2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

කෝටි 500! කරන්න බැරි දෙයක් නැති ඔරලෝසුව

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 109

අත් ඔරලෝසුව කියන්නේ වෙලාව බලන්න විතරක් නෙමේ මෝස්තරයක් විදිහටත් ගොඩක් දෙනෙක් පළඳින දෙයක්. විලාසිතාවක් හින්දම විවිධ විදිහේ අත් ඔරලෝසු විවිධ හැඩයෙන් විවිධ ප්‍රමිතියෙන් විවිධ මිල ගණන් යටතේ දකින්න පුළුවන්. පිටකොටුවේ රවුමක් දැම්මොත් රුපියල් දෙසීයට තුන්සීයට වුණත් අත් ඔරලෝසුවක් හොයාගන්න බැරි කමක් නෑ. හැබැයි මේ කියන්න හදන්නේ රුපියල් කෝටි 482ක් වටිනා අත් ඔරලෝසුවක් ගැනයි.

මේ දක්වා ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වුණු අත් ඔරලෝසුව විදිහට වාර්තා පොත් අතරට එකතු වුණු මේ අත් ඔරලෝසුව ස්විට්සර්ලන්තයේ සුප්‍රකට පතේ පිලිප්ස් සමාගමේ නිෂ්පාදනයක්.

Patek Philippe Grandmaster Chime 6300A-010 විදිහට නම් කරලා තියෙන මේ අත් ඔරලෝසුව වෙන්දේසිය සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද්දක්. ඒ වගේම මේක තරමක් සංකීර්ණ අත් ඔරලෝසුවක් විදිහටත් බොහොදෙනෙක් හඳුන්වනවා. ක්‍රිස්ටීස් වොච් කියන ඔරලෝසු සමාගමේ සබීන් කේගර් නම් නම් නිලධාරිනිය කියන විදිහට ඇය මෙතෙක් දැකපු සංකීර්ණම අත් ඔරලෝසුව මේක තමයි.
“කෝපි කෝප්පයක් සෑදීම ඇරුණම අනිත් හැම දෙයක්ම මේ අත් ඔරලෝසුවට කරන්න පුළුවන්” ඈ සිනාසෙමින් කියනවා.

ස්ප්‍රින්ග් බැරල් හතරක් තියෙන මේ අත් ඔරලෝසුවේ වේලාව ඇතුළු විවිධ තොරතුරු විස්සක් පමණ පෙන්නුම් කරනවා. ඒ වගේම ඔරලෝසුවේ උඩු පැත්තේ වගේම යටි පැත්තේත් විවිධ දර්ශක අඩංගුයි. එක පැත්තක කළු පැහැති මුහුණතකුත් අනිත් පැත්තේ රෝස් ගෝල්ඩ් පැහැ මුහුණතකුත් දකින්න පුළුවන්. තවත් විශේෂත්වයක් තමා විවිධ නාද රටා පහක් විතර මේකේ අන්තර්ගත වීම. එලාම් එක ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා පාවිච්චි වෙන මේ නාද රටාවලින් දෙකකට පේටන්ට් බලපත්‍රයත් තියෙනවා.
ස්ටින්ලස් ස්ටීල් ඔරලෝසුවේ වේලාව දැක්වෙන්නේ රෝස් ගෝල්ඩ් මුහුණතෙනුයි. ඒකෙ සාමාන්‍ය විදිහට වගේම පැය 24 අනුව වේලාව දර්ශකයකුත් තියෙනවා. ආර්ද්‍රතාවයට හා දූවිලිවලට ඔරොත්තු දෙන විදිහට මේක හදලා තිබුණත් වතුරට නම් මේක ඔරොත්තු නොදෙන බවයි නිෂ්පාදකයෝ පවසන්නේ. ඔරලෝසුවේ කටු සේරම කැරට් 18 රත්රන්. ඔරලෝසු පටියත් කිඹුල් හමින් හදන ලද්දක්.

ජිනීවා නුවර හෝටලයක පැවැති වෙන්දේසියේදී මේ අත් ඔරලෝසුව මිලදී ගෙන තියෙන්නේ දුරකථනය ඔස්සේ ලන්සුව තැබූ පුද්ගලයෙක්. තවමත් හරියට ඔහුගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කරලා නැහැ.

මේ වෙන්දේසියෙන් ලැබුණු මුළු මුදලම ඒ කියන්නේ රුපියල් කෝටි 482ක් හෙවත් යුරෝ මිලියන 24.2ක මුදල මාංශපේශී අකර්මණ්‍යතාව කියන රෝගය සුව කිරීම වෙනුවෙන් කරන විද්‍යාත්මක පර්යේෂණවලට ලබාදීමට නියමිතයි. ඒ කියන්නේ මේ අලෙවියෙන් ලැබුණු එක යූරෝ එකක්වත් පතේ පිලිප්ස් සමාගමටවත්, වෙන්දේසිකරුවන්ටවත් අයිති නැහැ.

ද ගාඩියන් ඇසුරෙන් 

► Text - Suranga   /   Pic -  Internet