2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ඒ කාලේ මම අල ගොවියෙක්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 381

- කුමාරදාස  සපුතන්ත්‍රි Life

අපි ඔබේ ළමා කාලය හා ගම් පළාත එක්ක මේ කතාබහ පටන්ගමුද?
මම උපන්නේ මාතර අත්තුඩාව පාලටුව කියන ගමේ දෙහිගහවත්ත කියන කොටසෙයි. මගේ තාත්තාගේ ගම බේරුවල. අම්මා මාතර. තාත්තා යුද හමුදාවේ සේවය කළේ. රාජකාරිය කරන අතරතුරේදී මාතරට ගිය වෙලාවක තමයි අම්මව මුණගැහිලා ඒ ආදර සම්බන්ධය පටන්ගෙන තියෙන්නේ. මම පවුලේ එකම දරුවා. මට අවුරුදු දෙකක් විතර යනකම් අපි පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ මාතරයි. ඊටපස්සේ තාත්තා බේරුවල ගෙයක් හදලා අපි බේරුවල පදිංචියට ආවා.

මාතර සහ බේරුවල ගතකරපු ඒ කාලය අතිශයින්ම සුන්දරයි. එහෙම නේද?
ඒ සුන්දරකම ගැන කියන්න අදටත් මට තේරෙන්නෙ නැහැ. ඒ කාලේ ඒ ගම් අමු ගම් දෙකක්. ඒ තරම් නියම ගම් දෙකක්. බේරැවල ඒ කාලේ හද්ද පිටිසර. අහල පහල ගෙවල් කිහිපයක් විතරයි තිබුණේ. තාර පාරවල් කිසිදෙයක් ඒ කාලේ තිබුණෙ නැහැ. මැටි පාරවල් තමයි තිබුණේ. මහ පාරේ ඇවිත් ගෙදර යද්දි කිරිමැටි පාරක් තමයි තිබුණේ.

පවුලේ එකම දරුවා වුණ ඔබට ළමා කාලයේදී සෙල්ලම් කරන්න ඇතිතරම් යාළුවෝ හිටියද?
ඕනෑතරම් යාළුවෝ හිටියා. අද දරුවන්ට වගේ ඒ කාලේ අපිට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු තිබුණේ නැහැ. හැබැයි ඕනෑතරම් සෙල්ලම් කරන්න කාලය තිබුණා. අපි ඇඟ වෙහෙසලා ඇතිපදමට සෙල්ලම් කළා. මට තාම මතකයි ඒ කාලේ රබර් ගහේ කිරිවලින් ඔට්ටපාළු බෝල හදලා අපි සෙල්ලම් කළා. සරුංගල් කාලෙට අපේ ගමේ අහස පුරා ගමේ කොල්ලො කුරැට්ටොන්ගෙන් සරුංගල් පිරිලා තිබුණා. අපි වෙලේ දුව පැන ඇවිද්දා. අපේ ගෙවල් පහළ තිබුණේ ගඟක්. ඒ ගඟේ ඇති පදමට නෑවා. ගඟට එහා තිබුණේ කිරල වනාන්තරයක්. ඒකේ කිරල ගස් බොහෝමයක් තිබුණා. අපි ඒ ගස්වල නැගලා කිරල ගෙඩි කැඩුවා. මට තාම මතකයි එක දවසක් කිරල ගහක බඩගාලා බඩගාලා කිරල ගෙඩියක් කඩන්න හදද්දිම මම අත දාලා තිබුණේ කිරල ගෙඩිය ළඟ හිටපු නයෙකුටයි. මම ඉක්මනට ගඟට පැන්නා. ඒ වගේ හරි අපූරු මතකයන් මගේ ළමා කාලයේ තියෙනවා. ඒ කාලේ මට යාළුවෝ ගොඩක් හිටියා.

ඒ කියන්නේ ඒ කාලේ ඔබ දඟකාර චරිතයක්.
ඔව්. ඇත්තටම ඒ කාලේ මම දඟයි. මම මුලින්ම ඉගෙන ගත්තේ බේරැවල වලතර විද්‍යාලයෙන්. ගෙදර හිටපු තනි අලියා විදිහට ඒ කාලේ පුදුම දඟක් මගේ තිබුණේ. අම්මා කියන දෙයක් අහන්නෙ නැහැ. හැබැයි ඉගෙනීමට මම මුල්තැන දුන්නා. ගමේ පාසලෙන් ඉගෙනගත්තට පස්සේ මම කිරිබත්ගොඩ මගේ මාමාගේ ගෙදරට ආවා. ඊටපස්සේ මම කිරිබත්ගොඩ ජේතවන විශ්ව විද්‍යාලය පිරිවෙනට ඇතුළත් වෙලා ඉගෙනගත්තා.

