2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

ඒ දුප්පත්කම අස්සෙන් දෝරේ ගැලුව මනුස්සකම මාව කම්පා කළා

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 90

මේ වෙන කවුරුත් නෙමේ නිරෝෂන්... නිරෝෂන් විජේසිංහ... 
නිරෝෂන්  කොහොමද... මේ දවස්වල මොනවද වෙන්නෙ...?

සාමාන්‍ය පරිදි නිර්මාණ කටයුතුවල වැඩ කරගෙන යනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ අලුත් වැඩක් මේ දවස්වල කරගෙන යනවා... ඒ ප්‍රියංකර රත්නායකගේ අලුත්ම වේදිකා නාට්‍ය ඊඩිපස්... ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ඊඩිපස්ගේ චරිතයට පණ පොවන්නෙ මම. මට ඒ අද්දැකීම වෙනස්ම අද්දැකීමක්... මේ දවස්වලට වැඩිපුර මහන්සි වෙන්නෙ ඒ වැඩේට තමයි. පහුගිය දවස්වල නිමාවුණු සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයට තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒගැන ගොඩක් සතුටුයි... ඕවා තමයි ඉතින්.....

හරි... අපි එහෙනම් මතෘකාවට බහිමුකෝ...
නිරෝෂන්.. විජේසිංහ කියන්නෙම හැංගිච්ච නිර්මාණ හොයාගෙන  ගිහින් ඒවා රසවිඳින කෙනෙක්... නිරෝෂන්ට දැනිච්ච, නිරෝෂන්ව පුදුම කරපු නිර්මාණයක් ගැන නිරෝෂන්ගෙන් ඇහුවා.... එයා කලින්ම දන්නවා ඒක එයා කරපු නිර්මාණයක් වෙන්න බෑ කියලා.. මොහොතක් කල්පනාවේ තනිවෙලා ඉඳලා... මම කලින් කිව්වා වගේ..  එකපාරට ගිහින් නැවතුණේ ඉන්දියාවේ....
විශේෂ හේතුවක් ඇති එහෙම වෙන්න... අපි අහලා බලමු...

මෙහෙමයි.. මගේ ජීවිතයට ළංවෙච්ච නිර්මාණ කිහිපයක් තියෙනවා.. ඔයා ඔය ප්‍රශ්නය ඇහුවාම මගේ හිත ගිහින් එකපාරටම නතර වුණේ... මෑත කාලේ බලපු චිත්‍රපට දෙකක් ළඟ... එකක් තමයි පිහු (Pihu) කියන හින්දි චිත්‍රපටය.. අනිත් එක තමයි කාකා මුටයි (Kaakka Muttai) කියන දමිළ චිත්‍රපටය... මේ සිනමා කෘති දෙකම මම මෑත කාලේ නරඹලා පුදුම විදියට රසවිඳපු අපූරු නිර්මාණ දෙකක්... ඒ අතරින් මම අද කතාකරන්න කියලා හිතුවේ කාකා මුටයි චිත්‍රපටය ගැන.  
ඕනෑම සිනමා නිර්මාණයක් රසවිඳිද්දී තමන්ටම අනන්‍ය වූ දෙයක් ඕනෑම පුද්ගලයෙක්ට දැනෙන්න ගන්නවා... ඒක හරි වෙනස් අමුතුම රහක්... ඒ වින්දනයට භාෂාවක් වැදගත්ම නෑ... මේ චිත්‍රපටයට ගෙතෙන්නෙ මුඩුක්කුවක ජීවත්වෙන පුංචි ළමයින් දෙන්නෙක් වටා... මට මේ නිර්මාණය දැනුණේ චිත්‍රපටයේ පළවෙනි දර්ශනයෙන්මයි... ඒ දර්ශනයේ අපිට පේනවා එක දරුවෙකුට නින්දෙන් මුත්‍රා යනවා... දරුවගේ අම්මා මේ ගැන දැනගත්තම ඇය කියනවා රාත්‍රියේ මුත්‍රා කරන එක නවත්වන්න කියලා... එයා කියනවා... හරි මම නින්දෙන් මුත්‍රාකරන එක නවත්වන්නම්.. හැබැයි මට ටීවී එකක් ඕනෙ කියලා... හරි ලස්සන දර්ශනයක් ඒක... පස්සෙ ගෙදර අය මෙයාලට ටීවී එකක් ගෙනත් දෙනවා... මුලින්ම මේ චිත්‍රපටයට මගේ හිත ඇදබැඳ තබාගන්නෙ අන්න ඒ දර්ශනයෙන්... එතන ඉඳලා කොයිම වෙලාවකවත් මගේ අවධානය ගිලිහී නොයන්න මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ වන එම්. මනිකන්දන් වගබලා ගන්නවා... අන්න ඒකයි මේ චිත්‍රපටයේ තියෙන සුවිශේෂත්වය... පළවෙනි දර්ශනයෙන්ම මට ඉඟියක් ලැබුණා මේ චිත්‍රපටයේ අන්තර්ගතය කොච්චර ගැඹුරුද කියන එක...

