2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

ප‍ෙට්ටි තියාගෙන ඩ්‍රම්ස් ගහපු දුප්පත් කාලයකුත් තිබුණා

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 239

මේ දවස්වල ශාමෙන් මොනවාද කරන්නේ?
මේ දවස්වල තිරගත වන “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් චිත්‍රපටයේ ගීතය ගායනා කරන්නේ මමයි. ඒ ගීතය “සාර සොබාවට කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඊට අමතරව “නෝ පාකින් ටෙලිනාට්‍යයේත් මම තේමා ගීතය ගායනා කරනවා. මට මුලින්ම “හීන තිබුණට කෝටියක්*, “කෝටිපතියෝ ටෙලිනාට්‍ය දෙකටම සම්බන්ධ වුණා. ඊට පසුව තමයි “නෝ පාකින් ටෙලිනාට්‍යයේ ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුණේ. ඒ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ තිළිණ බොරලැටියයි.
ඉන්නේ කොතනද - යන්නේ කොහෙටද

අපිත් තාමත් දන්නෙ නෑ
ෂෝට්කට්වල තියෙන වේගෙට
ගියත් පාකින් එතන නෑ...

ටෙලිනාට්‍යවල චිත්‍රපටවල තේමා ගීත ගායනා කරන ශාමෙන් සංගීත කණ්ඩායමක සාමාජිකයෙක්?
ඔව්.. මම වසර ගණනාවක් තිස්සේ සන්ෆවලර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්. ඊට පෙර මම බටහිර සංගීත කණ්ඩායම් ගණනාවකටම සම්බන්ධ වෙලා කටයුතු කළා. ලංකාවේ ජනප්‍රියම බටහිර සංගීත කණ්ඩායම් කිහිපයක් එක්ක වරින් වර එකතුවෙලා මම හොටෙල්වල, ක්ලබ්වල සංගීතයේ නියැලුණා. ඔහොම බටහිර සංගීත කණ්ඩායමක ඉඳිද්දී දවසක් නීල් අයියා මාව දැකලා තමයි සන්ෆවලර් සංගීත කණ්ඩායමට එකතු කරගත්තේ. එදා ඉඳන් වසර අටක් මම සන්ෆවලර් සංගීත කණ්ඩායමේ ඉන්නවා. ඒත් එක්කම මම “Back Line” කියන බෑන්ඩ් එකකත් වැඩ කරගෙන යනවා. ඒ බෑන්ඩ් එකත් එක්ක එකතුවෙලා මම මේ දවස්වල සින්දු කියනවා. සන්ෆවලර් සංගීත කණ්ඩායම වැඩිපුරම එළිමහන් ප්‍රසංග තමයි කළේ. පසුගිය කාලේදී රටේ සිදුවුණු සිදුවීමත් එක්ක ප්‍රසංගත් ටිකක් අඩු වුණා. අද වනවිට සංගීත කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා තවත් බෑන්ඩ් එකක් එක්ක එකතුවෙන්න මට වෙලාව තිබුණා. බෑන්ඩ් දෙකේ වැඩත් බෙදාගෙන කරගෙන යනවා.

ශාමෙන්... සංගීත කණ්ඩායමට එකතු වීම පාසල් යන කාලේ දැකපු හීනයක්ද?
ඔව්... මම ඉස්සර සින්දු කිව්වේ නැහැ. හැබැයි ඩ්‍රම්ස් ගහන්න හරි ආස කළා. ඉස්සර ඔය පෙට්ටි තියාගෙන ඩ්‍රම්ස් ගහපු කාලයකුත් තිබුණා. මම ඉගෙන ගත්තේ ගාල්ලේ ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ. ඒ කාලේ පාසල් බෑන්ඩ් එකේ මම හිටියා. ඒකාලේ නාමල් උඩුගම, ග්‍රේෂන් ජයමහ හරිම ජනප්‍රියයි. මට තාම මතකයි අපි ඒ අය පාසලට ගෙන්වලා ප්‍රසංග පවා පැවැත්වූවා.

පසුකාලීනව නාමල්ට, ග්‍රේෂන්ට, බෑන්ඩ් එකකින් සංගීතය සපයද්දී මොකද හිතුණේ?
අම්මෝ... ලොකු සතුටක් දැනුණා. නාමල් අයියා, ග්‍රේෂන් අයියා පහුකාලීනව අපි එක්ක එකට ටුවර් ගියා. හැබැයි ඒ කාලේදී නම් මේ විදිහට එකට සෙට්වේවී කියලා කවදාවත්ම හිතුවේ නැහැ. ඇත්තටම ඒක ජීවිතයට ලැබුණු මාරම මාර අත්දැකීමක්..