කිරිබත්ගොඩ ගතකරපු කාලය ඔබේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කෙරුවා නේද?
ඔව්. ඇත්තටම කිරිබත්ගොඩ මම හිටපු ගෙදරට අල්ලපු ගෙදර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක් හිටියා. ඔවුන් එක්ක සම්බන්ධ වෙලා ඒ සම්බන්ධතාවයන් වැඩි වෙලා ඉබේම ජනතා විමුක්ති පෙරමුණේ හොඳ සාමාජිකයෙක් බවට මමත් පත් වුණා. හොඳින් අධ්‍යාපනය හදාරපු මම පහුකාලීනව පෙරමුණේ වැඩවලට විශාල වශයෙන් දායක වුණා.1970 – 71 වසර වෙද්දී සියලුම දේවල් කැප කරලා ඒකට මුල්තැන දුන්නා.

ඔබේ පියා යුද හමුදාවේ සේවය කළේ. ඔහුගෙන් ලොකු විරෝධතාවයක් මේ වෙනුවෙන් මතුවෙන්න ඇතිනේද?
ඔව්. ඇත්තටම මේ මගේ තීරණයට අම්මා, තාත්තා සියලුම දෙනා අකමැති වුණා. ඒ වුණත් මම තනි කැමැත්තෙන් මගේ වැඩ ටික කළා. ඒ නිසා කිරිබත්ගොඩ ඉන්න මට බැරිවුණා. ගමට ගියාම ගමන් වටකරලා මාව අල්ලන්න උත්සාහ කළා. ඒ නිසා ගමෙනුත් හොර රහසේ පැනලා ලංකාව පුරාම තැන් තැන්වල හැංගිලා හිටියා. කතරගම කාලයක් හිටියා. නුවරඑළිය කාලයක් හිටියා. දඹුල්ලේ කාලයක් හිටියා. මට තාම මතකයි නුවරඑළියෙදි අවුරුදු දෙකක් නිර්නාමිකව අල ගොවියෙක් විදිහට ඒ ගමේ ජීවත් වුණා. මමයි තව යාළුවෝ දෙන්නෙකුයි නුවරඑළියේ ඉඩමක් හොයාගෙන ජීවත් වීම සඳහා අර්තාපල් වගා කළා. කොහොමහරි තාත්තා මාව හොයාගෙන දැන් කරදරයක් නැහැ. ගෙදර එන්න කියලා කිව්වට පස්සේ තමයි මම ආයේ ගමට ආවේ.

එක වරක්වත් ඔබව අත්අඩංගුවට ගත්තෙ නැද්ද?
එක වතාවක් මාව කළුතර පොලීසියෙන් අල්ලගත්තා. ඒ වෙලාවේ මම ඒ කිසිදෙයක් දන්නේ නැහැ කියලා කිව්වා. ඔයවෙද්දි මගේ මාමගේ පුතා වුණ කරුණාරත්න සපුතන්ත්‍රි ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසින් පත්වෙලා හිටියා. ඒ හරහා අයියා මාව ආරක්ෂා කළා. ඒ නිසා මට අනතුරක් සිදුවුණේ නැහැ. ඇත්තටම මේක බොරු වැඩක් කියලා හැමෝම මට කියන්න පටන්ගත්තා. ඒ නිසා මම ඒ සියල්ල අතහැරියා.

ඔබේ මුල්ම රැකියාව වුණේ මොකද්ද?
මගේ තාත්තා යුධ හමුදාවෙන් අයින් වෙලා පෞද්ගලික ආයතනයක සේවය කළා. ඒ ආයතනයේ ප්‍රධානියාට පිටකොටුවේ සාප්පුවක් තිබුණා. තාත්තා මාර්ගයෙන් ඒ සාප්පුව සේවකයන් යොදාගෙන කරගෙන යන්න මට බාර වුණා. ඒ නිසා ඒ රුකියාව මම නිදහසේ වසර කිහිපයක්ම කරගෙන ගියා. ඒකෙන් මට සැලකිය යුතු වැටුපක් ලැබුණා. මම කිරිබත්ගොඩට පදිංචියට ගියා. ඔය කාලෙදි කිරිබත්ගොඩ ප්‍රදේශයේ හිටපු ගෑනු ළමයෙක් එක්කත් මගේ ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිවුණා. ඒ නිසාම දේශපාලනයට තිබුණ ළැදියාව මගෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා. සාප්පුවේ සේවය කරමින් ඉන්න අතරතුරේදී මට ගුවන්විදුලි සංස්ථාවේ රැකියාවක් ලැබුණා.

