2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ඔට්ටුවකින් පැරදිලාද කොහෙද ළඟදි කොණ්ඩෙ කැපුවා

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

අනූජ්.. මතකද හර්ෂව මුණගැහුණු මුල් කාලය..?
ඔව් මතකයි.. කාලයක ඉඳන් මායි හර්ෂයි දැනගෙන හිටියා. හැබැයි අපි දෙන්නා මුහුණට මුහුණ මුණගැහුණේ කොළඹ නාසා ආයතනයේදී. අපි එදා පටන් අද දක්වාම හොඳම හොඳ යාළුවෝ.

හර්ෂ කියන්නෙ මොනවගේ යාළුවෙක්ද..?
හර්ෂ කියන්නෙ මට මගේ ජීවිතේ මුණගැහිච්ච හොඳම යාළුවෙක්. ගොඩක් දේවල් සම්බන්ධව අපි දෙන්නටම තියෙන්නෙ එකම අදහස්. කාලයක් තිස්සෙ අපි චිත්‍රපටයක් කරන්න ලොකු ඕනෑකමකින් හිටියා. අපි අවුරුදු තුනක් තිස්සෙ එක්තරා චිත්‍රපටයක් වෙනුවෙන් ලොකු උත්සාහයක් ගත්තා. ඒත් එක්කම අපි දෙන්නටම පොදු වුණු හීනයක් තිබුණා. ඒ හීනයත් එක්ක අපි බොහෝ දේවල් කළා. ඒ ඔස්සේ අපි හොඳ යාළුවෝ වුණා.

දෙන්නා මුණගැහුණාම වැඩිපුරම කතාබහ කරන්නෙ මොනව ගැනද..?
අනිවාර් යෙන් චිත්‍රපට ගැන තමයි. අපි චිත්‍රපටයක් ප්ලෑන් කළා. ඒ චිත්‍රපටය ගැන අපි මුල් කාලයේදී බොහෝ දේවල් කතා කළා. හැබැයි ඒක කරගන්න පුළුවන් වුණේ නැහැ. පසුකාලීනව අපි වෙනත් නිර්මාණයකට අතගැසුවා. ඒක අවසන් කර ගන්න අපිට පුළුවන් වුණා. ඒ නිසා මුණගැහෙන බොහෝ අවස්ථාවලදී අපි සිනමාව ගැන, නරඹපු චිත්‍රපට, ඒවා කැමරා කරපු විදිහ, අධ්‍යක්ෂණය කරපු විදිහ, ඒ චිත්‍රපටවල නළු නිළියන් රඟපාලා තියෙන විදිහ ගැන කතාබහ කළා. පිටරට චිත්‍රපට වගේම ලංකාවේ තිරගත වුණු චිත්‍රපටවල හොඳ නරක කතාබහ කළා. ඒ හැම නිර්මාණයකින්ම අපි යමක් ඉගෙන ගත්තා.

ජීවිතේ හැම සතුටක් වගේම දුකක් ගැනම හර්ෂ එක්ක කතා කරන්න අනූජ්ට පුළුවන්ද..?
ඔව්.. හර්ෂ කියන්නෙ සතුටේදී විතරක් ඉන්න යාළුවෙක් නෙමෙයි. මම මානසිකව වැටුණු බොහෝ අවස්ථාවලදී හර්ෂ මට ලොකු හයියක් වුණා. ජීවිතේ අපි හැමෝම මනසින් කඩාවැටෙන මොහොතවල් තියෙනවා. ඒ හැම මොහොතකම හර්ෂ යාළුවෙක් විදිහට මගේ ළඟ හිටියා. ඒ වෙලාවෙදී පොඩ්ඩක් මගේ ඔළුව හදලා, කරන්න තියෙන වැඩ ආයේ මතක් කරලා දීලා වැටෙන්න එපා මචෝ කියලා හිත හයිය කරලා ජීවිතේ ආයේ නැගිටින්න ලොකු හයියක් වුණා.

