2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

’මාරයි’ ඇරෙන්න වෙන මොනවද ඕනේ...

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 130

ඒකාකාරී රැල්ලක තිබුණු ලාංකීක ගීත කලාව  වෙනස්ම මානයකට අරගෙන යන්නට උත්සාහ කළ වසන්ත වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නම් ඔහුව නොදන්න කෙනෙක් නැති තරම්... වැඩි විස්තර කියන්න දෙයක් නෑ මෙයා ගැන... දුකා කිව්ව ගමන් ලංකාව මෙයාගෙ කැරුට්ටුවම දන්නවා...

වසන්ත දුක්ගන්නාරාළ... නිර්මාණයක ගැඹුරටම කිමිදෙන්න කියාපු ඩයල් එක නේද?
දුකා..... කොහොමද ඉතින් වාසේ දේසේ එහෙම...?
ඔහු හිනාවක් දාගෙනම කතාවට මුලපිරුවා....

හොඳින් ඉන්නවා.... මේ දවස්වල ටිකක් ව්‍යාපාර කටුයතුවලට වැඩි වෙලාවක් වෙන්කරලා තියෙන්නෙ... රාළ භෝජන පළතුරු පටන් අරගෙන දැන් මාස හතරක් විතර වෙනවා... පළතුරු වැඩේ දිගටම යන අතර රාළ භෝජන දේශීය ආහාර අංශයක් පටන් ගත්තා... ඒකට අයිතිවෙන්නෙ පෝෂණවේදීන් කන්න කියන නමුත් කාර්යබහුල නිසා මේ වෙලාවෙ අපිට ගෙදර හදාගන්න බැරි ආහාර...  දියබත්, පොළොස් කට්ලට්, කිරි කොස්, ඉඹුල් කිරිබත්, කුරක්කන් රොටි සමඟ ඌරුමස් වගේ දේශීය ආහාර පැලැන්තියක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නෙ... මේ දවස්වල වැඩි ඉඩක් දීලා තියෙන්නෙ මේ වැඩේ ගොඩදාගන්න.. ඊට අමතරව භාතිය සන්තුෂ් එක්ක අවුරුදු 20කින් පස්සෙ ගීතයක් නිර්මාණය කළා... ඊටත් අමතරව අමරසිරි පීරිස් මහත්මයා මා රචනා කළ ගීතයක් ගායනා කළා... ඒක චිත්‍රපට ගීතයක්. මිෂෙල් ෆොන්සේකාගේ නිම්හිම් චිත්‍රපටයේ තේමා ගීතය... ඉරාජ්ටත් ගීතයක් ලිව්වා... ගොඩක් වෙලාවට වේරලියද්ද ගායනා කරන ඉරාජ් නිර්මාණය කරපු ගීතයක් වෙයි ඒක...  ඕවා තමයි ඉතින්.....

දුකාගේ නිර්මාණ විඳීමේ පරාසය ගොඩක් පුළුල්... ඒක අපි දන්නවා... ඇහෙන් දැකලා, හදවතින් ස්පර්ශ කරපු.... ජීවිතේම පැයක දෙකක තුනක රූප රාමු කිහිපයකට  කැටිකරපු  නිර්මාණයක් ගැන... කතාකරමුද...?  ඒක තව කෙනෙකුට විඳින්න තරම් වටින එකක් නම් මරු....
හරි අපි කතාකරමු.. 

දුකාගෙන් ලැබුණු කෙළින් උත්තරෙත් එකක් වැඩේ පටන් ගත්තා...
මම ඇඩිට් වුණ නිර්මාණ නම් ගොඩක් තියෙනවා... 