මේ දරුවන් දෙදෙනාගේ පියා හිරේ ඉන්නෙ... මේ අය කොච්චර දරිද්‍රතාවයෙන් පෙළෙනවද කියනවා නම්... මේ පුංචි දරුවො දෙන්නා කාක්කන්ගේ බිත්තර බීලා සමහර දවස්වල බඩගින්න නිවාගන්නවා... හැබැයි ඔවුන් ඒ බිත්තර බොන්නෙ බිත්තර තුනක් තියෙන කාක කුඩුවලින් එකක් කාක්කාට ඉතුරු කරලා... අතිශය සියුම් විදියට මානව හැඟීම් නිරූපණය කිරීමක් ලෙස මම එය දකිනවා.. දුප්පත්කමට වැරදි වැඩේ කළාට... අනෙකා ගැනත් හිතන්න ඒ අය කාරුණික වුණා... පුංචි පුංචි එවැනි තැන් නිසා තමයි මේ චිත්‍රපටයට මට ලෝබ හිතෙන්නෙ.  

ප්‍රධාන වශයෙන් චිත්‍රපටය පුරාවටම අපිට එත්තු ගන්වන්න හදන්නෙ ධනවාදී පාරිභෝගික සමාජය තුළ සම්ප්‍රදායිකත්වයට යටවෙන හැටි සහ එයට වෙන හානිය...
මම ඉස්සෙල්ලා කිව්වනේ ගෙදරට ටීවී එකක් ගේනවා කියලා... ඊට පස්සේ මේ දරු දෙදෙනාට ජීවිතේ කවමදාවත් දකින්න අහන්න නොලැබුණු දේවල් බලන්න ලැබෙනවා. පීසා ගැන මේ දෙන්නා දැනගන්නවා. රූපවාහිනියේ පීසා වෙළඳ දැන්වීමක් මේ දෙන්නා දකිනවා.... එතනින් පස්සෙ තමයි හැමදේම වෙනස් වෙන්න ගන්නෙ... සැබෑවටම ඔවුන් යැපෙන ආර්ථිකය අනුව පීසා කියන එක මේ දෙන්නාගෙන් ගොඩක් ඈතක තියෙන දෙයක්... එතන ඉඳලා ඔවුන් දෙදෙනා පීසා කන්න දරන වෑයම තමයි මේ කතාව පුරාවට අපිව සංවේදී කරන්නෙ... මේ අය රස්සාවක් විදියට කරන්නෙ මුඩුක්කුව කිට්ටුවෙන් යන ගල්අඟුරු කෝච්චියෙන් වැටෙන ගල්අඟුරැ කැට හැතැක්ම ගාණක් පයින් ගිහින් ඇහිඳගෙන ඇවිත් විකුණන එක... ඒකෙන් තමයි මෙයාලා ජීවිතය ගැටගහ ගන්නෙ... එහෙම දෙන්නෙක්ට පීසා කියන්නෙ හීනයක්... මේ පුංචි කොල්ලො දෙන්නා නොකරන දෙයක් නෑ... පීසා එකක් කන්න... බොහෝම අමාරුවෙන් මේ දෙන්නා සල්ලි හොයාගන්නවා පීසා එකක් කන්න... ඊළඟට තව ප්‍රශ්නයක් එනවා... පීසා කන්න සල්ලි තිබුණට මේ අය කිලුටු