හර්ෂගේ තියෙන දක්ෂතා ගැන ඔයා මොකද හිතන්නෙ..?
හර්ෂ නවීන තාක්ෂණයත් එක්ක චිත්‍රපට අධ්‍යක්ෂණය කරන අලුත් අධ්‍යක්ෂකවරැ අතරේ කැපීපෙනෙන අධ්‍යක්ෂකවරයෙක්. තාක්ෂණය ගැන හොඳ අවබෝධයක් එයාට තියෙනවා. චිත්‍රපටයක් රූගත කරද්දී ඒ හැම රෑගත කිරීමකදීම, හැම කැමරා මානයක් ගැනම ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. අද කාලේ ඉන්න තරුණ අධ්‍යක්ෂකවරුන්ගෙ ඒකාකාරී බවක්, එක රාමුවකට කොටුවීමක් තමයි අපි දැක්කෙ. නමුත් හර්ෂ එහෙම එක රාමුවකට පමණක් කොටුවෙලා ඉන්නෙ නැහැ. එයා බොහෝ රාමු ඔස්සේ සිනමාව ගවේෂණය කරන්න උත්සාහ ගන්නවා. සිනමාව ගැන ඉගෙන ගන්න එයා හරි කැමතියි.

එයාට කේන්ති යනවද..?
කේන්ති යනවා. හොඳටම කේන්ති යනවා. හැබැයි මාත් එක්ක රණ්ඩු කරලා නැහැ. සමහර දේවල් ගැන පොඩි පොඩි වචන හුවමාරුවෙන වෙලාවල් තියෙනවා. හැබැයි අපි එහෙම ලොකුවට රණ්ඩුවෙලා නැහැ. අපි දෙන්නගේ චිත්‍රපටය කරද්දී වුණත් අපි පොඩි පොඩි අදහස් ටිකක් හයියෙන් කතා කරලා තියෙනවා. හැබැයි අන්තිමට දෙන්නම එකම තීරණයකට ඇවිල්ලා තියෙනවා.

හර්ෂගේ විලාසිතා ගැන අනූජ්ට මොකද හිතෙන්නෙ..?
හර්ෂගේ ෆැෂන් එකත් මේ ළඟදී වෙනස් වුණා. ඔට්ටුවකින් පැරදිලාද දන්නෙ නැහැ. හර්ෂ කාලයක් තිස්සෙ කොණ්ඩය ගැටගහලා වෙනස් ආකාරයේ පෙනුමක් තියෙන කොල්ලෙක් විදිහටයි කවුරැත් දැක්කෙ. මෑතකදී එයා එකපාරටම කොණ්ඩය කැපුවා. හර්ෂ හරි අපූරැවට විලාසිතා කරනවා. එයා හරිම නිදහසේ තමන්ගෙ විලාසිතා කරගෙන යනවා.

හර්ෂ විනෝදකාමීද..?
අම්මෝ ඔව්.. හර්ෂ හරිම විනෝදකාමීයි. අපි සමහර දවස්වලට පොඩි පොඩි ට්‍රිප් එහෙමත් යනවා. ඒ ගියාමත් හර්ෂ පුදුම විදිහට ඒ විනෝදය සමරනවා.

හර්ෂත් එක්ක අනූජ් නොකරපු නිර්මාණවලදී හර්ෂගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
හර්ෂ මගේ හැම නිර්මාණයක්ම හරියට අගය කරනවා. සමහර වෙලාවට කෝල් කරලා මගේ අඩුපාඩු පවා කියනවා. මචං මෙතන මීට වඩා කරන්න තිබුණා, උඹ නියමෙට වැඩේ කළා කියලා හැමදේකදීම එයා එයාගේ ප්‍රතිචාර, සහයෝගය ලබා දෙනවා. එයාගේ නිර්මාණවලදීත් එයා මගෙන් අහලා අඩුපාඩුකම් පවා හොයලා බලලා ආයේ කරනවා. එයා නිර්මාණයක් කළත්, මම ඒකෙ හිටියෙ නැතත් ඒ හැමදේම පෙන්නලා හර්ෂ මගෙන් උපදෙස් ලබාගන්නවා.

