2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ආනෙ ඩිංගක් අහමුකෝ.... ඩී.සී. ලිව්වාට සී.ටී. ගැයුවාට කෑල්ලක් තව අහකලු.....

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:31 243
සිරිල් ටියුඩර් ප්‍රනාන්දු නොහොත් සී. ටී. ප්‍රනාන්දු මෙරට සිටි ජනප්‍රියම ගායන ශිල්පියෙකි. ඔහුගේ බොහෝ ගීත සඳහා තනු නිර්මාණය වූයේ ද ඔහු වෙතිනි. බටහිර ආරේ ගීත රැසක්  තිළිණ කළ ඔහුගේ ගායන දිවිය ආරම්භ වූයේ 1940 මැදභාගයේදීය. සිංහල ගීත කලාවට බයිලා නොවන බටහිර සංගීත සම්ප්‍රදායක් හඳුන්වා දුන් සී. ටී ප්‍රනාන්දු 1946දී ගුවන්විදුලි ගායකයකු ලෙස සිය සංගීත චාරිකාව ආරම්භ කළේය. මා බාල කාලේ, අම්බිලි මාමේ, සඳවට රන්තරු, පුන්සඳ හිනැහෙන්නේ, ලෝ අඩ නින්දේ, මී අඹ වනයේ, සීගිරි සුකුමාලියේ, දවස ගෙවී දැන් ටික ටික, බේරෙන පැණි බිඳු, මී වදයකි ජීවිතේ, කිමද සුමිහිරියේ, සුවඳ රෝස මල් නෙලා, බරබාගේ, මගෙ සුදු මාමේ, පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ, සරුංගලේ, රෑ පැල් රැකලා, බිළිඳා නැලැවේ උකුලේ සහ ආනේ ඩිංගක් ඉන්නකෝ වැනි ගීත රැසක් ගායනා කළේය. විදේශයක සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වූ මුල් ම ශ්‍රී ලාංකික ගායකයා වූයේ සී.ටී. ය. ඔහු 1969 ජූනි 24 වැනි දා ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්‌ඩල ශාලාවේ දී යුරෝපීයයන් වෙනුවෙන් සිංහල ගීත ප්‍රසංගයක් පැවැත්වීමට වාසනාවන්ත විය. සී. ටී අප අතරින් වෙන් වූයේ  1977 ඔක්තෝබර් 21 වැනිදාවකය.
 
මින් දෙවසරකට පමණ ඉහත කොළඹ නෙළුම් පොකුණේ විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්විණි. නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස්  සංගීත කණ්ඩායම මගින් පවත්වන ලද එම ප්‍රසංගයට ඇතුළත් වූයේ වූයේ අද අප අතර නොමැති මෙරට සිටි ජනප්‍රියතම ගායකයන් තිදෙනකු වූ සී. ටී. ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල සහ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගීත සමුච්චයකි. එහිදී සී. ටී.ගේ ගීත කිහිපයක් ගැයූ නලීන් පෙරේරා ඔහුගේ ආනේ ඩිංගක් ඉන්නකෝ - ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ යන ගීතයද ගායනා කළේය. එම ගීතය අඩක් ගැයූ ඔහු ගැයුම නවතා අපූරු කතාවක් හෙලි කළේය.
 
 මේ ගීතයේ ඔබ අසා ඇත්තේ වර්සස් දෙකක් පමණයි. එහෙත් මෙම ගීතයේ රචකයා වර්සස් තුනක් ලිව්වා. පසුගිය දිනෙක මට ඒ මහත්මයා හමු වුණා. ඔහු එදා සී. ටී. නොගැයූ කොටස මට දීල, ඔබේ ප්‍රසංගයේදී මේ කොටසත් එකතු කර ගීතය ගයන ලෙසට මගෙන් ඉල්ලා සිටියා. මා අද පළමුවරට එම නොගැයු පද පේලි කිහිපය ගායනා කරනවා යි කීවේය.
 
අනේ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල - යන්නෙ ඩිංගක් ඉන්නකෝ
පුංචි මාමගෙ කුඹුරෙදී - පැළත් ඉන්දන දවසෙදි
දනක් මඩයේ එරි එරී -එදා පැළ සිට වූ හැටි
තාම මතකයි ඊයෙ වගෙමයි - දෙතොල් අව්වේ සැලි සැලී
කුඹුක් ගහ යට බට කැලේ - නාන විටදී ඔබ දොළේ
හිසත් ජලයේ ගිලි ගිලී -දෙඅත් දියබුන් කෙලි කෙලී
දෑස නලවා සිනා සැලුවා - ළපටි මුහුණේ මල් පිපී.
 