පෙරාගෙන ඉන්න නිසා පීසා ෂොප් එක ඇතුළට ගන්නෙ නෑ... කොහොම හරි කෙනෙක්ගෙන් අලුත් ඇඳුමක් ඉල්ලගෙන ගියත් මෙයාලට ඇතුළුවෙන්න නොදී එහි මුරකරු පහර දෙනවා. මේ අමානුෂික ක්‍රියාවට රූපවාහිනී මාධ්‍ය මගින් ලොකු ප්‍රචාරයක් ලැබිලා. ඒ නිසා අවන්හල හා ඒ ක්‍රියාව ගැන ලොකු අප්‍රසාදයක් ඇතිවෙනවා. ඒ සිද්ධිය වාසියට හරවාගෙන ඒ ප්‍රදේශයේ ඉන්න දේශපාලන නායකයෙක් විශාල දේශපාලන මැදිහත්වීමක් හරහා අඬබෙර ගහලා මෙයාලාව පීසා හට් එකක් ඇතුළට එක්ක ගිහින් පීසා කන්න දෙනවා.. අන්තිමට හරි ලස්සන සිද්ධියක් වෙනවා... මේ අයියා මලෝ අතර සංවාදයක් යනවා.. ඒ සංවාදයෙදී මල්ලි කියනවා අයියට, අයියේ.. පීසා රහ වුණාට... ආච්චි අම්මා හදන රොටි තරම්ම රහ නෑ නේද කියලා... අන්න එතනදී තමයි ප්‍රේක්ෂකයාට තේරුම් යන්නෙ ධනවාදය විසින් සම්ප්‍රදායට මොනතරම් මරු පහරක් එල්ල කරලා තියෙනවද කියන එක... මම ආරාධනා කරනවා හැමෝටම මේ චිත්‍රපටය බලන්න කියලා... ඒ තරම්ම මේ නිර්මාණය හරි හරබර නිර්මාණයක්.

මේ නිර්මාණයට මෙච්චරම නිරෝෂන්ට දැනෙන්න හේතුවක් ඇති... මට හිතෙනවා මෙවැනි අද්දැකීමක් මේ විදියටම අත් නොවින්දත් යම් මට්ටමක මීට සමාන අද්දැකීමක් නිරෝෂනුත් විඳලා ඇති කියලා... ? මම හරිද?
එහෙම අත්දැකීමක් මට අත්විඳින්න නොලැබුණත්... යම් යම් මොහොතවල්වල අපි හැමෝගෙම ජීවිත අත්දැකීම් තමයි මේ චිත්‍රපටය පුරාවටම විසිරිලා තියෙන්නෙ... මම ගොඩක් සම්ප්‍රදායික දේවල්වලට කැමති කෙනෙක් විදියට අර ආච්චි අම්මා හදලා දෙන රොටිය පීසා එකට වඩා රසයි කියන තැන මට ගොඩක් ළඟයි.. වෛයිවාරණ දේවල් දාලා පීසා එකක් රසයි කියලා හෙන බොරැවක් මාර්කට් කරනකොට ඊට වඩා රස දේවල් අපේ ගේ ඇතුළෙම අපි තියාගෙන අර බොරු දේවල් පස්සෙ අපි යනවා.. මෙවැනි දේවල් මේ යුගයේ අපි අත් විඳිනවා.. 