එයා වගේ යාළුවෙක් මුණගැහිච්ච එක ගැන අනූජ් මොකද හිතන්නෙ..?
මගේ චිත්‍රපට ජීවිතයට අනූජ් ලොකු හයියක් වගේම ශක්තියක්. චිත්‍රපට ගැන කතා කරද්දී ඒ ගැන ලොකු දැනුමක් හර්ෂගෙන් ලබාගන්න පුළුවන්. ජීවිතේ සතුටෙදී වගේම ජීවිතේ කලකිරීම්වලදී, මානසිකව වැටුණු වෙලාවලදී හර්ෂ මගේ ළඟින් හිටියා. ඇත්තටම හර්ෂ හොඳම හොඳ යාළුවෙක්.

හර්ෂ ගැන අනූජ් එහෙම කියද්දී අපි දැන් බලමුද අනූජ් ගැන හර්ෂ කියන්නෙ මොනවද කියලා..

හර්ෂ... මතකද අනූජ්ව මුණගැහුණු මුල් කාලය..?
අනූජ් මට මුලින්ම මුණගැහුණේ fb එක හරහා. ඊටපස්සෙ එක්තරා චිත්‍රපටයකට මම අනූජ්ව යෝජනා කළා. ඒ චිත්‍රපටයට යෝජනා කිරීමත් එක්ක තමයි අපි දෙන්නා ඊළඟට නාඩා ආයතනයේදී මුණගැහුණෙ.

අනූජ් කියන්නෙ මොනවගේ කෙනෙක්ද..?
අපි දෙන්නා මුලින්ම යාළුවෝ විදිහට ආශ්‍රය කළේ fb එකෙන්. අනූජ්ව ඒ වෙද්දී මම දැකලා තිබුණෙ නැහැ. අනූජ් මාව දැකලා තිබුණෙත් නැහැ. හැබැයි අපි දෙන්නා හොඳට හඳුනනවා. අපේ ක්ෂේත්‍රයේ සමහරැ මාව ආශ්‍රය කරන්නෙ මොකක්හරි චිත්‍රපටයකට, වැඩකට සම්බන්ධ කර ගනීවි කියලා බලාපොරොත්තුවෙන්. අනූජ්ගෙයි මගෙයි යාළුකමට අවුරුදු ගාණක් වෙනවා. හැබැයි කවදාවත් එයා එහෙම පරමාර්ථයෙන් මාව ආශ්‍රය කරලා නැහැ. මගේ දුකට සැපට හැම මොහොතකම අනූජ් මම ළඟින්ම හිටියා. අනූජ් මට ප්‍රශ්නයක් වෙච්ච හැම මොහොතකම මාව තනි නොකරපු අපූරු සුන්දර යාළුවෙක්.

එයාට කේන්ති යනවද..?
ඔව්.. අනූජ්ට කේන්ති යනවා. හැබැයි ඒක සෝඩා බෝතලයක් වගෙයි. මමයි එයයි එහෙම ලොකුවට රණ්ඩුවෙලානම් නැහැ.

එයාගේ හැකියාවන් ගැන යාළුවෙක් විදිහට හර්ෂට මොනවද හිතෙන්නෙ..?
අනූජ් නිර්මාණයකදී මාර විදිහට කැපවීම් කරන කොල්ලෙක්. නිර්මාණයකට එකතු වුණාම ඒක රූගත කිරීම් කරලා ඒ චිත්‍රපටය තිරගතවෙලා ඉවර වෙනකම්ම අනූජ් නිර්මාණයත් එක්කම ඉන්නවා. ඒක ලංකාවේ අලුත් නළු නිළියන්ගෙ දකින්න නැති දෙයක්. හැබැයි අනූජ් තමන්ගෙ නිර්මාණය වෙනුවෙන් කැපවෙනවා. හරි උනන්දුවෙන් කටයුතු කරනවා.

හර්ෂගේ ප්‍රශ්නයක් වුණත් අනූජ් එක්ක කතාබහ කරන්න පුළුවන්ද..?
ඔව්.. ඇත්තටම. මට මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් මම බොහෝ වෙලාවට කෝල් එකක් දෙන්නෙ අනූජ්ට. එයාගෙන් මට ලොකු හයියක් ලැබෙනවා කියලා මම දන්නවා. මට කේන්ති ගියත් මම අනූජ්ට කෝල් කරනවා. ඇත්තටම මගේ කේන්තිය පාලනය කරන්න අනූජ්ට හැකියාව තියෙනවා.