මේ එදා සී. ටී ප්‍රනාන්දු ගයන ලද ගීතයයි. මෙම ගීතය ප්‍රථමයෙන් නිර්මාණය වූයේ ගුවන් විදුලි සරල ගී වැඩසටහනක් සඳහාය. ගීතයේ ඉතිරි කොටස පටිගත නොවූයේ ගීතය නියමිත කාලය ඉක්මවා ගිය බැවිනි. එහෙයින් සී. ටී. ප්‍රනාන්දුට ගීතයේ අවසන් පද පේලි හතර ඉවත් කිරීමට සිදු විය.
 
ඔහු නොගැයූ පද පේලි හතර වූයේ
එදා ඔන්චිල්ලේ නැඟී - ඉහළ යන විට පැදි පැදී
ගසේ බැඳි රුහැනක් ලිහී - යයිද සැකයෙන් ගැහි ගැහී
මදෙස බැලුවා කඳුළු සැලුවා -මුහුණ විලියෙන් රතුවෙවි. යනුවෙනි.
 
මෙම කොටස පළමු වරට එදා නෙළුම් පොකුණ රඟහලේදී ගැයුණේ මුල් ගීතය ප්‍රචාරය වී වසර 60 ගණනකට පසුය.
සී. ටී. ප්‍රනාන්දු ගායනා කළ අනේ ඩිංගක් ඉන්නකෝ* ගීතය රචනා වූයේ 1954 අගභාගයේදීය. එහි රචකයා ඩී. සී. ජයසිංහ මහතාය. අද ඔහු 87 හැවිරිදිය. කලක් කොළඹ ශාන්ත ජෝසෆ් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වූ ඔහු එම පාසලේ සිංහල සාහිත්‍ය ගුරුවරයාද විය. දරුවන්ගේ සාහිත්‍ය දැනුම වර්ධනය කරනු සඳහා ද, පාසලේ විවිධ උත්සව සඳහාද ඔහු ගීත රැසක් රචනා කළේය. මෙම ගීතයට පසුබිම් වූ පුවත දැනගනු සඳහා අපි ඩී. සී. ජයසිංහ මහතා සොයා ගියෙමු.
 
ආනේ ඩිංගක් ඉන්නකෝ ගීතයට දීර්ඝ අතීතයක් තියෙනවා. මෙය රචනා කරනකොට මගේ වයස අවුරුදු 22යි. මගේ පියා වතු පාලකවරයෙක්. ඔහු සේවය කළේ කුරැණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ විශාල වතුයායකයි. නිවාඩු කාලයට මම එම වත්තට යනවා. වත්තේ එක පසෙක විශාල කුඹුරු යායකුත් අනෙක් පසින් විශාල දොළ පාරකුත් තිබුණා. ගමේ ගැහැනු, පිරිමි, තරුණ තරුණියෝ වත්තේ වැඩට එනවා. දිනක් මා වතු බංගලාවේ ආලින්දයේ සිටින අවස්ථාවක මගේ පියා අසලට පැමිණි තරුණියන් පිරිසක් ඔහුට මොනවදෝ පවසා පිටව යන අයුරු මා දුටුවා. ඔවුන් ගියේ මා සිටි ස්ථානය අසලින්. එසේ යන විට මා ඔවුනට මෙහෙම කිව්වා.
ආනේ ඩිංගක් ඉන්නකෝ - පොඩ්ඩක් නවතින්නකෝ 
 
ඇයි ද කලබල අහක බලබල - යන්නෙ ඩිංගක් ඉන්නකෝ  කියලා..
මහත්තයා අද පුංචි මාමාගේ කුඹුරේ ගොයම් පැළ හිටවන දවස. අපි එහෙ වැඩට යනවා කියලා ඔවුන් මට පැවසුවා. මාත් ඔවුන් සමඟ කුඹුර පැත්තට ගිහින් බලා සිටියා. දණහිස තෙක් මඩේ එරීගෙන ගිනිගහන අව්වේ දෙතොල් වේලි සැලෙමින් ඔවුන් පැළ සිටුවන හැටි මට පෙනුණා.
 
