2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

නාන්නෙ නැති අයටත් අත්පුඩි

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

බොහෝ නිවේදක නිවේදිකාවෝ තම අතට ලැබෙන පිටපතට අනුව කතා කරන්න යන එකෙන් සමහර තැන්වල ඉස්මතු වියහැකි අපූරු හාස්‍යමය තැන් මඟහැරිලා යනවා.

ඕක රූපවාහිනිය වේවා, ගුවන් විදුලිය හෝ සංගීත ප්‍රසංගවල වේවා, කොහේ සිදු වුණත් අදාල නිවේදක නිවේදිකාවන්ට ක්ෂණිකව ඒ ඒ අවස්ථාවන්ට අනුව පිටපතෙන් බැහැර වෙන්නට සිද්ධ වෙනවා. 
මේ රුහැකියාව ඇතැම් නිවේදක නිවේදිකාවන්ට තියෙනවා.

පසුගිය දවසක පැවැති සංගීත ප්‍රසංගයකදී ගායකයෙක් සින්දුවක් කියලා ඉවර වෙනවාත් එක්කම නිවේදකයා සංගීත අධ්‍යක්ෂකවරයාගෙන් මේ ගීතය ගැයූ ගායකයා ගැන අදහසක් ඉල්ලා සිටියා.

“මේක අමාරු ගීතයක්. මම මුලදී නම් හිතුවෙ මෙයා මේ සින්දුව කියන්න ගිහින් නා ගනියි කියලා. ඒත් ඔහු නාන්නෙ නැතිව ලස්සනට සින්දුව කිව්වා. සංගීත අධ්‍යක්ෂක කිව්වා. මුළු ශාලාවෙන්ම ලැබුණේ කන්අඩි පැලෙන තරම් අත්පුඩි හඬක්ය. නිවේදකයා ක්ෂණිකව ලබාදුන් ප්‍රතිචාරයට තවත් ඔල්වරසන් හඬක් නැගුණා.

“මම ජීවිතේට දැක්කමයි නාන්නෙ නැති කෙනෙකුට අත්පුඩි ගහනවා!

 

ලෙඩා මාරුකරන්න බැරිද

ඔන්න පානදුර පැත්තෙ ෂූටින් එකක් අතරතුර එහි වැඩ කරපු එක්තරා රංගන ශිල්පියෙකුට කොළඹ පෞද්ගලික රෝහලකට යන්න අවශ්‍ය වුණාලු ලෙඩෙක් බලන්න.
“ඉන්න මාත් එක්ක යන්න පුළුවන්... නිෂ්පාදකවරයා ඔහුට කිව්වලු.

“ඔයා කොයි පැත්තටද යන්නෙ?
“මම යන්නෙ තලවතුගොඩ

“අයියෝ ඉතින් මගේ ලෙඩා ඉන්නෙ කොළඹ හොස්පිටල් එකකනෙ.
“තලවතුගොඩත් තියෙනවා හොඳ ප්‍රසිද්ධ හොස්පිටල් එකක්. ලෙඩාව එහෙට මාරුකරන්න කියන්න. මම ඔයාව එතැනින් ඩ්‍රොප් කරන්නම්.

මට වඩා හොඳ කෙනෙක්

ටෙලිනාට්‍යයක් රූපගත කිරීම් නිමාවූ පසු කණ්ඩායම විසිර යන්නට මත්තෙ පුංචි සාදයක් පැවැත්වුණා. ඒ නාට්‍ය රූගත කළ කාලය පුරාම අධ්‍යක්ෂක හා එක්තරා නිළියක් අතර විවිධ මත ගැටුම් තිබුණා.
ඒත් වැඩේ ඇදගෙන ගියේ නිෂ්පාදකවරයාගේ ඉවසීම නිසා කියලයි හැමෝම කියන්නෙ.

ඔන්න දැන් පාටිය අතරතුර අර නිළිය යන්න ලෑස්ති වෙලා අධ්‍යක්ෂකගෙන් හා නිෂ්පාදකගෙන් සමුඅරන් යන්න යනවලු.
“මට කවදාවත් ඔයා වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබෙන්නෙ නැහැ. අධ්‍යක්ෂකවරයා ඇයට කිව්වලු.
“ඇත්තටම ඒ වචන ටික මට සම්මානයක් ලැබුණා වගේ. ඇය කිව්වලු.

ඒක අහගෙන හිටිය නිෂ්පාදකවරයා මෙහෙම කිව්වලු.
“ඔයා ඕක වැරදියට තේරුම් ගත්තේ. අපේ ඩිරෙක්ටර් කිව්වෙ ඔයා වගේ කෙනෙක් කවදාවත් ලැබෙන්නෙ නැහැ. ඔයාට වඩා හොඳ කෙනෙක් වැඩ කරන්න ලැබෙයි කියලනෙ.

 

Text - Mithra