මේ චිත්‍රපටයේ නරඹද්දී ඔබට සමීපම වෙච්ච චරිතයක් එහෙම ඇති නේද?
මේ චිත්‍රපටයේ එක චරිතයක් කියලා තෝරගන්න හරිම අමාරුයි. හැබැයි මේ චිත්‍රපටයේ පුංචි දරුවෝ දෙන්නට හරිම විශිෂ්ඨ විදියට රඟපානවා... මම එකපාරටම කියන්නෙ ඒ දෙන්නා තමයි මම කැමති චරිත දෙක කියලා..   

නිරෝෂන්ව කම්පනය කරපු අවස්ථා මේ චිත්‍රපටය පුරා ගොඩක් ඇති නේද... එකක් දෙකක් මතක් කරමුද?
මේ චිත්‍රපටයේ හැම දර්ශනයක්ම වගේ එහෙම තමයි. අර මම කලින් කිව්ව තැන ඒ කියන්නෙ පීසා එක කාලා මල්ලි අයියාට කියන කතාව... එතන තමයි මම ගොඩාක් සංවේදී වුණේ... තවත් දර්ශනයකට මම ගොඩක් ආසයි. මේ දරුවෝ දෙන්නට එන දෙවැනි ප්‍රශ්නය හොඳ ඇඳුමක් කොහොමද හොයාගන්න එක වැඩ කරලා සල්ලි හොයාගෙන ඇඳුමක් ගන්න ආවත් ලොකු සාප්පුව ඇතුළට යන්න බෑ මේ දෙන්නට. මොකද කරන්නෙ කියලා බිම ඉඳගෙන කල්පනා කර කර බලද්දී මෙයාලා දකිනවා මෙන්න මෙහෙම දර්ශනයක්. ලොකු පවුලක පුතෙකුයි තාත්තෙකුයි ඇඳුම් ගන්න ඇවිත් ආපහු යද්දි මේ පෝසත් පුතාට තියෙන්නෙ වෙනමම ආශාවක් ඇතිවෙනවා. එයාට ඕනෙ පේමන්ට් එකේ විකුණන ලඩ්ඩු කන්න... හැබැයි මේ තාත්තා කොහෙත්ම කැමති වෙන්නෙ නෑ තමන්ගෙ පුතාට පේමන්ට් එකේ තියෙන ලඩ්ඩු කන්න දෙන්නෙ... මොකද ඒක එයාගේ තත්ත්වෙට හොඳ නැති නිසා... තාත්තා ටිකක් එහාට මෙහාට වෙනකන් ඉඳලා දුප්පත් දරැවෝ දෙන්නා පෝසත් දරුවට කියනවා අපි ඔයාට ලඩ්ඩු අරන් දෙන්නම්... ඔයා අපිට මොනවද දෙන්නෙ කියලා... පෝසත් දරුවා අහනවා ඔයාලට මොනවද ඕනෙ කියලා... මේ දෙන්නා කියනවා... අපිට ඔයා ළඟ තිෙයන ඇඳුම් දෙන්න කියලා. අර පෝසත් පුතා ඒකට කැමති වෙනවා.. අර දුප්පත් කොලු පැටව් දෙන්නා ඇඳුම් ගන්න එකතු කර ගත්ත සල්ලි ටික අර ළමයට දීලා එයා අරගත්ත ඇඳුම් ටික ගන්නවා.

 බලන්න සමාජ මට්ටම් දෙකක අයගේ අවශ්‍යතාවන් පෙන්වන විදිය. මේ සිස්ටම් එක ඇතුළේ අපි හැමෝම හිරවෙලා ඉන්න තැන් හරිම අපූරුවට පේන තැනක් ඒක... මම ඒ දර්ශනයට ගොඩක් ප්‍රිය කරනවා...

