2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

වීරයා පිටුපස ඉන්ස්පෙක්ටර් කෙල්ලක්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

ත‍්‍රස්තවාදය ලෝකේ හැම තැනකම පැතිරිලා තියෙන දෙයක්. ඒක මිනිස් සිරැරකට වැළඳෙන පිළිකාවකටවත් වඩා භයානක රෝගයක්. මොකද ත‍්‍රස්තවාදියෝ කියන්නෙම මානසික ආබාධයක් තියෙන පිරිසක්. තමන්ට කුඩා අවධියේදී ඉඳන් නොලැබුණු සෙනෙහස මාපියන්ගේ ආදරය වගේ දේවල් අහිමි නිසා මුළු සමාජයටම වෛර කරමින් ජීවත් වෙන කොටසක් තමයි ත‍්‍රස්තවාදියො වෙන්නේ. මේ කියන්න හදන කතාවත් ත‍්‍රස්තවාදයට සම්බන්ධ කතාවක්. ත‍්‍රස්තවාදය නැති කරලා දාන්න හදන වීර සෙබළෙක් තමයි අද කතාවේ කතා නායකයා වෙන්නේ. ඔහුගේ නම කමාන්ඩෝ කරන්වීර් සිං ඩෝගරා. ත‍්‍රස්තවාදියගේ නම බුරාක්. මේ කරන්වීර් කියන කමාන්ඩෝ භටයට උදවු කරන්න ඉන්නවා සුරූපි තරුණියක්. ඇයගේ නම ඉන්ස්පෙක්ටර් භාවනා රෙඩ්ඩී. දැන් ඔබට කතාවේ දෙබස් ටිකක් කියලම ඉන්නම්.

එක මනුස්සයයි ඉන්නේ. ඒ ත‍්‍රස්තවාදියා සැඟවිලා ඉන්න ගුහාවෙන් එළියට ගන්න පුළුවන්. දස දහසක් මිනිස්සු අතරින් එක්කෙනාටයි කමාන්ඩෝ භටයෙක් වෙන්න පුළුවන්. එයාගේ නම කරන් සිං දෝගරා.
මේ කතාව සිදුවෙන්නේ ඉන්දියාවේ. ඒ අතරේ බුරාක් තමන්ගේ අතවැසියෙක්ට තමන් සැඟවී ඉන්න තැනදී පිහියකින් ඇන මරා දානවා. බුරාක් කියන්නේ උපැස් යුවළක් පැළඳ ඉන්න අහිංසක පෙනුමක් තියෙන තරුණයෙක්. ඔහු තමන්ගේ අතවැසියට පිහියකින් ඇනලා මරා දාලා මෙන්න මෙහෙම කියනවා.
බුරාක් - ඉන්දියාව රුධිරයේ කදුළු සලාවී.

ඔහු දිනෙන් දින විවිධ අපරාද කරමින් ඉද්දී ඉන්දියාවේ ආරක්ෂක අංශවල ප‍්‍රධානීන් කිහිප දෙනෙක් වැඩ තහනමට ලක්වී ඉන්න කමාන්ඩෝ කරන්ව ඔවුන්ගේ කාර්යාලයට කැඳවා ඔහු සමඟ කතා බහ කරමින් ඉන්නවා. ඔවුන්ගේ විස්තර කිරීම අහගෙන ඉඳලා කරන් මෙන්න මෙහම කියනවා.
කරන් - සර් එයා ලෝකේ කොහේ හරි තැනක ඉන්න පුළුවන්. ඒත් එයා ලන්ඩන් ඉන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩියි.


ප්‍රධානියා - කරන් ඔයාගේ ටීම් එකට ඉන්නවා ඉන්ස්පෙක්ටර් භාවනා රෙඩ්ඩී. තව බ්‍රිටිෂ් ඉන්ටෙලිජන්ස් එකෙන් මල්ලිකා සූද් ඉන්නවා. ප‍්‍රධානම දේ තමයි අපි හොයන්න හදන ත‍්‍රස්තවාදියාගේ හඬයි දෑසයි හැර වෙන කිසිම දෙයක් ගැන අපි  දන්නේ නැහැ.

