2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

මිලියන අටක් දෙවිවරු

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 116

ජපානයේ තියෙන පරණම ආගමක් වන ෂින්ටෝ ආගමට අනුව ලෝකයේ දෙවිවරු ගාණේ සීමාවක් හොයන්න බැහැ. ඒත් ආසන්න වශයෙන් කිව්වොත් මිලියන අටක් විතර. ලක්ෂවලින් කිව්වොත් ලක්ෂ අටක්.  ෂින්ටෝ ආගමට අනුව ජපන් වැසියෝ ස්වභාව ධර්මය තුළින් දකින දකින දේ දේවත්වයෙන් අදහන්න පුරුදු වෙච්ච ජාතියක්. කඳු, ගංගා, මුහුද, තරු ආදී ස්වභාවික වස්තූන් හැම එකක් තුළම වෙන් වෙන් වූ දෙවියෙක් වැඩ ඉන්න බව ජපන්නුගේ විශ්වාසයයි. ඊට අමතරව වෙළහෙළඳාමට අධිපති දෙවියෙක්, අලෙවි කටයුතු සඳහා දෙවියෙක් වගේ ජපන්නුන් කරන කියන හැම දේකටම අධිපති දෙවියෙක් ඉන්න බවත් ඔවුන් අදහනවා. 

ඉතින් දෙවිවරු මිලියන ගාණ සැමරීම සඳහාම විශේෂ වූ උත්සවයක් ජපානයේ පැවැත්වෙනවා. ජපානයේ ඔහාරා පළාත මේ උත්සවය වෙනුවෙන් ගොඩක් ප්‍රසිද්ධයි. මේ උත්සව කාලෙට, ෂින්ටෝ ආගම අදහන ජපනුන් තමන් උපන් ගමට ඇවිත් ගම්වැසියන්ට සෙත් ශාන්තිය, සමෘද්ධිය, නීරෝගීභාවය ලැබේවා කියලා මේ සැමරුම් කටයුතු සිදුකරනවා. 

ජපන්නු මේ දෙවිවරු හඳුන්වන්නේ කාමි යන නමිනුයි. මේ උත්සවය වෙනුවෙන් එයාලා මිකෝෂි කියලා විශේෂ දෝලාවක් වගේ දෙයක් හදනවා. මේ දෝලා දෙවිවරු ගමන් කරන වාහන විදිහටයි මේ ජනතාව විශ්වාස කරන්නේ. 
ඔහාරාවල ෂින්ටෝ දේවාල 18ක් පවතිනවා. ඉතින් මේ හදපු දෝලා ඒ දේවාල අතර එහා මෙහා ගෙනයමින් දෙවිවරැන්ට දේවාලයෙන් දේවාලයට වැඩම කරන්න පහසුකම් සැලසවීමත් උත්සවයේ ප්‍රධාන අංගයක්. ඒ අතරතුර ජනතාවට නීරෝගී බවත්, හොඳ කෘෂි අස්වැන්නකුත්, මාළු අස්වැන්නකුත් ලැබේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා. 

ඒ වගේම උත්සවය අතරතුරදී කරන යාතිකාවන් මහ හඬින් ශබ්ද නගා සිදුකරන්නත් මෙයාලා කටයුතු කරනවා. එමගින් දෙවිවරැ සතුටු වෙන බව ෂින්ටෝ අදහන්නන්ගේ විශ්වාසයයි. අන්තිමේදී දෙවිවරු ගමන්කරන දෝලා මුහුදට ගෙන ගොස් ඒවා උඩට පහළට දමමින්, මුහුදු ජලය ඉසිමින් පිරිසිදු කර නැවත ගොඩබිමට පැමිණීමෙන් උත්සවයේ වැඩ අවසන් වෙනවා.

I බීබීසී ඇසුරෙනි

Text - Suranga   /   Pic -  Internet