කොහොමද මේ නිර්මාණය මුලින්ම ඔබේ ඇස ගැටුණේ....?
මම සාමාන්‍ය නිර්මාණ හොයන කෙනෙක්.. ඒ වගේ හොයද්දි හම්බවෙච්ච නිර්මාණයක් තමයි කාකා මුටයි කියන්නෙ... හැංගිච්ච මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් මම බලලා තියෙනවා ඒවා ගැන එළිවෙනකන් වුණත් කතාකරන්න පුළුවන්...

මෙච්චර ආස කරන නිර්මාණය කී පාරක් ඔබ නැරඹුවද?
දෙපාරක් තුන්පාරක් මම මේ නිර්මාණය දැනට නරඹලා තියෙනවා... එකපාරක් මම තනියම බැලුවා.. ඊට පස්සෙ මම දුවත් එකක් බැලුවා.. ආයි පුතත් එක්කත් බැලුවා...

මේ චිත්‍රපට තුළින් ඔබට ඔබේ ජීවිතයට මොන වගේ දෙයක් එකතු කරගන්න පුළුවන් වුණාද...?
මම නිර්මාණ ශිල්පියෙක් විදියටත් චිත්‍රපටවලට කැමති කෙනෙක් විදියටත් ගොඩක් දේවල් එකතු කරගත්තා... ඒ විශිෂ්ඨ රංගනය, කැමරාව හසුරවන විදිය, චරිත කොහොම හසුරවන්න ඕනෙ කියන එක සහ කතාවක් ගොඩනගන්නෙ කොහොමද කියන එක. සමහර විට මේ අධ්‍යක්ෂකවරයාට සහ තිරරචනා ශිල්පියාට ඕන වෙන්නෙ ඇත්තෙ පීසා එකක් කන්න දඟලන කොල්ලො දෙන්නෙක් ගැන නිර්මාණයක් කරන්න. ඒ වස්තු බීජය වටා හරි ලස්සන සංවේදී කතාව ගොඩනගලා මිනිස්සුන් තිළිණ කරලා තියෙනවා... මේ තුළින් ජීවිතවලට පණිවිඩයක් ගන්න පුළුවන්... මම කියන්නෙ නෑ.. පණිවිඩ දෙන්නම නිර්මාණ කරන්න ඕනෙ කියලා... හැබැයි ජීවිත විග්‍රහයක යෙදෙන්න පුළුවන්.. අපේ රටෙත් මෙවැනි සියුම් මාතෘකා තියෙනවා.. එකම රේඛාවක ඉන්නෙ නැතුව මෙවැනි නිර්මාණ තුළින් අපිව පොළඹවනවා අලුත් දේවල් හිතන්න...

නිරෝෂන්ට මේ චිත්‍රපටය අවසානයේ දැණුනු  හැඟීම වචනවලට පෙරළමුද?
මට ඇත්තටම ආපු හැඟීම තමයි.. අපිට මොකක්ද වුණේ කියන එක... මට පොල්ලෙන් ගැහුවා වගේ... අපිත් ආසයි ලස්සන තැනකට ගිහින් අපේ දරුවොත් එකක් පීසා එකක් කන්න... නමුත් මාර්කටින්වලින් අයිසින් දාලා රවට්ටලා තියෙන ඒ ලෝකය කොච්චර බොරුවක්ද? ඇත්තක්ද? ඇත්තටම පාට පාට කරලා හැඩකරලා තියෙන පීසා එක අපිට රසයිද.? මේ මාර්කටින් ලෝකය කොච්චර දුරට ඇත්තක්ද? කියන කාරණය ගැන හිතන්න ඉතිරි කරනවා.. 

ඒ ටික කියලා ... එයා කතාව නැවැත්තුවා..
කතාව ඉවර වුණාට කතාව ඉවරම නෑ කියලා තෙරුණේ එයා කියපු කාරණා හිතුවට පස්සෙ....
 

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet