2017 මාර්තු 18 වන සෙනසුරාදා

දහතුන් අවුරුද්දක් කසාද‍ෙ කල්ගියා

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

මොකක්ද මුතූ මේ නටන නැටිල්ල?
අම්මෝ, ඔහොම අහනකොට මට බයත් හිතෙනවා. ඔයා ඔය අහන්නේ හිරු මෙගා ස්ටාර් තරගයේ කරන නැටුම් ගැන නේද... අහපු විදිහට මට බයත් හිතුණා. ඔව්... මේ දවස්වල හිරු මෙගා ස්ටාර් එකේම තමයි පුරුදු පුහුණු වෙන්නේ.

නටනවා, සින්දුත් කියනවා, රඟපානවා එතකොට මේ අංශ තුනෙන් වැඩියෙන්ම කැමති මොකටද?
මම වැඩියෙන්ම කැමති සින්දු කියන්නයි. මම මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම සින්දු කියන්න ආසයි. මගේ අම්මයි, තාත්තයි දෙන්නටම මාර හොඳට සින්දු කියන්න පුළුවන්. තාත්තා වැඩ ඇරිලා ආවට පස්සේ සාලේ ඩෝල්කිය තියාගෙන අපි සින්දු කිව්වා. කොච්චර ආසාව තිබ්බත් රංගන පැත්තෙන් තමයි මුලින්ම කලාවට එකතු වුණේ. ගමේ බෑණ්ඩ් දෙක තුනක මම සින්දු කිව්වා. රංගනයට ආවට පස්සේ ඉතින් ටික ටික ඒ හැකියාවටත් අවස්ථාව ලැබුණා.

එතකොට මොකද්ද මේ අලුත් ආරංචිය... මුතුගේ විවාහය ගැන?
ඒක තමයි මටත් හිතාගන්න බැරි. මේ දවස් ටිකේම හැමෝම මගෙන් අහන ප්‍රශ්නයත් ඕකයි. මගේ සමහර යාළුවෝ පවා තරහා වෙලා මේ ගැන කිව්වේ නැහැ කියලා. බිනෝෂාන් වනසිංහ තමයි මගේ ඇඳුම් මෝස්තර නිර්මාණය කරන්නේ. එයා දවසක් කිව්වා නිශාන්තත් මොඩල් කරන නිසා අපි දෙන්නට Photo Shoot එකක් කරමු කියලා. ඒක තමයි ඔය ගත්තේ. ගොඩාක් මගේ යාළුවෝ පවා හිතලා නියෙන්නේ මායි නිශාන්තයි ඇත්තටම මැරි කරලා කියලා.

ඔය කිව්වට නිශාන්තගෙයි මුතුගෙයි ආදර සම්බන්ධයට දැන් බොහෝ කාලයක් ගතවෙනවා නේද?
ඔව්... දැන් මගෙයි නිශාන්තගේ ආදර කතාවට වසර දහතුනක් වෙනවා. එයාගේ නම නිශාන්ත ජයවර්ධන.

කොහොමද ඔය දෙන්නා මුණගැහුණේ. අවුරුදු දහතුනක අතීතය ටිකක් මතක් කරමුකෝ?
ඉස්සෙල්ලාම නිශාන්ත මගේ හොඳ රසිකයෙක්. මගේ විෂුවල්වලට එහෙම එයා ගොඩාක් ආසයි. එයා නිරෑපණ ශිල්පියෙක් විදිහට ඒ කාලේ කටයුතු කළා. ඉතින් එහෙම ගියාම මායි නිශාන්තයි මුණගැහුණා. මුලින්ම හොඳ දැන හඳුනාගැනීමක් එක්ක මායි නිශාන්තයි ආදරේ කරන්න පටන්ගත්තා. දැන් ඒකට වසර දහතුනක් වෙනවා. පොඩි නෑ නේද වයස.

ඔයා යන බොහෝ තැන්වල නිශාන්තත් එනවා. දැන් කලා ක්‍ෂේත්‍රයේ අයත් නිශාන්තගේ යාළුවෝ වෙලාද?
අනේ ඔව්... අම්ම තාත්තාට පස්සේ නිශාන්ත තමයි මාව ගොඩාක් පරිස්සම් කරන්නේ. මගේ අම්මට තාත්තට හැමවෙලේම අපේ පස්සෙන්ම එන්න බැහැනේ. ඉතින් නිශාන්ත ගොඩාක් වෙලාවට මාත් එක්ක මගේ වැඩවලට යන්න එනවා. එයා ව්‍යාපාරිකයෙක්.

