘත්තියෙන් උපදේශිකාවක්. ඒ ගමන් මම ෆැෂන් ඩිසයිනුත් කරනවා. මම මුලින්ම කළේ ඒකනේ. අනික ඒකයි මම යුනික් ප‍්‍රඩක්ට් කරන්නේ. මම කරන නිර්මාණ අපේ රටේ අයට මිලදී ගන්න අපහසුයි. වෙහෙසයි කාලයයි ගොඩක් ගන්න නිසා මම ටිකක් ඉහළ මිලක් මගේ නිර්මාණයන්ට අය කරනවා. මම බ්‍රිතාන්‍ය, අමෙරිකාව වගේ රටවලට තමයි මගේ නිර්මාණ අලෙවි කරන්නේ. මොකද මට රුපියල් දෙතුන් දාහකට මගේ නිර්මාණ දෙන්නත් බැහැ. ඒ වගේම අපේ රටේ අයට ලක්ෂය දෙක දීලා මගේ නිර්මාණ ගන්න කියන්නත් බෑනේ නේද? මොකද ඒක මගේ වෘත්තියක්නේ.

අපේ රටේ බොහෝ පිරිසක් ගම්වල සහ නගරයේ කාලය නිකරැණේ නාස්ති කරනවා, ඒ ගැන මොකුත් කියන්න තියෙනවද?
මේකයි. අපේ රටේ කාන්තාවෝ හිතාගෙන ඉන්නේ තමන් ඉන්නේ ළමයි හදාවඩා ගන්න කියලයි. සමාජයත් ඒක අනුමත කරනවනේ. ගොඩක් අය සුපිරි අම්මලා වෙන්න දඟලනවා. ළමයා එක්ක නැටුවා කියලා අම්මා කෙනෙක් සුපිරි අම්මා කෙනෙක් වෙනවද? මේ සමාජය සම්පූර්ණයෙන් විකෘති වෙලා තියෙන්නේ. කාන්තාවන්ට නිසි මඟපෙන්වීමක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට නිසි මඟපෙන්වීමක් කිරීමයි කරන්න අවශ්‍ය. මම දේශපාලකයන්ට බැණ බැණ ඉන්නේ නැහැ. අපේ රටේ ස්වයං දියුණුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. මට කිසි කෙනෙක් අවස්ථා දුන්නෙත් නැහැ. කවුරැවත් මට අවස්ථා දෙනකම් බිම බලාගෙන හිටියෙත් නැහැ. අනේ අපිට ජනාධිපති උදව් කළේ නැහැ. අගමැති උදව් කළේ නැහැ. අල්ලපු ගෙදර කෙනා උදව් කළේ නැහැ කිය කියා තමන්ගේ දියුණුවට අත දුන්නේ නැහැ කියලා කාටවත් චෝදනා කර කර නහයෙන් අඬ අඬා ඉඳලා වැඩක් නැහැ. අපියි අපේ ජීවිතේ ගොඩනගාගන්න පටන් ගන්න ඕන. අපේ ජීවිතවලට වග කියන්න ඕනේ අපිමයි. අපේ ජීවිත හදලා වෙන අයට වැඩක් නැහැනේ.

චන්දන මට පොඩි වෙලාවක් දෙන්න. ටී.වී. එක දාලා කවුරුවත් බලන්නේ නැහැ.
(ආශ්චර්යාගේ අරපිරිමැස්ම ගැන මගේ හිතට බොහෝ දේවල් අහන්න ඕන කියලා මට හිතුණා. ඔබගේ නිවසේ ඒ වගේ අනවශ්‍ය දෑ කොතෙක්නම් සිදුවෙනවා ඇද්ද?)
චන්දන මම ආවා.

අපේ රටේ මිනිස්සු ගොඩක් දේවල් නොමිලේ ලැබෙනකම් බලාගෙන ඉන්නවා. ඒ ගැන මොකක්ද හිතෙන්නේ?
අපි හැමෝටම ආර්ථික ප‍්‍රශ්න තියෙනවා. තමන්ට ආර්ථික ප‍්‍රශ්න තිබුණත් ඒ ගැන හිතන්නෙ නැතුව ළමයි පහක් හයක් හදනවා. ඊට පස්සේ ළමයින් හදාගන්න විදියක් නැහැ කියලා පාරට බැහැලා උදව් ඉල්ලනවා. ළමයි කියන්නෙ ජීවිතනේ. ළමයින්ව බිහි කරලා ඒ අය නන්නත්තාර කරලා සමාජයට වදයක් කරන එක හරිද? එහෙම නැත්නම් තමන්ට හදන්න පුළුවන් ආර්ථික හැකියාව තියෙන්නෙ එක ළමයෙක්නම්, එක්කෙනෙක් හදන එකද හොඳ? අපි අපිට පෝෂණය කරන්න පුළුවන් දරුවන් ප‍්‍රමාණයයි බිහි කරන්න ඕනේ නේද?