මෙහෙම කතාබහක් ඉන්දියාවේ යන අතරේ ලන්ඩනයේ ජීවත් වෙන බුරාක් නැමැති ත‍්‍රස්තවාදියා තමන්ගේ ගෝල බාලයන් සමඟ මෙන්න මෙහෙම කතාබහක නිරත වෙමින් ඉන්නේ.
බුරාක් - ඌ අපිව හොයාගන්න කලින් මාව හොයන්න ඇවිල්ලා ඉන්න නිලධාරීන්ව හොයන්න. හොයලා මරලා දාන්න.
කොහොම හරි කමාන්ඩෝ කරන් ත‍්‍රස්තවාදියව හොයා ගන්නවා. ඔහු කරන්ගේ ශර්ට් එකේ කොළරයෙන් අල්ලාගෙන,
බුරාක් - පැය තුනක් ඇතුළත මම මෙහෙන් කරදරයක් නැතුව පිට වෙනවා. උඹට පුළුවන් දෙයක් උඹ කරපන්. පුළුවන්නම් මාව නතර කරපන්. මුස්ලිම්වරු මේ දේශයේ තමන්ගේ අයිතිය වෙනුවෙනුයි සටන් කරන්නේ. ඔවුන්ව නවත්තන්න කාටවත් බැහැ.
කරන් - ඒත් ඔවුන්ට තමන්ගේ දේශයට ද්‍රෝහි වෙන්න බැහැ. බේරෙන්නේ පුළුවන්නම් තමන් බේරිලා පෙන්වනවා මේ රටේ පොලීසිය වටකරගෙන හිටියට.
බොලිවුඩයේ හැදුණු ඇක්ශන් සිනමාපටවලින් වඩා කතාබහට ලක්වෙන සහ වඩා හොඳම එක තමයි කමාන්ඩෝ 03 කියන්නේ.

ආදිත්‍ය දත් විසින් අධ්‍යක්ෂණය කරන ලද විපුල් අමෘත්ලාල් ශාහ, රෙලියන්ස් එන්ටටේන්මන්ට් සහ මෝෂන් පික්චර් කැපිටල් විසින් නිෂ්පාදනය කරන ලද කමාන්ඩෝ 03 හින්දි සිනමාපටය 2019 නොවැම්බර් 29 වැනිදා තිරගත වෙනවා. කමාන්ඩෝ 03 හින්දි සිනමාපටයේ කතාව ලියා තියෙන්නේ දරියුස් යාර්මිල් සහ ජුනායිද් වාසි. මේ සිනමාපටයේ පසුතලය විවිධ සංගීත නාදයන් ගෙන හැඩ කරලා තියෙන්නේ සෞරභ් භලේරියෝ විසිනුයි. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ චරිතයන්ට පණ දුන්නු ඔබ ආදරය කරන කට්ටිය ගැනයි. මුලින්ම කමාන්ඩෝ කරන්වීර් සිං දෝගරා හෙවත් කරන කවුද කියලා ඉන්නම්. මෙන්න මේ සිනමාපට ඔබ නරඹලා තියෙනවනම් ඔබට ඔහු ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

2013 Commando, 2017 Commando 2, 2019 Junglee, 2004 Dil Ne Jise Apna Kahaa, 2011 Shakti(Telugu), 2012 Billa II(Tamil)

1980 දෙසැම්බර් 10 වැනිදා ඉන්දියාවේ ජම්මු කශ්මීර්වල ජම්මුවලදී උපත ලද මොහු 2004 වසරේ පටන් හින්දි සිනමාව නියෝජනය කරන අතර ඔහු නළුවෙක් වගේම සටන් කලාව ප‍්‍රගුණ කළ (මාර්ෂල් ආර්ට්ස්) වෙනවා. ඔහු හින්දි සිනමාවට අමතරව කොලිවුඩ් සහ හොලිවුඩවල සිනමාපටවලත් වැඩ කරන කෙනෙක්. ඔහු ඉන්දියාවේ හමුදා නිලධාරියෙක්ගේ තුන්වැනි පුතා විදිහට තමයි උපත ලබන්නේ. සටන් ජවනිකාවලත් තමන්ම රංගනයෙන් දායක වන කෙනෙක් වන ඔහු ඔහුටම ආවේණික සටන් කලාවකින් ඔබ අපි හමුවට එන කෙනෙක්. ඔහු නමින් විද්‍යුත් ජාම්වාල්. ඔහු තමයි මේ සිනමාපටයේ කරන්ගේ චරිතයට පණ පොවන්නේ.