අවුරුදු දහතුනකට පස්සේවත් දැන් විවාහ වෙන්න ඕනේ කියලා ඔය දෙන්නට හිතිලා නැද්ද? මොකද මේ විවාහය කල් දාන්නේ?
ඒකට පරක්කු වෙන්න හේතුත් තියෙනවා... ඇත්ත දකින අය ගොඩදෙනෙක් හිතනවා මෙච්චර කාලයක් යාළුවෙලා ඉන්නව ඇයි කසාද බඳින්නේ නැත්තේ කියලා. සමහරැ මගෙන්ම අහලා තියෙනවා. ඒකට එක එක ප්‍රශ්න කාලෙන් කාලෙට ඇතිවුණා. නිශාන්තගේ අම්මයි තාත්තයි හදිස්සියේ කාලවල් දෙකක නැතිවුණා. එයා කාලයක් ලංකාවේ හිටියේ නෑ. මම සැරෙන් සැරේ රට යනවා එනවා. ඉතින් ඔය දේවලුත් එක්ක අපේ විවාහය කල් ගියා. වෙඩින්එකක් ගන්න ප්ලෑන් කරගන්නවත් අපිට කාලයක් තිබුණේ නෑ. ප්ලෑන් කරලා හිටපු කාලවල්වල මොකක්හරි හේතු නිසා ඒක වෙනස් වුණා. ඒවගේ දේවල් නිසා අපේ වෙඩින්එක කල්ගියා.

හිතෙන්නේ නැද්ද මේ හොඳම කාලය කියලා?
ඔව්... සමහරවිට ඒකට හොඳම අවුරුද්ද වෙන්නත් ඇති මේ අවුරුද්ද. අපේ වෙඩින්එක මේ අවුරුද්දදේ වෙන්නත් පුළුවන්. තාම දින නෑ.

නිශාන්තට ආදරය කරන්න ඔහු ළඟ තිබුණ සුවිශේෂීකම මොකක්ද?
විශේෂම දේ තමයි මට මම අදරේ කරනවාටත් වඩා නිශාන්ත මට ආදරේ කරනවා. මගේ පළවෙනි සම්බන්ධය අවුරුදු හතක් තිබුණා. ඊට පස්සේ තමයි නිශාන්තව මුණගැහුණේ. ඒ නිශාන්තගේ ආදරයේදී කිසිම හිඩැසක් මට පෙනෙන්නේ නෑ.

මතකද නිශාන්ත මුලින්ම අරන් දීපු තෑග්ග?
ඔව්, අවුරැදු දහතුනකට කලින් මට මුද්දක් අරන් දුන්නා. හැබැයි අනේ ඒ ලස්සන මුද්ද මගේ අතින් නැතිවුණා. ඊට පස්සේ මොන තෑගි අරන් දුන්නත් තාමත් අර මුද්දට ලෝභ කරනවා.

එතකොට ඔයා නිශාන්තට අරන් දුන්නේ මුලින්ම මොකක්ද?
එයා රත්තරන් බඩුවලට කැමති නෑ. ඒ නිසා මම එයාට සිල්වර් මුද්දක් හදලා දුන්නා.

ඔය දෙන්නගේ විවාහයෙන් පස්සේ මොනවද තියෙන ප්ලෑන්?
එහෙම ප්ලෑන් අපි දෙන්නගේ ජීවිතේ මුලදී තිබුණේ නෑ. දැන් තමයි ඒ දේවල් ගැනත් අපි දෙන්නා හිතන්නේ. වෙඩින් එකෙන් පස්සෙ අපේම කියලා ගෙයක් හදලා දෙන්නම එකතුවෙලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. බොහෝ වෙලාවට අපි දෙන්නා මේ අවුරැද්දේ විවාහවේවි. හැබැයි එහෙම ලොකු වෙඩින් එකක් ගන්නෙනම් නෑ.

Text – Jayamali