ගුවන් විදුලි සංස්ථාව හරහා ඔබේ දක්ෂතාවයන් එළිදක්වන්නනට ඔබට අවස්ථාව ලැබුණා? එහෙමද?
ඔව්.. ගුවන්විදුලියෙන් මට බොහෝ ගායක ගායිකාවන් ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණා. ගුවන් විදුලිය ආසන්නයේම තියෙන සුදර්ශි කලායතනයට නිතරම ඔය කලාකරැවන් එකතු වුණා. රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, කුලරත්න ආරියවංශ, සුනිල් එදිරිසිංහ, බණ්ඩාර අතාවුද, එඩ්වඩ් ජයකොඩි වගේ අයත් නිතරම ඔතනදි මට මුණගැහුණා. ඒ කාලයේ ඔවුන් ඉතා තරුණ ශිල්පීන්. ඔහොම කතා කරමින් ඉන්න අතරතුරේදී රෝහණ (රෝහණ වීරසිංහ) මට දවසක් ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනට සින්දුවක් ලියලා දෙන්න කියලා කිව්වා. ඉතින් ඒ ගීතය මම හොඳට ලිව්වා. හැබැයි ඒ යුගයේදී ගීත ලිවීම පිළිබඳ හොඳ අවබෝධයක් මට තිබුණේ නැහැ. හැබැයි පාසැල් යන කාලෙදී මම කවි, නිසදැස් ලිව්වා. පාසැල් අවදියේ කවි ලිවීමේ හැකියාව මගෙන් දියුණු වෙලා ඒ අනුව ගීතයක් ලියන්න මට පුළුවන් වුණා. රෝහණගේ පළවෙනි ගීතය මගේ අතින් ලියවෙද්දි ඒකට රෝහණ ගොඩක් කැමති වුණා.

ගීතය අත්දැකීමක් අනුව ලියවුණු දෙයක්ද?
ඔව්. ගීතයට ඉඟිය දුන්නේ රෝහණමයි. රෝහණගේ පළමු ගුරු පත්වීම ලැබුණේ ඩී.එස්. සේනානායක විද්‍යාලයට. ඒ කාලේ රුපියල් සියයක් එකසිය පනහක් වගේ ගාණක් තමයි මුල්ම වැටුප වුණේ. රෝහණගේ ගම නුවරඑළිය. මුල්ම වැටුප ලැබුණ දවසේම නුවරඑළියේ හිටපු රෝහණගේ අම්මා අන්ත්‍රා වුණා. රෝහණ මුලින්ම ගත්තු පඩියෙන් තමයි මතක වස්ත්‍රයක් අරන් නුවරඑළියට ගිහින් තිබුණේ. ඒ ආශ්‍රිතව තමයි මම මුල්ම ගීතය ලිව්වේ. ඒ පළමු ගීතයෙන් පසුව බොහෝ දෙනා ගීත රචනයට මට ඉල්ලීම් කළා. අද වනවිට ගීත හත්සීයක් පමණ ප්‍රමාණයක් මගේ අතින් ලියවිලා තියෙනවා.