අනූජ් විනෝදකාමීද..?
ඔව්.. කොල්ලෙක්ගෙ තියෙන විනෝදකාමී බව අනූජ්ටත් තියෙනවා. එයා සෙල්ලක්කාර කොල්ලෙක්.

දෙන්නා ගිය ගමනකදී අමතක නොවන සිදුවීමක් වෙලා නැද්ද..?
එක්තරා රූගත කිරීමකදී ඒ වගේ සිදුවීමක් වුණා. අපි එක ෂූට් එකක් උදේ ඉඳන් රූ වෙනකම් කළා. පහුවදා පාන්දර දෙක වෙනකම් අපි එක කොටසක් රෑගත කිරීම් කළා. ඒ වෙලාවෙදී පිටපත අනුව ඇඳුම් බෑග් එකක් මූණට වැටෙන දර්ශනයක රෑගත කරන්න තිබුණා. මම මචං.. අන්තිමට බෑග් එකේ ඇඳුම්වලින් යට ඇඳුමක් වැටිලා මූණේ රුඳෙන සීන් එකක් කරමු කියලා මම අනූජ්ට යෝජනා කළා. පිස්සුද බං.. දැන් අලුත් යට ඇඳුමක් හොයන්නෙ කොහෙන්ද? කියලා දැන් මෙයා ඒ කොටස කරන්න බැහැම කියනවා. අලුත් එකක් මොකටද බං.. උඹ ඊයේ උදේ ඉඳන් ඇඳන් හිටපු එක අපි සීන් එකට ගමු කියලා අපි හැමෝම යෝජනා කළා. මුලින් අනූජ් ඒකට අකමැති වුණා. එහෙනම් මේ කාගේ හරි එකක් ගන්නද? කියලා ඇහුවාම එපා එපා.. මම ගන්නම් කියලා උගේ යට ඇඳුම අරගෙනයි ඒ කොටස රූගත කළේ. හැබැයි ඒ කොටස පිටපතේනම් ලියවිලා තිබුණෙ නැහැ. 

අනූජ් නැති හර්ෂගේ නිර්මාණවලදී අනූජ්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
අනූජ් හඳුනාගත්ත කාලෙදී මම උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඒකටත් අනූජ් සම්බන්ධ වුණේ නැහැ. ඊටපස්සෙ මම face to face චිත්‍රපටය කළා. ඒකටත් අනූජ් හිටියෙ නැහැ. හැබැයි මේ හැම නිර්මාණයකදීම අනූජ්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අපේ එක එක film වලට group තියෙනවනෙ. ඒ fb group හැම එකකම අනූජ් ඉන්නවාම තමයි. ඒ තරම් අනූජ් අපිට හරි සමීපයි.

අනූජ් එක්ක හර්ෂ කරපු චිත්‍රපටය කවදා විතර තිරගත වෙයිද..?
අපි දෙන්නා එකතුවෙලා සේද මාවත චිත්‍රපටය කළා. ඒක අධ්‍යක්ෂණය කළේ මම. නිෂ්පාදනය කළේ අනූජ් සහ මම දෙන්නම එකතුවෙලයි. අපි දෙන්නා මුණගැහුණු මුල් කාලෙදීම චිත්‍රපටයක් කරන්න අදහසක් තිබුණා. නමුත් ඒ වෙනුවෙන් දැවැන්ත වියදමක් යන නිසා ඒක කරන එක අපි නතර කළා. ඊටපස්සෙ මම සේද මාවත පිටපත ලියලා මුලින්ම අනූජ්ට පෙන්නුවා. අනූජ් ඒකට කැමතිවෙලා අපි ඒක කළා. බොහෝවිට ඒක ලබන වසරේ අප්‍රේල් වෙද්දී තිරගත කරන්න පුළුවන් වේවි.

එයා වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන හර්ෂට මොකද හිතෙන්නෙ..?
ගොඩක් සතුටු වෙනවා. ඒ වගේ යාළුවෙක් ජීවිතයට අවශ්‍ය වෙනවා. දුකේදීත් සතුටේදීත් එක වගේම ළඟින් ඉන්න අනූජ් වගේ කෙනෙක් ජීවිතයට ලොකු හයියක්.

 

► Text - Jayamali  /   Pic- Sumudu & Internet