ගොඩක් අයට තමන්ගෙ අතේ මුදල් නැතිකම නෙවෙයි තියෙන්නේ තියෙන මුදල් කළමනාකරණය කර ගන්න බැරිකමයි.
මම ඔයාට හොඳ කතාවක් කියන්නම්. ඔන්න මම දන්න දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා විවාහවෙලා ගොඩක් කල්. ඒත් බබාලා නැති හින්දා ඒ දෙන්නා ගොඩක් දුකින් හිටියේ. මට ඒගොල්ලො ආපහු අවුරුදු ගාණකින් හමුවුණා අහම්බෙන්. එතකොට එයාලට අවුරුදු 12ක දරැවෙක් ඉන්නවා. ඒත් ඒ වෙද්දී හස්බන්ඩ්ගෙයි එයාගෙයි පවුල් ජීවිතේ ප‍්‍රශ්න. එයාට හිටියේ දුවෙක්. එයා මාව හමුවුණු ගමන් මට එයාගෙ ආර්ථික ප‍්‍රශ්න ගැන කියන්න පටන් ගත්තා. එතකොට එයත් හැට දාහක මාසික පඩියක් ගන්නවා රැකියාවෙන්.

එච්චර සල්ලි ඇවිල්ලත් එයාට ආර්ථික ප‍්‍රශ්න කිව්වම මම බැලුවා ඇයි එහෙම වෙන්නෙ කියලා. ඔන්න එයාගෙ උපන්දිනේ ආවා. මම එයාව මොනවහරි අරන් දෙන්න එක්කගෙන ගියා. එදා නිවාඩු දවසක්. ඒ හින්දා ගොඩක් ඇඳුම් සාප්පු වහලා තිබුණේ. අපි ගිය සාප්පුවේ පිටරටින් ගේන ඇඳුම් වගේම ඔය ඒ මැටීරියල්ම අපේ රටේ මහන ඒවත් තිබුණා. රටින් ගේන ඒවා පන්දාහක් හයදාහක් වෙද්දී අපේ රටේ මහන ඒවා රුපියල් අටසිය පනහට දාහට තිබුණා. 
ඒත් එයා තෝරාගත්තේ පිටරටින් ගෙන්වන ඒවා. මමනම් චන්දන තෝරාගන්නේ අර අටසීයේ දාහේ ඇඳුම්. මොකද මම බොහොම සරල කෙනෙක්. එයා සල්ලි නෑ කියන හේතුව මම දැනගත්තා. ඇයි එයා එයාගේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ නැහැනේ. පාන් ගෙඩිය 60ට සාමාන්‍ය කඩේකින් ගන්න පුළුවන් වුණාට තරුපහේ හෝටලේකින් පාන් ගෙඩියක් ගනිද්දී ඒකේ මිල ඒ වගේ දහ ගුණයක් විතර වෙනවනේ. ඔයා දන්නවද චන්දන මාව ඔයාට තරුපහේ හෝටල්වල කනවා දකින්න වෙන්නෙ නැහැ. මම කොෆි ෂොප්වල කොෆී බොන්න යන්නෙ නැහැ. මොනවා හරි උත්සවයකට යන්න වුණොත්නම් යනවා. එහෙම නැතුව මම යන්නේ නැහැ. ගොඩක් අය ඉහළ සමාජයට යන්න කියලා වැරදි දේ කරන්නේ. මම ඉහළ සමාජයට යන්නෙ සිතුවිලිවලින්. මම ආවේ බින්දුවේ ඉඳන්. රස්සාවක් නැතුව අම්මා තාත්තා නැදෑයෝ නැතුව මම මගේ දුක කාටවත් කිය කියා යන්නෙ නැතුව මගේ බඩගින්න ඉවසාගෙන මම මගේ අරමුණට ආවා. තමන්ගෙ දුක කියන එක මොන ලැජ්ජ නැතිකමක්ද? අපේ රටේ සමහර අයට සල්ලි කොච්චර තිබුණත් මදි. මේ ආශ්චර්යා ලෝකයට බලපෑමක් කරන සියය අතරට ගියේ කොහොමද? සමහර අයට යන්න බැරිවුණේ ඇයි? මම මගේ හස්බන්ඩ් සහ මගේ දරුවන් වෙනුවෙන් තියෙන කාලය කැප කරගෙන නැහැ සල්ලි හම්බ කරන්න.

අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නෙ?
හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවා විතරක් තමන්ගේ දරුවා කියලා හිතන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. මේ රටේ හැම දරුවෙක්ම ඔබගේත් මගේත් දරුවා කියා හිතන්න. අපි එකම රටක් එකම නෑදෑයෝ ටිකක්. පොතේ දැනුමෙන් විතරක් වැඩක් නැහැ. මොකද පොතේ දැනුම තියෙන හදවතේ අමනුස්සකම් නැති ගොඩක් මෝඩයෝ අපේ රටේ ජීවත් වෙනවා. එයාලගේ හිතේ මානුෂීය ගති නැහැ. තමන් ගැන විතරයි ඔවුන් හිතන්නේ. ඒකයි මේ සුන්දර සමාජය කැතවෙලා තියෙන්නේ.

විභාගයෙන් ලකුණක් අඩු වුණාම අම්මලා තාත්තලා තමන්ගේ දරුවගෙ බෙල්ල හිර කරලා මරන්න හදනවා. දරුවෝ ඔය වැටුණට ආපහු නැගිටින්න පුළුවන්. උත්සාහ කරන්න. එකපාරක් වැටුණට ජීවිතේම අවසාන නැහැනෙ කියලා කියලා දෙන්නේ නැහැ. ගොඩක් වැඩිහිටි නිවාසවල ඉන්න වයසක අම්මලා තාත්තලා තරුණ කාලේ තමන්ගෙ දරැවන්ගේ මානසික විභව ශක්තිය පොඩි කාලේම දූෂණය කරලා. ඒ දරුවෝ හිතේ තුවාලයක් එක්ක ජීවත් වෙනවා. අම්මා තාත්තගේ ආදරේ නැති තැන එයාලා ජීවිතේ තරුණ කාලෙ හමුවෙන ආදරය ජීවිතය කරගෙන අම්මයි තාත්තවයි වැඩිහිටි නිවාසයට දානවා. අපි හිතනවා අනේ පව් මේ මහලු මිනිස්සු වැඩිහිටි නිවාසයකට ගෙනල්ලා දාලනෙ කියලා. ඒත් ඒකට හේතුවක් අනිවාර් යෙන්ම තියෙන්න  ඕන. ළමයින්ට ආදරය සෙනෙහස අවශ්‍ය කාලේ ආදරය දෙන්නේ නැහැ. දරුවන්ට මතක තියෙන්නේ පොඩි කාලෙ අරන් දෙන කිසි දෙයක් නෙවෙයි ආදරේ විතරයි. ඒ හින්දා දරුවන්ට ආදරය සෙනෙහස දෙන්න. ඒ වගේම මිනිස්සු පිටතින් පේන්න හිටියට නිරෝගියි කියලා ගොඩක් අය ඇතුළාන්තයෙන් ආබාධිතයි. එයාලට පේන්නේ හැමදේකම කනපිට. මම ඇස් පෙනුණෙ නැති වුණාට දෘෂ්‍යාබාධිත කෙනෙක් නෙවෙයි. ඇතුළාන්තයෙන් මට මාව නිරෝගීව පේනවා. මම දකුණු ආසියාවෙන් තෝරාගත්ත ලෝකයට දැඩි බලපෑමක් කරන කාන්තාවන් දහ දෙනාට ඇතුළත් වුණා. ඒකට ඉන්දියාවෙන් 06 ක්. මමනම් මගේ දරුවට වියදම් කරද්දී මුදල්වල වටිනාකම එයාට කියා දෙනවා. අපි හැමෝම ඒක කරන්න ඕන. නැත්නම් එයාලට මුදල්වල අගයක් තේරෙන්නේ නැහැ. නාස්තිකාරයන් අපි බිහි කරන්න ඕනෙ නැහැ.

මගේ ගමනට මට මගේ මහත්තයා චන්දන සේසත් ජයකොඩිත් ලොකු අත්වැලක් වුණා. අන්තිමටම කියන්න තියෙන්නේ අදටත් මම පාවිච්චි කරන්නේ පොඩි ජංගම දුරකතනයක්. මගේ ජීවිතේ හරිම සරලයි. මම කාටවත් ණය නැහැ. මම මෙච්චර දුරක් ආවේ මම සරලව ජීවත්වෙන නිසයි.
ඇයගේ ජීවිතය මහා පුස්තකයක් වැන්න. පරිච්ඡේදයෙන් පරිච්ඡේදය කියවමින් ඇය එය ඔබට ජීවිතය උදෙසා එතකුකරගත හැකි දෑ අපමණය.

 

Text — Chandana Waravitage