2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ලොක්කෙක් වෙන්න නෙවෙයි වැඩක් කරන්නයි මට ඕනෑ

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:31 175

තුමිඳු මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල එහෙම විශේෂ කලා කටයුත්තකටනම් සහභාගී වුණේ නැහැ. පහුගිය කාලයේදී ලක්මාල් ධර්මරත්නගේ අලුත් චිත්‍රපටයකට සහභාගී වුණා. පවතින කාලගුණයත් එක්ක ඒ චිත්‍රපටයේ රූගතකිරීම් ටික කාලයකට නතර කර දමන්න අපිට සිද්ධ වුණා. ඉතින් මේ දවස්වල විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුත් එක්ක වගේම කළණි එක්ක අපේ පුතා එක්ක ගෙවන කාලය වැඩි වෙලා තියෙනවා. පහුගිය කාලෙදි අපි කිහිපදෙනකු එකතු වෙලා ඔස්ට්‍රේලියාවේ වේදිකා නාට්‍යයක් වේදිකාගත කළා. ඒකත් ඉතා සාර්ථක වේදික ගතකිරීමක් වුණා.

අපූර්ව එක්ක ගත කරන ජීවිතේ කොහොමද?
අපූර්ව එක්ක ගතකරන ජීවිතේ හරි සුන්දරයි. මේ දවස්වල මම වැඩිපුරම කාලය යොදවන්න වෙහෙසෙන්නේ කළණිටයි අපූර්වටයි. ඔස්ට්‍රේලියාවට ගිය ගමනේදිත් ඒ දෙන්නත් එක්කගෙන ගියා. අපූර්වගේ ජීවිතේ හරි අපූර්වට දැන් ගෙනියනවා. එයා දැන් දවසින් දවස ලොකු වේගෙන එන බව මට තේරෙනවා. දවසින් දවස එයා අලුත් වචනයක් දෙකක් කතා කරන්න උත්සාහ ගන්නවා. චූටියට තිබුණ ඇඳුම් සපත්තු ටිකින් ටික මදි වෙනවා කියලා දැනෙද්දි දැන් එයා චුට්ට චුට්ට ලොකු වෙලා කියලා දැනෙනවා. ඇත්තටම දැන් වැඩිපුර කාලය යොදවන්න උත්සාහ කරන්නේ අපූර්ව එක්ක දවස ගෙවන්නයි. රූගත කිරීමකට ගියත්, විශ්ව විද්‍යාලයට ගියත්, වෙනත් කුමන හෝ වැඩකට ගියත් මම ඉක්මනින්ම ගෙදර එන්නේ මේ දෙන්නාට කාලය යොදවන්නයි.

අපූර්වගේ ළමා කාලයත් එක්ක තුමිඳුගේ ළමා කාලය මතක් කළොත්?
තාම අපූර්ව පොඩියි. තාමත් එයා ගෙවන ළමා කාලයට සමාන මගේ ළමා කාලයක් ගැන මතකයක් නැහැ. හැබැයි අපූර්ව කියන්නේ හරිම හුරතල් දරුවෙක්. එයා ටිකින් ටික ලොකු වෙද්දි මට මතක මගේ ළමා කාලයට ආවට පස්සෙ අපි දෙන්නගේ ළමා කාලවල් ගැන මතකයට නංවා ගන්න මට පුළුවන් වේවි. ඇත්තටම මගේ ළමා කාලයත් හරිම සුන්දරයි. මම තවමත් ඒ සුන්දර ළමා කාලයට හරි ආදරෙයි. ඉතින් කවදාහරි දවසක සතුටුවෙන්න පුළුවන් ළමා කාලයක් මගේ දරුවටත් ලබලා දෙන්න මායි කළණියි උත්සාහ ගන්නවා.