ඒ ගීත අතරින් ඔබේ අත්දැකීම් වෙලා ලියවුණු ගීතත් තියෙනවා නේද? 
ඔව්. ඇත්තටම මලින් මලට ඉගිලුණාට සමනලයෙක් නොවේ කියන ගීතය ඒ වගේ මගේ අත්දැකීමක් වුණා. බේරුවල ඉඳන් ඒ කාලේ මම පාසැල් ආවේ කෝච්චියේ. ඒ එද්දි පයාගල හරියෙදී එක්තරා තැනකදී නිතරම කෝචිචිය නතර කරනවා. ඒ හැම මොහොතකම මම කෝච්චියෙ ඉඳන් මුහුද දිහා බලාගෙන ඉන්න එක පුරුද්දක් කරගත්තා. ඈතින් පේන මුහුදට යාබද පුංචි ගෙදරක පිරිමි මනුස්සයෙක් ආයුධ පෙට්ටිය ඉනේ බැඳගෙන බුලත් කල පහරක් පාරට ගහලා පොල් ගහට වැඳලා ගහට නගිනවා මම බොහෝ දවස්වල දැක්කා. සමහර දවස්වල මේ මනුස්සයා අර රා මදින ගස් දෙක අතරේ එහාට මෙහාට යනවා මම දැකලත් තියෙනවා. එක දවසක් මේ මනුස්සයා ගහට නගිද්දිම චූටි ගෑනු ළමයෙක් දුවගෙන ඇවිත් පොත් බෑගයත් පැත්තක තියලා අර මනුස්සයට වඳිනවා මම දැක්කා. ගහට යන්න හදපු මනුස්සයා පොඩි ගෑනු ළමයගේ ඔළුව අතගාද්දි ඒ ගෑනු ළමයා දුවලා ගියා. මේ දසුන මගේ හිතට තදින්ම දැනුණා. ඒක හරියට චිත්‍රයක් වගෙයි. ඊට අවුරුදු පහළොවකට විස්සකට පස්සේ මම කොළඹ ඉඳන් මගේ වාහනයෙන් ගමේ යද්දි දවසක් මම ඒ පුංචි ගෙදරට ගොඩ වුණා. පොඩි ළමයෙක් වඩාගත්තු ගෑනු කෙනෙක් එළියට එද්දි මම අවුරුදු ගාණකට කලින් දැකපු දේ කියලා කෝ ඒ පොඩි ගෑනු දැරිවි කියලා අහද්දි මහත්තයො ඒ මම තමයි කියලා කිව්වා. මට ඒ මොහොතෙත් ඒ පුංචි දරුවා තමයි මතක් වුණේ. ඒ ළමයා බැඳපු කෙනත් රා මදින එක තමයි කළේ. ඔවුන් ජීවත් වුණේ ඒ ජීවිත අවදානමෙන් එකතු කරගත්තු රා විකුණලයි. ඒක තමයි මගේ මේ ගීතයට පාදක වුණේ.

මලින් මලට ඉගිලුණාට සමනලයෙක් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ
මලින් කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුළයි පැණි කෙරෙන්නේ

ඔබේ ප්‍රේමය අළලාත් ගීත බොහෝමයක් ලියවුණා?
ඔව්. මගේ අතින් වැඩිපුරම ලියවුණේ ප්‍රේම ගීතයි. කිරිබත්ගොඩ ඉන්න කාලෙදි මගේ තිබුණ ප්‍රේමය අවුරුදු 5ක පමණ කාලයක් තිබුණා. ඒ ගෑනු ළමයගේ ගෙදරින් අපේ ප්‍රේමයට විරුද්ධ වුණා. ඒ නිසා පස්සේ එයත් පොඩ්ඩක් පසුගාමී වුණා. ඒ නිසා අපි දෙන්නා එක්ක කතාබහ කරගෙන ඒ ප්‍රේමය නතර කළා.

එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා... මගෙන් ඈ සමුගන්න
ඔබේ ආදරණීය බිරිඳ මුණගැසෙන්නේ කොහොමද?

මම පදිංචි වෙලා හිටපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කුමාරි හිටියේ. එහෙදි අපි අතර ආදර සම්බන්ධතාවයක් ඇතිවුණා. මම ගමට ගිහින් මව්පියන්ගේ ආශිර්වාදයත් අරගෙන තමයි කුමාරිව විවාහ කරගත්තේ. ඇය වෙනුවෙන් මම ගීත කිහිපයක්ම ලීවා.

මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න

අපි දරුවන් දෙන්නා ගැනත් කියමු?
අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. වැඩිමලා දුව. එයාගේ නම පමදා සුහර්ෂි සපුතන්ත්‍රි. පුතා ලක්රිවි සපුතන්ත්‍රි. දුව ස්වාධීන රෑපවාහිනී සේවයේ සම්පාදිකාවක් විදිහට කටයුතු කරනවා. පුතා පරිගණක ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කරනවා. දෙන්නම දැන් විවාහකයි. දැන් මම මුණුපුරන් දෙන්නෙක් ඉන්න සීයා කෙනෙක්.

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

 

► Text - Dishani  /  Pic -Sumudu