2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

FB එකෙන් මම ලොකුම ලොකු වැඩක් කරගත්තා

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 138

අභිෂේකා පසුගිය දවසේ තිබුණු උපන්දිනයට යාළුවෝ කට්ටිය එකතු වෙලා අභිෂේකාව සප්‍රයිස් කළා කියලයි ආරංචිය?
ඔව්.. මගෙයි මගේ සැමියගෙයි උපන්දිනය යෙදිලා තියෙන්නේ එකම දවසේමයි. ඒ නොවැම්බර් මාසේ 11 වැනිදා. ඒ දවස්වලම දිග නිවාඩුවක් තිබුණනේ. අපි අපේ යාළුවෝ කට්ටියක් එක්ක නුවරඑළියේ ට්‍රිප් එකක් ගියා. ඒ ගියපු වෙලාවේ අපේ යාළුවෝ ටික එකතු වෙලා අපි දෙන්නට පොඩි පාටියක් දීලා අපිව සප්‍රයිස් කළා. එයාලා බැළුන් එල්ලලා අපිව පොඩ්ඩක් බයිට් කරලා ලස්සන සප්‍රයිස් පාටියක් අපිට දුන්නා.

අභිෂේකා ජීවිතේ කොහොමද?
ජීවිතේ හොඳයි. මට දුවක් ඉන්නවා. එයා ලබන අවුරුද්දේ ඉස්කෝලෙ යනවා. මගේ වයසත් එක්ක බලද්දි එයා ලොකු දුවෙක්. හරි ෂෝක්. මට සතුටුයි. ඉස්කෝලෙ යන දුවෙක් දැන් මට ඉන්නවා කියද්දි සමහරු පුදුමත් වෙනවා. මම කැම්පස් ගිහින්, ජොබ් එකේ වැඩත් කරගෙන, දුවගේ වැඩක් කරගෙන සතුටින් ඉන්නවා.

දුව එක්ක ගතකරන ජීවිතේ කොහොමද?
මම පවුලේ එකම දරුවා. පොඩි කාලේ මම හැදුණේ තනියමයි. දැන් බබා ලොකු වෙද්දි මට හොඳ යාළුවෙක් ඉන්නවා වගෙයි මට දැනෙන්නේ. මට දැන් ෂොපින් යන්න වෙන යාළුවෝ ඕනෙ නැති තරම්. මට දැන් ෂොපින් යන්න එයා හිටියම ඇති. මට ගැලපෙන දේවල් තෝරලා දෙන්න දැන් එයාට හොඳට තේරෙනවා. ඒ නිසා කම්මැලිකමක් නැහැ. එයා දැන් හරි ෂෝක්.

දුව වැඩිපුරම ආස මොනවටද?
දුව සෙල්ලම් බඩු ගන්න හරි ආසයි. ගෙදර ඉන්න කැමතිම නැහැ. ඇවිදින්න යන්න එයා හරි ආසයි. එක එක ජාති කෑම කන්න එයා ආසයි. පුටුවකට වෙලා නිකම් වාඩි වෙලා ඉන්න එයා ආසම නැහැ. එයා නිදාගන්න හරිම අකමැතියි. හැමවෙලේම මොකක්හරි වැඩක් කර කර ඉන්න තමයි ආසා.

අභිෂේකා වගේම අභිෂේකාගේ මවත් රූපලාවන්‍ය කටයුතුවලට නැඹුරුයි. දුවගේ කැමැත්ත මොනවගේද?
අපි දැන් පදිංචි වෙලා ඉන්නේ කොළඹ. අපේ අම්මලා ඉන්නේ තලාහේනේ. දැන් දුවව නර්සරියෙන් ගන්නේ මමයි. සමහර දවස්වලට මම දුවවත් සැලෝන් එකට එක්කගෙන යනවා. මට වඩා හොඳට සැලෝන් එකට එන අය එක්ක කතා කරන්න දැන් දුව දක්ෂයි. ෆේෂල් එකක් කළත් ඒ පැක් එකේ තියෙන දේවල් පවා කියන්නේ මෙයා. ඇත්තටම දැන් දුවට ඒ හැමදේම හොඳට හුරුයි. මට වඩා හොඳට දවසක බිස්නස් එක එයා කරයි කියලනම් මම දන්නවා.

අභිෂේකත් උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරලද තියෙන්නේ?
නැහැ. මම ශාස්ත්‍රපති විභාගය සංගීත අංශයෙන් කළා. විශාරද විභාගය කළා. ආයුර්වේද විභාගයේ අවසන් විභාගයට පෙනී සිටින්නට ඉන්නවා. ඒ අතර මම සැලෝන් දෙකක් කොල්ලුපිටිය සහ නුගේගොඩ පවත්වාගෙන යනවා. අපි ජපානයෙත් අපේ ශාඛාවක් පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මේ දවස්වල මහන්සි වෙනවා.

වැඩත් එක්ක කාලය ගෙවෙද්දි මහන්සියක් දැනෙන්නේ නැහැ නේද?
ඇත්තටම නැහැ. මට මහන්සිය දැනෙන්නේ වැඩක් නැති වුණාමයි. පුටුවක් උඩට වාඩිවෙලා කිසිම දෙයක් නොකර ඉන්න හරි කම්මැලියි. Fb බලන එකවුණත් එක්තරා විදිහක වැඩක් තමයි. මම fb එක හරහා මගේ බිස්නස් එක ප්‍රචාරය කරපු කෙනෙක්. ඒක ඉතා සාර්ථක වුණා. සැලෝන් එකේ බොහෝ ප්‍රචාරයන් මම කරන්නේ මගේ fb එක හරහායි. හැම තිස්සෙම මෙයා ෆෝන් එක ඔබනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි එක තැන වාඩි වෙලා හිටියත් අපේ මනස ඒ මොහොතෙත් වැඩ කරනවා. නින්දට යද්දි හැමදාම ඒ දවසට මගෙන් මඟහැරුණු දේවල් තියෙනවද කියලා මම හිතලා ඒ මඟහැරුණු දේ අනිත් දවසට කරන්න වගබලාගන්නවා. වැඩ කරලා හිතේ සතුටින් නිදාගන්න යද්දි ඒ නින්ද හරි සැපයි.

 

► Text - Jayamali  /   Pic - Intarnet