තුමිඳුගේ ළමා කාලය ගෙවුණේ අනුරාධපුරයේ. එහෙම නේද?
ඔව්... මම මගේ ජීවිතේ ළමා කාලය කියලා කියන්නේ අනුරාධපුරයේ ගෙවුණු ඒ කාලයයි. මම ඉපදුණු දා සිට පහ වසර පන්තිය දක්වා ඉගෙනගත්තේ අනුරාධපුරයේ. ඇත්තටම ඒක හරිම සුන්දර ළමා කාලයක්. ඉස්සර අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නේ හවස් වෙලයි. ඉස්කෝලෙ පිට්ටනියේ ඇතිතරම් ක්‍රිකට් ගැහුවා. සමහර දවස්වල අපි ගෙදර එන්නත් කලින් අපේ පොත් බෑග් එක ගෙදරට යනවා. බොහෝ වෙලාවට අපි ඉස්කෝලෙ ගිහින් ගෙදර එද්දි අතරමඟ නතර වෙලා ඔය ගඟවල්වල නානවා. ඒවා වැඩිය ගැඹුරු  තැන්නම් නෙවෙයි. හැබැයි වැඩිපුර කාලය ගතකරන්නේ ඔය වගේ තැන්වල තමයි. ඉතින් අපේ පොත් බෑග් දකින ගමේ මනුස්සයෙක් නම ගහලා තියෙන පොත් බෑගය අරගෙන ගිහින් ගෙවල්වලට දෙනවා. බොහෝ වෙලාවට ඒ මිනිස්සු හිතන්නේ අපිට පොත් බෑගය අමතක වෙලා ගෙදර ගිහින් කියලයි. හැබැයි ඉතින් අපි යද්දිත් පොත් බෑගය ගෙදර ගිහින් ඉවරයි.

අනුරාධපුරයේ සිට තුමිඳු කොළඹට පැමිණෙන්නේ කොයි කාලෙදිද?
මගේ අම්මයි තාත්තයි ගුරුවරු. ඉතින් තාත්තා ගුරු උපදේශකවරයෙක් විදිහට කොළඹට පත්වීමක් ලැබුණා. ඒ හරහා තමයි අපි කොළඹට පදිංචියට ආවේ. ඊටපස්සේ අපි දිගටම පදිංචි වෙලා හිටියේ කොළඹ තමයි. හැබැයි පහ වසර පන්තිය වෙනකල් අනුරාධපුරයේ ගතකරපු කාලය ඇත්තටම තාමත් මට මතකයි. ඒ තමයි මගේ සුන්දර ළමා කාලය වුණේ.

වේදිකාව, පුංචි තිරය හා සිනමාව මේ මාධ්‍ය තුනෙන් තුමිඳු වඩාත්ම කැමති මොන මාධ්‍යයටද?
මෙහෙමයි. ඇත්තටම ඔය ක්ෂේත්‍ර තුනටම මම කැමතියි. හැබැයි වේදිකාවෙන් ලැබෙන සජීවි ප්‍රතිචාරවලින් මගේ හිත වැඩියෙන්ම නතර වෙන්නේ වේදිකාව මතයි. වේදිකා නාට්‍යයක් අපි වේදිකාගත කරන්නට පෙර මාස කිහිපයක්ම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. පුහුණුවීම් කරනවා. එහෙම කරලා ඒ වේදිකා නාට්‍ය වේදිකාගත කරද්දි ඒකට ලැබෙන හොඳ හෝ නරක ප්‍රතිචාර අපිට ලැබෙන්නෙත් සජීවීව තමයි. නමුත් සිනමාවේ හෝ පුංචි තිරය ඔස්සේ කරන චරිතවලට මේ විදිහට සජීවි ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ඒ ප්‍රතිචාර ලැබෙන්නේ ඒ සිනමාපටය හෝ ටෙලිනාට්‍ය තිරගත වීමත් සමඟයි. නමුත් බොහෝ වෙහෙස වී සජීවීව රඟපාන වේදිකා නාට්‍යයට මම ටිකක් වැඩිපුර කැමතියි.

තුමිඳු නිර්මාණ තෝරාබේරාගෙන කරනවා වගෙයි දැනෙන්නේ?
ඔව්. අනිවාර්යයෙන්ම. මම ආරාධනා ලැබුණු බොහෝ නිර්මාණ බාරගත්තේ නැහැ. ඒකට හේතුව වන්නේ මට ඕනේ මම කරන පොඩි චරිතය ඇතුළේ වුණත් මට යමක් කළ හැකි චරිතයක් වෙන්නයි. නිර්මාණයක ප්‍රධාන චරිතයම මට අවශ්‍ය වෙන්නේ නැහැ. නිර්මාණය පුරාවටම මගේ චරිතය එහා මෙහා යන්නම ඕන වෙන්නෙ නැහැ. නමුත් ඒ කරන පොඩි චරිතය ඔස්සේ යමක් දැනෙන දෙයක් කරන්න මට ඕන වෙනවා. ඒ වගේම මම වෘත්තියෙන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්. ඒ නිසා ඒ වැඩකටයුතුවලට බාධා නොවන පරිදි මම මගේ නිර්මාණ බාරගන්නවා.

කළණි අපූර්ව එක්ක ගෙවන ජීවිතේ?
හරිම සුන්දරයි. දවසින් දවස අපූර්වගේ හිනාව මගේත් කළණිගෙත් ජීවිතය අපූරු කරනවා.

 

► Text - Jayamali  /   Pic - Malaka