2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

වන්දනීය නන්දනීය උතුමන්ලා බලපල්ලා...

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

ඔන්න අද අපි අරගෙන ආවා මචෝ අමුතු තාලේ Y Trend එකක්. මේක ගැන අපේ සමහර බ්‍රෝලා නම් දන්නේ නෑ. ඒත් බුකියේ සරණ සුද්දා සුද්දිලා නම් දන්නවා. බුකියේ නවකතා කෙටිකතා උමතුව පිළිබඳ කතාව.

සීන්කෝන් එකට එන්න ඉස්සෙල්ලා ඉතිහාස කතාවක් තියෙනවා Line කරන්න. ඉස්සර මල් කතා මතකද සුදාලට. ඔන්න පහුගිය කාලේ ළඳ බොළඳ මල් කතා කියවීමේ උමතුවක් රටේ තිබ්බා... ඒවා ආප්ප පුච්චනවා වගේ ලියන ලේඛකයෝ හිටියා. ඒ වගේම සීන්කෝන් එක මාසික සඟරා විදිහට එළියට ආවා. අසෝ ඒක වෙනම ආතල් එකක්. සුදෝ මේ සීන් එක ඔයාලා ඔක්කොම දන්නවා... මේක පට්ට පිස්සුවක්. විශේෂයෙන් පහුගිය පරම්පරාවේ කෙල්ලො තමා මේ ලයින් එකේ දරැණුවටම හිටියේ. තාමත් මේ සීන් එක යම් මට්ටමකට තියෙනවා. ආ ඒකත් කියන්න ඕනෑ. පොත් ලියනවා කියවනවා. ඒ වැඩ වෙනවා. ඒත් ඉස්සර තරම් නෑ.

මචංලාට කියන්න, ඔය අපි කිව්ව සීන් එක, සීන් එක ගැන ප්‍රබුද්ධ ලොක්කෝ ලොක්කියෝ එච්චර සතුටින් නෙවෙයි හිටියේ. සූ ගලා විවේචන තිබ්බ ඕසේට. ඒ නිසා මල් කතා කලාව නැතිභංගස්තාන වුණා කියලා තමා කස්ටිය හිතුවේ. ඇබැයි චුට්ටෝ සිද්ධවුණේ වෙන සීන්කෝන් එකක්. මල් කතා Digital වුණා සත්තරං. කස්ටිය නොදන්නවා වුණාට බුකියේ වෙනම කලාපයක මල් සූටික්කෝ තමන්ගේ ආතල් එක අදත් ගන්නවා. මේක වෙනම Trend එකක්. පට්ට Y Trend එක. හැබැයි අපේ ලොකු පොරවල් සීන්කෝන් එක ගැන දැනුම්වත් නෑ. සිරාවට මේ සීන්කෝන් එක ගැන අච්චු පත්තරේකට එළිවෙන පළවෙනි පාර මේක වෙන්න ඇති සමහරවිට.

ඔන්න සීන්කෝන් එකේ Point Of View එකට එන්න හදන්නේ සුදු පුතේ. ඔන්න එහෙනම් අපි බුකී ගතවෙනවා. බුකියේ තියෙනවා පට්ට Group එකක්. මල් කතා පැණි බූන්දි කතා ආතල් කතා සියල්ල සපිරි එකක්. මේක තමා මේ සීන් එකේ මූලස්ථානය මයේ දෙයියෝ. මේක නම කතා අරණ සාමාජිකයෝ පන්ලක්ෂ විසිහය දහයි. සැරයි නේ... සූ ගාන්න එපා බොල. බුකියේ Search පාරක් දාලා බලපල්ලා. තව එක එක Group තියෙනවා. පෞද්ගලික Account තියෙනවා. මේවල ඉන්නවා බුකී මල් කතා ලේඛක ලේඛිකාවෝ ඕසෙට. එයලාට Fans ලා ඉන්නවා සෑහෙන්න. මේක වෙනම කලාවක්. ඒක ගැන ළාවට ගැඹුරුට හොයලා බලන්න තමා දැන් අපි සැරසෙන්නේ.

මේ කතා ලියන අය ගැන අපි මුලින්ම බලමු. මේවා ලියන අය බහුතරය තරුණයි මචෝ. ඒ අතරින් ගොඩක් කෙල්ලෝ. කොල්ලෝ නැත්තේමත් නෑ. ඒ වුණාට කෙල්ලෝ වැඩියි. එයාලා ගොඩක් වෙලාවට ලියන්නේ අන්වර්ත නම් වලින්. කියන්නේ Fake Profile වලින් ඒක වෙනම ආතල් එකක්. ඒ ජාතියේ profile ඕනෑතරම් බුකියේ හොයාගන්න පුළුවන් මචෝ. මෙයාලා මේ කතා කියවලා හොඳට එක්ස්පීරියන් ගත්ත අය. ඒ වගේම ලිවීමේ හැකියාවක් තියෙන අය. කොටින්ම පොතක් ගහනවා වගේ ලොකු වැඩවලට අත ගහන්න යන්නේ නැති අහිංසක ආතල් එකක් ගන්න අනික් අයටත් ආතල් එකක් දෙන පැංචෝ පැංචියෝ සෙට් එකක්. මේ අය අතරේ ඉන්නවා පට්ට හැකියාවල් තියෙන අය. සුපිරියට ලියන අය. බුකියේ පිපී බුකියේම පරවෙන මල් කැකුළු. පව් අනේ දුකයි දුකයි දුකායි....

