2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

උමං වඩේ...

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

මේක නම් ළඟදී දර්ශන තලයක අහපු තවත් අපූරු කතාවක්.

සමහරු ඉන්නවානෙ ඕනවට වඩා එක එක දේවල් ගැන කල්පනා කරන. ඒ හේතුව නිසා ඒ වගේ අයට අහක යන පොල් පරාලත් ඔළුවට වැටෙනවා.
ඔන්න ඒ වගේ කෙනෙක් යාළුවෝ සෙට් එකක් කොච්චියේ දුර ගමනක් ගියාලු. ඔය කෝච්චිවල කඩල, වඩේ, ඇපල් විකුණන වෙළෙන්ඳෝ එනවනෙ.

මෙයාගේ යාළුවෝ ටික ඒ වගේ වෙළෙන්ඳෙකුගෙන් උණු උණු වඩේ ගත්තලු. දැන් කට්ටියම වඩේ කනවා. ඒත් මේ මනුස්සයා වඩේ එක එක පැතිවලට හරව හරවා බලනවලු ඕකේ මොනවද දාලා තියෙන්නෙ කියලා.
“ඔන්න ඕක නිකං කාලා දානවා. මේ අපිත් කන්නෙ. උඹට නම් පිස්සු. කියලා යාළුවෙක් කිව්වලු.

ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි මෙයා වඩේ එක කන්න පටන් අරන් තියෙන්නෙ. කාලා විනාඩි 5ක් ගියේ නැහැල්ලු මෙයා යටිගිරියෙන් කෑ ගහන්න පටන්අරන්.
“අයියෝ මේ වඩේ එකට මොනව හරි දාලා තියෙනවා. මගේ ඇස් දෙක පේන්නේ නැතුව යනවා. වටේම කළුවර වී ගෙන එනවා. කියලා.

බැලින්නම් කෝච්චිය ඒ වෙලාවෙ උමඟක් ඇතුළෙන්ලු ගමන් කරලා තියෙන්නෙ.

පාක් ගාණෙ බෑ අයියේ

අලුත් ටෙලිනාට්‍යක් රඟපාන්න තෝරාගත්ත එක්තරා නවක නිළියක් දවසක් ඒකෙ ඩිරෙක්ටර්ව හදිසියෙ මුණගැහුණලු සුපර් මාකට් එකක.
“අනේ නංගි අද මම ඔයාට කෝල් එකක් දෙන්නමයි හිටියෙ. අපේ ස්ක්‍රිප්ට් එකත් ලෑස්තියි. ලබන සතියේ ෂූටින් පටන් ගන්නවා.

“හරි ෂෝක්නෙ අයියෙ.. කොහොමද මට ස්ක්‍රිප්ට් බලන්න පුළුවන් වෙන්නෙ. කෙල්ල ඇහුවලු.
“අපි දැන් පාක් එකට යමුකො. මම එතනදී ස්ක්‍රිප්ට් එක දීලා ඔයාට විස්තර ටිකක් කියන්නම් කො...කෙල්ලගේ මූණ එක පාරටම අමුතු වුණාලු.

“අනේ මම එහෙම කෙල්ලෙක් නෙවෙයි අයියෙ. සමාවෙන්න මට මේකෙ රඟපාන්න නොලැබුණත් අවුලක් නැහැ. මට පාක් ගාණෙ ඇවිල්ලා නම කැත කරගන්න බැහැ අයියේ..
“අයියෝ පිස්සුද මේ කෙල්ලට? මම කිව්වෙ කාර් පාර්ක් එකනෙ. ස්ක්‍රිප්ට් එක තියෙන්නෙ මගේ කාර් එකේ.

 

හවුස් ෆුල් එකක් හරි දෙන්න

සිංහල සිනමාවෙ ස්වර්ණමය යුගය කියලා තමයි විශේෂයෙන් 70 හා 80 දශකය බොහෝ අය විශ්වාස කරන්නෙ.

පිච්චර් පිස්සො බොහෝ දෙනෙක් බිහිවෙලා තියෙන්නෙත් ඒ යුගයෙලු. අද වෙනවිට බෙහෙතකටවත් ඒ වගේ පිච්චර් පිස්සො නම් හොයාගන්න බැහැ. පිස්සු වැටෙන තරම් පිච්චර් හොයා ගන්නත් බැහැ. පිස්සු වට්ටන්න පුළුවන් නළු නිළියෝ හොයා ගන්නත් බැහැ. මේ කතාවත් ඒ යුගයේ මාතර පැත්තෙ හිටපු පිච්චර් පිස්සෙක් ගැනයි.

අද වගේ නෙවෙයි ඒ කාලෙ සිංහල චිත්‍රපට බලන්න සෙනඟ පොරකකා ඇවිත් තියෙන්නෙ.
දවසක් මේ කියන පිච්චර් පිස්සා අලුත් සිංහල චිත්‍රපටියක් බලන්න ගිහින් තියෙනවා.

මැනේජර් මහත්තයා දුර තියාම මෙයාව අඳුරගෙන කිව්වලු අද නම් බැහැ මහත්තයො අද හවුස්ෆුල් කියලා.
මෙයා කිව්වලු: “කමක් නැහැ මැනේජර් මහත්තයො මට හවුස්ෆුල් එකක් හරි දෙන්න. මොකද හැමදාම ගැලරියෙ ඉඳන්නෙ බලන්නෙ. කියලා. 

 

► Text - Mithra