මම මඩොල්දූව, සිරිපතුල චිත්‍රපටවල ඉඳලා සුළඟ එනු පිණිස එහෙමත් නැත්නම් ඉගිලෙන මාළු වගේ චිත්‍රපට වෙනකම් හරස්කඩක් ලෙස මම බලලා තියෙනවා... ඒ නිර්මාණවලින් මම කැමති චිත්‍රපට ගොඩක් තිබුණට මේ වෙලාවෙ මම තෝරාගන්නෙ විදේශ චිත්‍රපටයක්... මේ චිත්‍රපට නිෂ්පාදනය වුණේ 2009 වසරේ.... නමුත් ඒක මට බලන්න අවස්ථාව ලැබුණේ මීට අවුරුද්දකට විතර කලින්... මේ චිත්‍රපටයේ නම එග්ක්සෑම්..  එග්ක්සෑම් චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ පිටපත රචනා කරේ ස්ටුවර්ට් හැසල්ඩින්. ඔහු එංගලන්ත ජාතිකයෙක්... මේ චිත්‍රපටය තෝරගන්න මට විශේෂ කාරණාවක් තියෙනවා... කවුරැ හරි චිත්‍රපට යනු කුමක්ද කියලා අහපු ගමන් ලොකු ගැටලුවකට, අර්බුදයට අපි මුහුණ දෙනවා... උදාහරණයක් විදියට අපි ගමුකො ගීතය යනු කුමක්ද කියලා... එතනත් අර්බුද සහිතයිනෙ... සමහරු හිතනවා... ගීතය යනු සම්භාව්‍ය සංගීතයෙන් අනූන වූ සම්භාව්‍ය පදමාලා ඇතුළත් නිර්මාණයක් තමයි ගීතය කියන්නෙ කියලා... එතකොට පරණ කෝට් සින්දුව සින්දුවක් නෙමේද කියලා මම අහන්න කැමතියි. අපි ඉගෙනගෙන තියෙන විදියට නම් කවිය සහ සංගීතය මිශ්‍රවුණ මිශ්‍රකලාවක් තමයි ගීතය කියන්නෙ... සිනමාව යනු කුමක්ද කියලා ගත්තා පොඩි අවුල් සහගත තත්ත්වයක් තියෙනවා... වීරපුරන් අප්පු, මඩොල්දූව, සිරිපතුල, නිධානය වගේ නිර්මාණවලින් පස්සෙ නොම්බර 17 වගේ නිර්මාණවලිනුත් පස්සෙ. අද වෙනකොට කරන නිර්මාණවල ලෝක සිනමාවේ ලක්ෂණ පිහිටලා තිබුණත් ඒ නිර්මාණ අපිට අදාළ නොවන අපිට දැනෙන්නේ නැති වැඩක් විදියට තමයි තියෙන්නෙ.. අපිට මේ නිර්මාණය කොහොමද අදාළ වෙන්නෙ කියන එක මට තෙරෙන්නෙ නෑ... ඉන්දියාවේ අශෝක් චිත්‍රපටය කළාට පස්සෙ ලංකාවේ අපේ අධ්‍යක්ෂවරැන්ටත් පිස්සු හැදුණා... ඔන්න ඉතින් අපේ අධ්‍යක්ෂවරැ මහා සෙනඟක් දාලා, අස්සයෝ දාලා, රජ කතා කරන්න පටන්ගත්තා... ඒකෙ ෆයිට් තියෙනවා... සින්දු තියෙනවා... නැති දෙයක් නෑ. මගේ මතය අනුව නම් රජ කතාවලින් ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටය හැරුණුකොට අනිත් කිසිවක් ඒ හැඩය ආග්‍රහණය කරගෙන තිබුණෙ නෑ... මේවා නිර්මාණය කරන්නෙ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෝ වෙන්න පුළුවන්... නමුත් සිනමා භාෂාව සහ ඊට අදාළ කතා සන්දර්භය තුළ ඊට අදාළ රෑපරාමු මැවෙන්නෙ නෑ...

නමුත් එග්ක්සෑම් වගේ චිත්‍රපටයක් බලන්න... පුංචි සිද්ධියක් මොනතරම් අපූරුවට මේ අධ්‍යක්ෂකවරයා විහිදවලා තියෙනවද කියලා... ඒක අතිවිශිෂ්ඨ වැඩක්... මෙහෙමයි මේ කතාව දිවෙන්නෙ... අමුතුම අන්දමේ රහසිගත විභාගයක් සඳහා අපේක්ෂකයන් අටදෙනෙක් සහභාගීවෙනවා. ආවර්ණිත කාමරයක තමයි මේ විභාගය තියෙන්නෙ. යම්කිසි ආයතනයකට සේවකයෙක් බඳවාගන්න අදහසින් තමයි මේ විභාගය තියෙන්නෙ. ඇත්තටම මේ තියෙන්නෙ සම්මුඛ පරීක්ෂණයක්. මේක ඇතුළට ගියාම කාමරය ලොක් කරනවා... මේ චිත්‍රපටයේ කිසිම දර්ශනයක් මේ කාමරයෙන් පිටත නෑ... මේ අටදෙනා ඇරුණුකොට ඉන්නෙ සන්නද්ධ ආරක්ෂකයෙක් විතරයි...