මේ කතා ලියන සීන් එකේදී නවකතා වගේම කෙටිකතාත් තියෙනවා. නවකතා නම් කොටස් වශයෙන් තමා පළවෙන්නේ. මාස ගාණක් කොටස් වශයෙන් පළවෙන මේ කතා Follow කරන කට්ටියක් ඉන්නවා. එයාලා සමහරවිට ලියන කෙනා එක්ක හිතවත් වෙනවා. කතාව පරක්කු වෙනකොට මැසේජ් කරනවා. කොහොම වුණත් හොඳම සීන්කෝන් එක තමා කතාවක් ලියලා දැම්මාම ඒකට ලැබෙන ප්‍රතිචාර. මේක පොතක් ලියලා සම්මානය ගන්නවා වගේවත් පට්ට පොර ටෝක් විචාරයක් වගේවත් සීන් එකක් නෙවෙයි. ගොඩක් වෙලාවට කියවන කෙනාගේ ෆීලින් එක. Comment තීරුවේ වැටෙන ඒ ඇගයුම් ලියන අයට මාර විටිනවා. ඒ වගේම Like React කියන්නෙ වෙනම ආතල් එකක්. ඒවා ඔක්කොම දිරිගැන්වීම්. මේ සීන්කෝන් එක වෙනම උපසංස්කෘතියට පාර කියනවා කියලා කීවොත් හරි මචෝ.

වැඩේ ඇතුළේ තියෙන්නේ සීනිබෝල ආතල්. ඒවා හරි ගොබ්බයි. පට්ට ගොන්... වගේ ටෝක් අපිටත් දෙන්න පුළුවන් මචෝ. ඒත් ඒ සීන් එක හරි අහිංසකයි බං. උන් උන්ගේ ආතල් එක ගන්නවා. රසික, ශ්‍රාවක, පාඨක, විවිධ ඕනෑම නිර්මාණයකරුවෙක් පිළිගන්න ඕනෑ. හැම යුගයකම මේ මොඩලයේ වින්දනයක් තියෙන පිරිසක් ඉන්නවා. එයාලට තමන්ගේ මනදොල සපුරගන්න මාධ්‍යයක් තියෙන්න ඕනෑ. ඒකට බාධා කරන්න නාකයි.

කොහොම වුණත් මේකේ තියන සාධනීය පැත්තක් ගැන අපි ටිකක් සැරට කතා නොකරොත් ලොකු අඩුපාඩුවක්. ලෝකේ වෙනස් වෙනකොට කඩදාසිවලින් අච්චු අකුරැවලින් මිනිස්සු ක්‍රමයෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් තියනවා මචෝ. තිත්ත වුණත් ඒ ඇත්ත අපි පිළිගන්න ඕනෑ. ලෝකේ E Book, Voice Novels වගේ දේවල්වලට නැඹුරු වෙන්න පටන් අරගෙන. ලංකාවේ ඒ සීන්එක තාම තියෙන්නේ ප්‍රාථමික අවදියක. සම්මානනීය පොත්පත් වුණත් E Book එකක් විදිහට බලන්න අපිට බෑ. ඒ එහෙම ලංකාවේ E book එකක් කියන්නේ කවුරු හරි පොතක් ‍ෆොටෝ ගහලා හදන PDF එකකට. ඒත් ලෝක මට්ටමින් බැලුවොත් එව්වා පට්ට ගොන් බං. සමහර ලොක්කෝ E Book වලට බයයි. ගොඩක් වෙලාවට ප්‍රකාශකයෝ. හැබැයි පුතෝ මේ මල් සූටික්කොන්ගේ වැඩ ඔය සම්භාවනීය බබාලගේ මතවාදවලට වඩා පට්ට මොඩන් මචෝ.

පොටෝවල දාලා Covered එකක් හදාගෙන කතා ලියාගෙන බුකියේ දාගෙන comment කරගෙන මෙයාලා ගන්න ආතල් වල දවසක ලංකාවේ නවකතා කලාවේ සිරාම හැරයුම් ලක්ෂයක් වුණොත් පුදුම වෙන්න එපා බ්‍රෝ. ඇත්තටම අපි පොඩ්ඩක් හොයලා බැලුවා. ඉස්සර ඔය මල් කතා ප්‍රකාශකයන්ට තිබ්බ මාර්කට් එක දැන් නෑ. සිරාවටම හේතුව දැන් මල් කතා කියවන්නේ බුකියේ. ඒ වගේම අලුත් රචකයන්ටත් ඉඩක් මේ ඇතුළේ තියෙනවා. අන්න ඒක පට්ට වටිනවා සහෝදරා.
අවසාන වශයෙන් මේ සීන්කෝන් එක ඉවර කරන්න ඕනෑ මෙහෙම කියලා. ගොබ්බ දේ ගොබ්බයි කිය කියා ඉන්නේ නැතුව ඒක ප්‍රබුද්ධ කරන්න වැඩ පිළිවෙළක් හදන එල වන්දනීය නන්දනීය උතුමන්ලාගේ යුතුකම. ඒ වගේ ගොබ්බයි වගේ පේන දේවල් ඇතුළේ තියෙන මොඩන් දේවල් ඔය ලොකු අය ඉගෙන ගන්න ඕනෑ. මොකද මචෝ පරිණාමය නොවෙන උන් වඳවෙලා යනවා බං. මේක පට්ට Y Trend එකක් පොඩ්ඩක් හොයලා බලන්න අපි ගැලපුවේ පූර්විකාවක් පැංචෝ.

 

► Text - Nisal   /  Pic – Internet