පාසල් කාලේදී සංගීතයට නැඹුරු වීම ගැන මව්පියන්ගේ කැමැත්තක් තිබුණද?
මගේ අම්මා මම සංගීතය කරනවාට ගොඩාක් කැමති වුණා. පුංචි කාලේ ඉඳන් ඒ අය මගේ දක්ෂතා ගැන දැනගෙන ඉන්න ඇති. තාමත් ඒ සහයෝගය ඒ අයගෙන් මට ලැබෙනවා.

ඔය කටහඬින් හොඳ ප්‍රයෝජනයක් ගන්නේ නැහැ කියලා ශාමෙන්ට හිතෙන්නේ නැද්ද?
එහෙම හිතෙන්නේ නැහැ.. කාලෙත් එක්ක තමයි මේ හැමදේම ලැබෙන්නේ. මම සංගීත ක්ෂේත්‍රයේ දැන් බොහෝ කාලයක් වෙනවා. මම ආව ගමන බොහෝම හෙමින්. ටිකින් ටික දැන් මගේ කටහඬ රසිකයින් අතරට ගිහින් තියෙනවා කියලා මට දැන් දැනෙනවා. ටෙලිනාට්‍ය ගීතත් එක්ක මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම මේ ආපු ගමන ගොඩාක් සතුටුයි. ආපු මල් කාලේදීනම් හිත් රිදීම් තිබුණා. සමහර හෝටල්වලට සින්දු කියන්න ගියාම සමහර හෝටල් කළමනාකරුවන්ගේ බොරු ගෑස් බලන්නත් සිදුවුණා. මම ගාල්ලෙනේ. ඉතින් කොළඹ හෝටල්වලට ගියාම “අපෝ... ගාල්ලෙද... කොළඹ නෙමෙයිද කියලා අහන වෙලාවලුත් තියෙනවා... හැබැයි දැන්නම් එහෙම නැහැ... දැන් බොහෝදෙනා හඳුනනවා..

දැන් දරුවන් හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක්... කොහොමද ඒ ජීවිතේ?
ඒ ජීවිතේ හරි සුන්දරයි... අපිට දුවලා දෙන්නයි, පුතාලා දෙන්නයි. මම විවාහ වුණේ බුද්ධි අමල්කා එක්ක.. එයා සෙත්සිරිපායේ සේවය කරනවා. බොහෝ වෙලාවට මම දවල් වරුවේ ගෙදර ඉන්නේ. ඒ නිසා දරුවන්ගේ වැඩ බෙදාගෙන අපි දෙන්නට කරන්න පුළුවන්. ඉස්කෝලෙන් පසුව මම සංගීතය කළා. ඒ කාලේ බුද්ධි ඉස්කොලේ යනවා. ඔය යන අතරේ තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ. මුලින් බද්ධිගේ ගෙවල්වලින් අපේ සම්බන්ධයට කැමති වුණේ නැහැ. ඒකට හේතුව වුණේ මම සංගීතය කරන නිසයි. එයාගේ මව්පියන් වෙනත් රැකියාවක් කරන කෙනෙක් තමයි බලාපොරොත්තු වුණේ. ඒ කාලේ කොණ්ඩේ වවලත් තිබුණා. ඒ පෙනුමටත් ඒ ගෙදරින් අකමැති වුණා. හැබැයි බුද්ධි කවදාවත් වෙනස් වුණේ නැහැ. ඒ නිසාම අපි විවාහ වුණා. දැන්නම් එයාගේ මව්පියෝ අපිට අකමැති නැහැ.

ශාමෙන්ගේ ප්‍රසංගයක් ගාල්ලේ පටන්ගන්නට යනවා නේද? අපි ඒ ගැනත් කතා කරමු..?
ඔව්... Beauty And The Beat නමින් හඳුන්වන ඒ ප්‍රසංගය දෙසැම්බර් මස විසිවැනිදා සවස 6.30ට Hall De Galle ශ්‍රවනාගාරයේදී පැවැත්වෙනවා. ඒ ප්‍රසංගයේ මමයි, රවීන් කනිෂ්ක සහ කේෂාන් ශෂීන්ද්‍ර ගීත ගායනා කරනවා. එන්න පුළුවන් අයට මේ ප්‍රසංගය බලලා යන්න එන්න කියලා මම ආරාධනා කරනවා.

බොරවෙලා දියවෙලා ගලනවා ඔහේ කනුවේ
හොඳත් නෑ නරකකුත් නෑ මුකුත් නෑ මේ ජීවිතේ
හීන තිබුණට කෝටියක් අතේ නෑ එක රුපියලක්


 

► Text - Jayamali  /   Pic -Internet