2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ඒ හරපයි මේ හරපයි බුකිය ගන්දස්තාරයි !

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 248

මේවා කියලත් බෑ නොකියත් බෑ... අඩේ මෙහෙමත් ආතල්... ආතල් කිව්වට ආතල් මේක එකක්ම නෙවෙයි මහ කැත පුරුද්දක් බ්‍රෝ. ඒත් සීන් කෝන් එක Trend එකක් වෙලා තියෙන්නේ. ඒත් කියන්නත් ලැජ්ජයි සුදෝ අද Story ය කුණුහරුප කීම ගැන. ඊයා අපෝ මොනවාද අනේ ඔයා මේ කියන්න යන්නේ කියලා අහන්න එපා සත්තරනේ. මේක මහා කැත වැඩක් වුණත් ලංකාවේ Youth Trend එකක් වෙලා. ඒ නිසා තමා අපි සවිස්තරව ගලපන්න හිතුවේ.

කැත වචන, නරක වචන, කුණුහරප, කුණුසරුප, කුණුහරැප, පරුෂ වචන, අසභ්‍ය වචන වගේ එක එක නම්වලින් කීවත් මේ ඔක්කොම එක කුලයක පැංචෝ. රටේ ලෝකේ මිනිස්සුන්ගේ භාෂා භාවිතාව තුළ තියෙන මේ වගේ වචන අනන්තයි අප්‍රමාණයි. ලෝකය පුරා හැම සංස්කෘතියකම තියෙන අඳුරු පැත්තක් විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. ඉතිහාසය නම් පට්ට දිගයි. මොකද අවුරුදු දෙදහස් පන්සීයකට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවොත් දේශනා කළා පරුෂ වචන කීම පවක් කියලා.
ඔන්න සුදාලට මතකද ඉස්සර චුට්ටෝ කාලේ ගෙදර අය ඉස්සරහා යාළුවෙක්ට මචං බං බොලන් කියලා කතා නොකරපු කාලේ. ඒත් Teenagers ලා වෙද්දී යාළුවෝ අතර අපි කතාබහ කරේ සුපිරි භාෂාවකින් අනේ රහසේ. මතකද සුදෝ ඒ කාලේ. ඉස්කෝලේ මිස් නැති වෙලාවට පංති කාමරේ, ගමේ පිට්ටනියේ මැච් එක්ක ගහද්දී කස්ටිය කිව්ව වචන. ඒ එව්වා නාක වචන ළමයෝ. ඒත් එදා ඒකෙන් ඇඟට පොඩි මෙව්වා එකක් ආවා. ලොකුකමක් දැනුණා. හා බොරුද හා.... එහෙමම සීන් එක වුණා නේද? කෙල්ලෝ වුණත් කොල්ලො වුණත් සභ්‍ය භාෂාවට අමතරව නාඹර කාලේ කතා කරේ අමුතු භාෂාවකින්නේ.

 මේක නම් ඔන්න මෑත ආපු සීන් එකක් නෙවෙයි ටිකක් ඉස්සර ඉඳලා තිබ්බ ආතල් එකක් මචෝ. වැඩේ කියන්නේ අද ඔය සීන් කෝන් අද මොඩ්වෙලා. Trend වෙලා.
මේ මොඩ් කුණුහරුපකාරයෝ ගැන දැන් බලමුද මා සුදානෝ. අන්තර්ජංජාල අදාළ කරගන්න වෙනවා මුලින්ම. මොඩර්න් කුණුහරුප අද දකින්න තියෙන්නේ බුකියේ ටුවිටර් එකේ තමා වැඩිපුර. උදාහරණයක් විදිහට ..... කියන එක දාලා ඕනෑ හැටියට කුණුහරුප කියන්න අද ගොඩක් අය පෙළඹිලා ඉන්නවා. ඉස්සර නාක වචන වැඩිපුර අහන්න ලැබෙන්නේ ගමේ රණ්ඩුවක් ගියාම... නැත්නම් බේබද්දෙක්ගෙන්. ඒත් අද බුකියේ මොකක් හරි චාටර් පෝස්ට් එකක්, විරුද්ධ දේශපාලකයකුගේ ගොං කතාවකට දාපු Comment බැලුවොත් කුණුහරුප ටොන් එකක් දෙකක් දැනගන්න පුළුවන්. හරි Simple මෙයා.

ඒ වගේම ඉස්සර හරි භයානක නාක වචන අද ආදරණීය ආමන්ත්‍රණ බවට පත්වෙලා. ඒකට මෙහෙම උදාහරණයක් දෙන්නම් දැන් හු යන්න උ යන්න කරාම සැර බාලවෙලා නෝමල් වෙලා යන සීන් එකක් තියෙනවා. අනේ මන්දා මගේ පැංචියෝන්ට මේවා තේරෙනවද කියලා. තේරුම් කරලා කියලා දෙන්න තිබ්බා... ඒත් අපි ඔය නාක වචන කියන්නේ නෑනී සත්තරනේ. ඉස්සර ගෑනු ළමෝ මේ නාක වචන සම්බන්ධව දැඩි ස්ථාවරයක් අනුගමනය කළා. දැනුත් සමහරු එහෙමයි. ඒත් බුකී සරණ සෝෂල් තග කෙල්ලොත් මේ වචන භාවිත කරනවා අපි දැකලා තියෙනවා. මුන්ගේ වැඩිහිටියෝ බුකියේ හිටියා නම් ලුණු ඇඹුල් ඇතුව අහගන්න තිබුණා... හී..හී..ර්... අනේ අපිට මොටෝ... උන්ට හොඳ නම්.

ඊළඟ කුණුහරුප වීරයෝ ගැන කතාව. පොඩ්ඩක් බුකිය අමතක කරමුකෝ. මෙයාල හරි ආසයි ප්‍රායෝගික ජීවිතයේ කුණුහරුප කියන්න. අද කාලේ ඉස්කෝලේ, අමතර පංතියේ, කැම්පස් එකේ, ඔෆිස් එකේ ඔය කොතෙකුත් මේ චරිත හම්බ වෙනවා. කුණුහරුප වගේම ඩබල් මීනින් කතා කියන්නත් මෙයාලා රුසියෝ. ඔන්න මගේ පැංචොන්ට පැංචියන්ට මේවගේ කස්ටිය දැන් මතක් වෙන්න ඕනෑ. විශේෂයෙන්ම මේ ජාතියෙ අය කාන්තා පාර්ශව ඉස්සර නාක භාෂා භාවිතයට ආසයි. කැපී පෙනීමක් වීරත්වයක් ගොඩනගා ගැනීමේ උපක්‍රමයක් විදිහට තමා මේ සීන් කෝන් එක මෙයාලා කරන්නේ. ඒ වගේම එයාලට ඓහෙම හැසිරීම ඇතුළේ පොඩි ආතල් එකක් තියෙනවා. සමහර අය මේකට කැමති නෑ. තවත් සමහරු අකමැතියි වගේ පෙන්නුවාට මේ කතා අහන්න හරි ආසයි. විශේෂයෙන් කාන්තා පාර්ශවයේ සමහරු. ඊ... එයා කියන ඒවා බලන්න. එන්න එපා ඕවා කියන්න. ලැජ්ජ නැද්ද අනේ. වගේ ටෝක් කට උල් කරගෙන සමහර වෙලාවට කට අතින් වහගෙන අපේ පැංචියෝත් කියනවා අපි දැකලා තියෙනවා ඈ...

පහුගිය කාලේ අපිට නිරීක්ෂණය වුණා බුකියේ Group එකක්... ඒකේ නමත් කුණුහරුපයක්. ඒ වගේම එක එකාට නාක වචනවලින් බැණ ගැනීම තම එතැන වෙන්නේ. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම ඉන්නවා. වැඩි වශයෙන් ඉන්නේ විදෙස්ගත ශ්‍රී ලංකිකයෝ. ගෘහසේවයට ගිය කාන්තාවෝ. ඒ වගේම ලංකාවේ ඉතාම ළාබාල වයසේ කොල්ලෝ. අමු තිත්ත කුණුහරුප කියාගෙන එක එකාට බැනීම තමා මේක ඇතුළේ වෙන්නේ. මා සුදාලට කියන්න මේ සීන් එක දැකලා මගේ මොළේ අඤ්ඤ කොරොස් වෙලා ගියා. Group එකේ නම කියන්න බෑ ඒත් ඔයාල හොයලා බැලුවොත් හොයාගන්න බැරිකමකුත් නෑ. මේ සීන් එකත් එක්ක අපි හොයාගත්ත දෙයක් තමයි කුණුහරුප කීම වගේම කුණුහරුප ඇසීමත් මානව ළැදියාවක් කියන එක.

සිංහල රැප් ගැන අපි Y Trend එකෙන් ලිව්වා මීට කලකට ඉස්සෙල්ලා. අමු තිත්ත කුණුහරුප සිංහල රැප්වල තාලෙට කියවෙනවානේ. ඒකත් මේ Trend එකේම කොටසක්. සීන් එකේ කලාත්මක ගතියක තියනවා. ඒත් කැතැයි ඈ.... මේ සීන් එක ඇතුළේ කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැති ගෞරව කරන්නේ නැති ලොකු සීන් එක මවාපෑම තමා වෙන්නේ. ඒකත් කුණුහරුප වීඩියෝ එකක මොඩල් එකක් කියලා කියන්නත් පුළුවන්. මේක සත්තරං අද ගම් මට්ටමේ බිම් මට්ටමේ හිච්වි කොල්ලෝ ළඟ සැරට තියෙනවා කියලා මතක් කරන්න ඕනෑ. ඔය සිංහල රැප් අහගෙන ඉන්න ඈයෝ ගෙදර හොරෙන් සෑහෙන්න මේ ජාතියෙ ටෝක් දෙනවා. හිටපු ගමන් වීඩියෝ කරලා බුකියේ දාලා බුකීවාසීන්ට ආතල් එහෙමත් දෙනවා.

අද අපේ රටේ විතරක් තියෙන සීන් කෝන් එකක් නෙවෙයි මේ. ලෝකේ පුරා තියන Trend එකක්. අ‍ෙමරිකානු බටහිර සංස්කෘතිවල පහළ ස්ථරවල විශාල වශයෙන් මේ වගේ භාෂා භාවිතය අද ඉහළ ගිහිල්ලා. සමහරුන්ට අනුව මේක සමාජ පීඩනයේ ආතතියේ ප්‍රතිඵලයක් විදිහට මතුවෙලා පස්සේ Trend වෙච්ච දෙයක්. ඒ කොහොම වුණත් නාක වචන කියන එක කැත පුරුද්දක් විදිහට ලෝකේ හැම සභ්‍යය සංස්කෘතියකම කියලා තියනවා. ලංකාව ඒ අදහස ලොකුවට තියෙන සංස්කෘතික රටක්. ඒත් අද මේ වෙන දේවල් ගොඩක් වැඩිහිටි පරම්පරාව වගේම විද්වත් කියන අයත් දන්නේ නෑ. ඇත්තට මේ සීන් කෝන් එක ගැන අපි කිව්වේ පොඩ්ඩයි. තව දේවල් ගොඩක් තියෙනවා. සමාජේ බැහැලා ඉන්න ඕනෑ යථාර්ථය දැනගන්න. වලාකුළුවල ඉඳලා යථාර්ථය දැනගන්නවත් රට හදන්නවත් බෑ සුදෝ.

 

► Text - Nisal   /  Pic – Internet