දැන් ඔබට කියන්න හදන්නේ ඉන්ස්පෙක්ටර් භාවනා රෙඩ්ඩීගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. ඇය ගැන වැඩි විස්තර කියන්න කලින් මෙන්න මේ සිනමාපට ගැන කිව්වම ඒ හැඩකාරිය ඔබට මතක් වෙන එක කිසිවෙක්ට නතර කරන්න නොහැකි වේවි.

2008 1920, Hasee Toh Phasee (2014 Heart Attack (2014), S/O Satyamurthy (2015), Sale (2015), Garam (2016) Kshanam (2016) Rana Vikrama (2015)
2008 වසරේ පටන් ඇය හින්දි සිනමාව නියෝජනය කරනවා. 2018 වසරේදී ඇය ලක්ස් ගෝල්ඩන් රෝස් සම්මානය තමන්ගේ නමට වෙන්කරගන්න සමත් වුණා. හින්දි, තෙළිඟු සහ මලයාලම්, කන්නඩා සහ දමිළ සිනමාපටවලත් තමන්ගේ දස්කම් දක්වන ඇය නමින් ආදා ශර්මා. ඇය තමයි මේ කමාන්ඩෝ 03 හින්දි සිනමාපටයේ ඉන්ස්පෙක්ටර් භාවනා රෙඩ්ඩීගේ චරිතයට පණ පොවන්නේ.

දැන් ඔබට කියන්න හදන්නේ මල්ලිකා සූද්ගේ චරිතය පණ පොවන ඒ හැඩකාරිය ගැනයි. ඉන්දියාවේ ශ්‍රී නගර්වල ඉපදුණු ඇය දැනට මුම්බායිවල ජීවත් වෙනවා. 2013 වසරේ පටන් ඇය නිළියක් සහ නිරූපණ ශිල්පිනියක් ලෙසින් වෘත්තියේ නිරත වෙනවා. ඇය නමින් අන්ගිරා ධාර්. ඇය තමයි මල්ලිකා සූද්ගේ චරිතයට පණ පොවන්නේ. ඔය කිව්ව තුන්දෙනාට අමතරව මේ හින්දී සිනමාපටය හැඩ කරන්න මෙන්න මේ අයත් එකතු වෙලා ඉන්නවා. බුරාක්ගේ චරිතය සඳහා ගුල්ෂාන් දේවයියාහ්, රෝයි විදියට රාජේශ් තයිලෙන්ග්, විකී විදියට විකී කඩියන්, තයිමූර් විදියට අභිලාෂ් චවුද්රි, අර්මාන් විදියට සමීත් තාකූර්, අල්වින් විදිහට මාර්ක් බෙනින්ටන්, අබීර් විදියට අතර්වා විෂ්වකර්මත්, සහීරාගේ චරිතයට ෆෙර්ය්නාවෂීරා චරිතයන්ට පණ පොවනවා.

කමාන්ඩෝ 03 හින්දි සිනමාපටයේ තියෙන මනබඳින ගීතයන් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ මන්නාහ් ශාහ් සහ වික‍්‍රම් මොන්ට්‍රෝස් විසිනුයි. මෙහි තියෙන ගීතයන්හි ගේය පද සාහීල් සුල්තාන්පුරි, අභෙන්ද්‍ර කුමාර් උපද්‍යාය, අසීම් ශිරාස්, ෆර්හාද් භිවන්දිවාලා සහ වික‍්‍රම් මොන්ට්‍රෝස් විසින් ලියා තියෙනවා. ඒ ගේයපදවලට පණ දෙන්න තමන්ගේ හඬ ඒ අවට මුසු කර තියෙන්නේ ෆර්හද් භිවන්දිවාලා, අර්ජිත් සිං, ශෘති සසිදරන්, සුක්වින්දර් සිං, වික‍්‍රම් මොන්ට්‍රෝස් සහ අන්කිත් තිවාරි.

 

► Translation — Chandana