2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

සැන්ඩ්විච් රටත් ලෝකෙට ගිහින්

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

මොංගෝලියාව කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හිතන විදිහට ලෝක සිතියමට විතරක්ම සීමා වෙච්චි රටක්. කොටින්ම ටීවී එකේ විදෙස් පුවත් විකාශයකවත් මොංගෝලියාව ගැන කිසිම තොරතුරක් දකින්න ලැබෙන්නෙ නැහැ. හැබැයි චීනයයි රුසියාවයි අතරට සැන්ඩ්විච් වුණු මේ රට ලෝකය ඉදිරියට අරන් යන කණ්ඩායමක් ගැනයි අද අපේ කතාබහ. ඒ වෙන කවුරුවත් නෙමෙයි, HU නමැති මොංගෝලියානු රොක් සංගීත කණ්ඩායම.

2016 අවුරුද්දෙදි පටන් ගත්තු මේ රොක් සංගීත කණ්ඩායමේ විශේෂත්වය වෙන්නේ තමන්ගේ රටේ සම්ප්‍රදායත්, බටහිර රොක් සංගීතයත් හරි අපූරු විදිහට ගලපාගෙන තමන්ගේ සංගීත නිර්මාණ ඉදිරිපත් කිරීමයි.
මේ බෑන්ඩ් එකේ නිත්‍ය සාමාජිකයෝ හතරදෙනෙක් ඉන්නවා. එයාලා තමන්ගේ සංගීත ශෛලිය හඳුන්වන්නේ ‘හු රොක්’ කියලයි. මොංගෝලියානු බසින් ‘හු’ කියන්නේ මිනිසාටයි. ඉතින් මේ බෑන්ඩ් එකත් ගොඩක් වෙලාවට තමන්ගේ සංගීත නිර්මාණවලින් කතා කරන්නේ මිනිසා ගැනයි.

උදාහරණයකට 2018 වසරේදී එයාලා එළිදක්වපු ‘Yuve Yuve Yu’ කියන ගීතයෙන් කියවෙන්නේ ‘අතීතයේ නිදිවැදිලා ඉන්න වර්තමානයේ මිනිසුනේ ඇහැරියල්ලා’ කියන එකයි. මොංගෝලියාවේ මිනිස්සුත් (ලංකාවේ මිනිස්සු වගේම) වංසෙ කබල් ගානවා ඇරෙන්න අනාගතයට කිසි සූදානමක් නෑ කියන එකත් මේ සින්දුවේ කියවෙනවා. 

මෙයාලා තමන්ගේ සංගීතයට ෂෙලෝ එකක් විදිහට වාදනය කරන Morin Khurr කියන එයාලගේ සම්ප්‍රදායික සංගීත භාණ්ඩය භාවිතා කරනවා. ඒක මොංගෝලියාවේ ජාතික සංකේතයක් තරමට එයාලටම ආවේණික වුණු සංගීත භාණ්ඩයක්. ඒ වගේම මෙයාලගේ ගායන විලාසයත් හරි වෙනස්. උගුර ඇතුළෙන් එන අමුතු හඬකින් තමයි එයාලා ගීත ගායනා කරන්නේ.

ඔවුන්ගේ සාර්ථකත්වය හින්දම පහුගිය මැයි මාසයේදී මොංගෝලියානු ජනාධිපතිවරයාත් මේ සංගීත කණ්ඩායම මුණගැහුණා. මොංගෝලියාව තවදුරටත් ලෝකයේ හුදෙකලා රටක් නොවී ඉදිරියට ගෙන ඒමට මෙයාලගෙන් ලැබෙන දායකත්වය ගැන ජනාධිපතිවරයා එහිදී ප්‍රශංසා කළ බවත් ආරංචියි. 

මොංගෝලියාව ලෝකයට ගෙනියන්න මෙයාලට පුළුවන් වුණේ කොහොමද කිව්වොත්, 2019 අප්‍රේල් මාසයේදී එයාලගේ Wolf Totem ගීය, ලෝක බිල්බෝඩ් ගීත ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වුණා. ඒ මොංගෝලියානු ගීතයක් එවැනි ජනප්‍රියත්වයක් අත්කරගත් පළමු අවස්ථාවයි.

මේ විදිහට ලෝකය පුරා ජනතාවගේ හිත් දිනාගන්නට මෙයාලට පුළුවන් වුණත් එයාලා නිර්මාණ ඉදිරිපත් කරන්නේ තමන්ගේ මව්බසින්. ඒ කියන්නේ මොංගෝලියානු බසින්. ඉතින් සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා සමහරු කියන කතාව ඇත්තක්ම නේද කියලා මේ වගේ දේවල්වලින් ඔප්පු වෙනවා.

අන්තර්ජාලය ඇසුරෙන්

 

► Text - Suranga   /   Pic -  Internet