මේ විභාගෙ ලියන අපේක්ෂකයන්ට කොන්දේසි තියෙනවා... මේ සන්නද්ධ ආරක්ෂකයා සමඟ හැරෙන්න වෙන කිසිවෙක් සමඟ කතාකරන්න බෑ.... ලියකියවිලි පිටතට අරගෙන යන්න බෑ. මේ අපේක්ෂකයන් කාමරයෙන් පිට නොවිය යුතුයි වගේ ඒවා... මේ කොන්දේසි කැඩුවොත් ඔවුන් නුසුදුස්සන් බවට පත්වෙනවා. විනාඩි 80ක් ලැබෙනවා පරීක්ෂණයට සහභාගිවන අපේක්ෂයන්ට උත්තර ලියන්න... දැන් තරගය ආරම්භ වෙනවා... මේ ප්‍රශ්නපත්‍රය හිස්. නමුත් පිටතින් ඇහෙන හඬක් හරහා තමයි ඔවුන් ප්‍රශ්න හොයාගෙන උත්තරත් ලියන්න ඕනෙ... මේ අටදෙනා අතර සංවාද ඇතිවෙනවා.. කොන්දේසි උල්ලංඝනය කරලා සමහර කට්ටියක් විභාගයෙන් ඉවත්වෙනවා... සමහර අය ගහගන්නවා... සමහර අය මැරෙනවා... අවසානයේ එක්කෙනෙක් ඉතුරුවෙන තැනට මේ අධ්‍යක්ෂවරයා මේ කතාව අරගෙන එනවා... අපේ අධ්‍යක්ෂවරුන්ට නම් හිතෙනවනේ මේ සිනමා කෘති බෝරින් නොවෙන්නෙ එළියෙ තියෙන මොන යම් දර්ශනයක් හෝ පෙන්නන්න ඕනෙ කියලා... ඇත්තටම ඒක මිත්‍යා විශ්වාසයක්... මේ අධ්‍යක්ෂකවරයා ඒ සීමාවන් සියල්ලම විනාශ කර දමනවා... දේශීය නිර්මාණ ශිල්පීන් සිනමාව ඉගෙන ගන්නෙ ටෙලිවිෂන්වලින්නෙ... මේක හොඳ ප්‍රබල සිනමාත්මක හැදෑරීමක් ඔස්සේ අධ්‍යක්ෂවරයෙක් විය යුතුයි කියන කාරණය ඉස්මතු වෙනවා... එතකොට තමයි හොඳ නිර්මාණ බිහිවෙන්නෙ... ස්ටුවර්ට් හැසල්ඩින් කියන අධ්‍යක්ෂවරයා ආකර්ෂණීය කතාවයි, සිනමා භාෂාවයි, ආකර්ෂණීය රූපරාමුයි... හරි අපූරුවට ආරක්ෂා කරගන්නවා.. මේක ලෝකයේ ලොකුම හොඳම ෆිල්ම් එක නොවෙන්න පුළුවන්.. නමුත් අපි කියනවනේ අපිට ටෙක්නොලජි නෑ.. අපිට සම්පත් නෑ කියලා... මේ කිසි එකක් මේ චිත්‍රපටයේ නෑ... අතිශය සරල කතා මූලයක් අධ්‍යක්ෂවරයා විග්‍රහ කරන ආකාරය තමයි එග්ක්සෑම් කියන්නෙ... ඉරානයේ නිර්මාණය වුණු ඇකඩමික් සම්මාන ගත්ත සෙපරේෂන් වගේ නිර්මාණයක රංගනයෙන් දායකවෙන්න දෙන්නයි තුන්දෙනයි... අපේ රටෙත් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න චිත්‍රපට තිබුණනෙ... ඒවා බලන් ඉන්න බෑ... අපිට දැනෙන්නෙ නැති අපිට අදාළ නැති විෂයක් තමයි ඔවුන් ප්‍රේක්ෂකයාට කියන්න හදන්නෙ... එතකොට ප්‍රේක්ෂකයාට අත හැරෙනවා... එග්ක්සෑම් කියන චිත්‍රපටය ලෝක භාෂාවෙන් හැමෝට දැනෙන විදියට නිර්මාණය කර තිබීම තමයි සුවිශේෂම කාරණය. 