වැඩ නිමාවී ඔවුන් දිය නෑමට ගියේ වත්තේ අනිත් පැත්තේ තිබුණු දොළ පාර ළඟටයි. එතැන විශාල කුඹුක් ගසක් යට ඔවුන් දිය නෑවා. ඒ අසළ විශාල උණපඳුරක් තිබුණා. ඒවා සුළඟට සැලෙන විට සර සර හඬක් නික්මුණා. දියේ බැසගත් තරුණියෝ දියබුන් ගහමින් විනෝද වුණා. එම දර්ශනයත් මගේ සිතේ ඇඳුණා. මේ කතාව එතනින් අවසන් වුණේ නැහැ. සවස් යාමයේ මේ යුවතියෝ වත්තේ විශාල ගසක බැඳ තිබුණු ඔන්චිල්ලාව පදින්න ආවා. මාත් එදෙස බලා සිටියා.  වේගයෙන් පැද්දෙන කොට ‘ලනුව ලිහෙයි, කැඩිලා වැටෙයි‘ කියමින් ඇතැමෙක් කෑ ගැසුවා. බයෙන් ගැහුණු එකියකගේ මුහුණ රතු වී අඬනු මට පෙනුණා. මේ සියල්ල මගේ අතින් ගීතයකට ගොනු වුණා. මේක ඉතාම කෙටි වේලාවකින් ලියවුණු ගීතයක්.
 
එවක රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ගුවන්විදුලි පිහිටා තිබුණේ බොරුල්ලේ කොටා පාරේ පැරණි නිවෙසකය. ඒ ශ්‍රේණියේ ගායකයන් සඳහා සෑම මසකම පැය බාගයක සරල ගී වැඩ සටහනක් ලැබිණි. මේ වැඩසටහන සඳහා ඔවුන් අලුත් ගීත නිර්මාණය කළ යුතුවිය. පැය බාගයක් තුළ ගීත හයක් ගායනා කිරීමට සිදු වූ අතර එක ගීයක් සඳහා වෙන්වූයේ විනාඩි තුනක කාලයකි.  ආනෙ ඩිංගක් ඉන්නකෝ ගීතයේ සියලු පද පේලි ගැයුණා නම් එය විනාඩි 3 ඉක්මයන්නේය. එහෙයින් මුල් පද පේලි දෙක පමණක් ගායනා කිරීමට සී. ටී. ප්‍රනාන්දුට සිදු විය. අවසන් පද පේලි ගීතයෙන් හැලී ගීයේ ඒ අයුරිනි.
 
සාන්ත ජෝසෆ් විදුහලේ කිසියම් උත්සවකට පැමිණි අවස්ථාවක සී ටී.ට ඩී. සී. හමුවිය. එම උත්සවය සඳහා පිළිගැනීමේ ගීතය රචනා කර තිබුණේ ඩී. සී. ය. එම ගීතයේ පද රචනාවේ වූ සුබාවිත ලක්ෂණ හඳුනාගත් සී. ටී. තමා වෙනුවෙන් ගීතයක් රචනා කර දෙන ලෙස ඩී. සී. ගෙන් ඉල්ලීය. තමා විසින් කලකට පෙර රචනා කර තිබූ ආනේ ඩිංගක් ඉන්නකෝ ගීතය ඔහු සී. ටී.ට දුන්නේය.
 
සී. ටී. සහ ඩී. සී. පසුව සමීප මිතුරන් බවට පත් වූහ. ඩී. සී ජයසිංහ මහතා සී. ටී. ප්‍රනාන්දු වෙනුවෙන් දෙව් පුතුන්ගේ මිහිරි ගීතයේ,  හිරුද අවර ගිලිලා එතෙර මුහුදේ, &රන් තැටියේ කිරි කැටියේ හා පැටියෝ ආනේ ඩිංගක් ඉන්නකෝ වැනි ගීත විශාල ප්‍රමාණයක් රචනා කළේය. ඔහු සී. ටී.ට හැර වෙනත් කිසිදු ගායකයකු වෙනුවෙන් ගීත රචනා කර නොමැත.  
ඇයි ඔබ සී. ටී.ප්‍රනාන්දුට හැර වෙනත් කිසිවකුට ගීත රචනා නොකළේ* යැයි මම ඇසුවෙමි.
මගේ හිත ගිය එකම ගායකයා සී. ටී. නිවැරදිව වචන උච්ඡාරණය කරපු සංගීතයට හඬ යටපත් වන්න නොදී පැහැදිලිව ගීත ගායනා කරපු ඔහු විශිෂ්ඨ ගායකයෙක්. ඒ නිසා මම ඔහුට පමණයි ගීත රචනා කළේ.* යනුවෙන් පැවසීය.
ආනේ ඩිංගක් ඉන්නකෝ ගීතයට දැන් වසර 65කි. එම ගීතය එදා මෙන්ම අදටද එකසේ ජනප්‍රියය. 2014 වසරේ එම ගීතයේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් අයිටීඑන් නාලිකාව සී. ටී වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් පැවැත්වීය. එහිදී වසරේ හොඳම ගීත අතුරින් එක් ගීතයක් ලෙස නම් කෙරුණේ ද අනේ ඩිංගක් ඉන්නකෝ ගීතයයි.
 
 
► Text - Priyanjan  Pic –  Sumudu