දුකා... එග්ක්සෑම් චිත්‍රපටය ඇතුළේ ඔයා කැමතිම චරිතෙකුත් ඇති?
මේ නිර්මාණ ඇතුළේ රංගනයේ යෙදෙන නළු නිළියන් අටදෙනාම හරිම දක්ෂයි... ඒකට හේතුව තමයි එක කාමරයක් ඇතුළේ තමයි මේ සියලුම දර්ශන රූගත කරන්නෙ... රංගනයේ යෙදෙන්නෙ ලොකු ඉඩකඩක් නෑ... නමුත් ඔවුන්ට ලැබෙන සීමිත ඉඩ පාවිච්චි කරමින් අතිවිශිෂ්ඨ රංගනයන්වල ඔවුන් නිරතවෙනවා... තාත්ත්වික අභිනයන්, මුහුණේ හැඟීම් තමයි ප්‍රබලම. මේ සියලුදෙනා සාර්ථකව ඒ කාර්යය කරනවා... ඒත් මම කැමතිම කෙනෙක් එතන හිටියා... එයා වැඩිය කතාබහ නොකරන කාන්තා චරිතයක්... ඇය මේ සංවාදයට සම්බන්ධ වෙන්නෙ හරිම පරිස්සමින්... කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා එයාව එළියට දානවා... චරිතයේ ස්භාවයටත් වැඩිය මම ඇයගේ බාහිර ස්වරෑපයට කැමතියි... සිනමාවට කලාතුරකින් දකින්න ලැබෙන ස්වරෑපයක්... ඒක ලස්සනයි කියන්න බෑ... නමුත් ආකර්ෂණීයයි...

මේ නිර්මාණය ඉතා බරපතළ අර්බුදයක්... ඒ අර්බුදය ඔබේ හිතට තදින් දැනුණු තැනක් මතකද?
මම ගොඩක් වෙලාවට එක සිද්ධියකට, එක දර්ශනයකට විතරක් එල්ලෙන්න උත්සාහ කරන කෙනෙක් නෙමේ... මොකද මේ සියලුම සිද්ධීන් එකතුවුණාම තමයි නියම රසයක් උත්පාදනය වෙන්නෙ... ඒක සුළු සිද්ධි, සංකීර්ණ සිද්ධීන් කියලා ගන්න බෑ... ඒත් එක තැනක් තිබුණා මාව කම්පනය කරපු.... එක් අපේක්ෂකයෙක් තවත් කෙනෙක්ට මරාන්තික පහරදීම් කරනවා... පටු සීමාවක ඉඳන් තමයි ඔහු ඒ පහරදීම කරන්නෙ. වෙන චිත්‍රපටවල නම් පහරදීලා ඇදගෙන ගිහින්, කොහේහරි බැඳලා දාන සීන්නෙ තියෙන්නෙ... නමුත් මේ චිත්‍රපටයේ පහරදීම පවා තාත්ත්වික අභිනයෙන් තමයි ප්‍රේක්ෂකයාට දනවන්න උත්සාහ කරන්නෙ... මම ඒ තැනට ගොඩක් කැමතියි. 

මේ චිත්‍රපටය අහම්බෙන් දැක්කා වෙන්න බෑ නේද? කී වතාවක් බැලුවද මේක?
මගේ ළඟ සිනමා නිර්මාණ එකතුවක් තියෙනවා... එතන චිත්‍රපටය හයසියක් හත්සීයක් තියෙනවා... මට ඉන්නවා සිනමාවට ආදරය කරන යාළුවෝ සෙට් එකක්ම... හොඳ චිත්‍රපට එයාලා බැලුවාම මටත් ඒවා දෙනවා බලන්න කියලා... මට වෙලාවක් ලැබුණාම මම ඒවා බලනවා... එහෙම බලපු නිර්මාණයක් තමයි එග්ක්සෑම් කියන්නෙ... දැනට මම දෙපාරක් මේ චිත්‍රපටය බැලුවා... 

මේ චිත්‍රපට අවසාන ජවනිකාවේදී දුකාගේ මනසට ආවේ මොන හැඟීමක්ද?
ඇත්තටම මට හිතුණේ මේක මාරයි වගේ දෙයක්... ඊට වඩා දෙයක් නිර්මාණයකින් බලාපොරොත්තු වෙන්න ඕනෙද?

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet