2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

බලු පූස් රහස

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 119

මේ කතාව නම් දර්ශනය තලයක ඇසුණු හාස්‍යජනක කතාවක්. මේකත් සැලුන් එකක් ගැන පරණ කතාවක්ලු. වෙන තැන්වල රුපියල් 200ට විතර කොණ්ඩේ කපද්දි, මේ සැලුන් එකේ කොණ්ඩෙ කපන්නෙ රු. 50ටලු. ඒ නිසාම නිතරම සෙනඟ පිරිලා. පෝලිම්වල ඉඳලා තමයි කොණ්ඩේ කපන්න වෙන්නේ. 

ඔය වගේ පෝලිමේ ඉන්න වෙලාවක එක මනුස්සයෙක් දැකලා තියෙනවා. සැලුන් එක ඇතුළෙ හොඳ පෘෂ්ටිමත් බලු පැටව් දෙන්නෙක්, පූස් පැටව් දෙතුන් දෙනෙක් සැරිසරනවා.
ඉතින් මේ මනුස්සයා සැලූන් අයිතිකරුගෙන් ඇහුවලු මේ බලු පැටව්, පූස් පැටව් සැලූන් එක ඇතුළෙ ඉන්න හේතුව.

මේකනේ මහත්තයෝ අපි ඉතින් අඩුවටනේ කොණ්ඩෙ කපන්නේ
ඔව් ඉතින්, මේ බලු පැටවු එන්නේ ඒ නිසාද?

එහෙම නෙවෙයි මහත්තයෝ. අපි අඩුවට කපන නිසා කට්ටිය වැඩියෙන් එනවා. එතකොට අපිටත් වෙනවනේ ඉක්මනින් වේගෙන් කපන්න. එහෙම හදිස්සියෙන් කපනකොට ඉතින් සමහර වෙලාවට ඔය පොඩි කන් කෑල්ලක් එහෙම කැපෙන්න ඉඩ තියෙනවනේ. ඔන්න ඕවා කන්න බලාගෙන තමයි මුං ටික මේක ඇතුළට වෙලා ඉන්නේ.

මේකප් එපා කීවේ අමුතු කතාවක් නිසාලු

කලා නිර්මාණවලට දායක වෙලා වැඩ කරන ශිල්පීන් ශිල්පිනියන් හැමෝම ඉතින් මේකප් දානවනේ. අපි කියන්නේ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන.
අපේ එක්තරා ශිල්පියෙක් ඉන්නවා. මේකප් දාන්න වාඩිවෙනකොටම කියන්නේ අනේ මල්ලි මාව අඳුරගන්න පුළුවන් විදිහට මේකප් දාන්න කියලා.

එහෙම කියද්දි කවුරුත් හිනා වෙනවා මිසක්, එහෙම අහන්න හේතුව අහන්නෙ නැහැ.

ඔන්න දවසක් මේකප් ආටිස්ට් කෙනෙක් එයාගෙන් අහලා මොකද නිතරම එහෙම කියන්නෙ කියලා. 
මල්ලි ඒකට හේතුව තමයි මං අහලා තියෙන කතාවක්. තරුණ ගෑනු කෙනෙක් හෘද්‍යාබාධයක් හැදිලි ඉස්පිරිතාලෙට ගිහින් ගොඩක් අමාරු වෙලා. එලොව ගිහින් මෙලොව ඇවිත් තියෙන්නේ. මිනිත්තු ගාණක් හෘද ස්පන්දනය වැඩ කරලත් නෑ. ඔන්න ඔය වෙලාවේ මේ තරුණියට දෙවියන් මුණගැහිලා. කෙල්ල එකපාරටම අහලා අනේ දෙවියනේ මම මැරෙයිද කියලා. දෙවියො කියලා පිස්සුද ඔයා තව අවුරුදු 40ක් ජීවත් වෙනවා කියලා. ඔන්න සනීප වෙලා ගෙදර ආවට පස්සේ මෙයා පළාතෙ තියෙන හොඳම සැලෝන් එකට ගිහින් ෆේෂල් කරගෙන, මේකප් දාගත්තලු. සැලෝන් එකෙන් එළියට ආපු ගමන් වෑන් එකකට හැප්පිලා තරුණිය මැරිලා. ඔන්න දැන් දෙවියො මුණගැසුණම මෙයා නොසෑහෙන්න දෙවියන්ට දොස් කිව්වලු බොරු කියලා එයාව රුවැට්ටුවට.
තව අවුරුදු 40ක් ජීවත් වෙනවා කියලා කිව්වට මට දවස් 40ක්වත් ජීවත් වෙන්න දුන්නෙ නැහැනේ* කෙල්ල කිව්වලු.

දෙයියො ඒකට ලස්සන උත්තරයක් දීලා.
ඔයා තව අවුරුදු 40ක් ජීවත් වෙන කතාව බොරු නෙවෙයි. හැබැයි ඉතින් ඔයා ගිහින් කරගත්තු මේකප් එකෙන් පස්සෙ මටවත් බැරි වුණානෙ ඔයාව අඳුරගන්න. ඒකයි ඔයාට මැරෙන්න සිද්ධ වුණේ.

මේ දෑස් මක්කටැයි?

ලංකාව පුරා සිනමාහල් තිබුණට ඒ සිනමාහල්වල සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කළාට, සමහර පැතිවල ඒ චිත්‍රපටවල නම් සම්බන්ධව ගැටලු පවතින බව ප්‍රවීණ සිනමාකරැවකු ළඟදි දවසක පැවසුවා.

අපේ පරණ ජනප්‍රිය චිත්‍රපටයක් තිබුණනෙ මේ දෑස් කුමටද? කියලා. ඔන්න ඒ චිත්‍රපටය බොහෝ පැතිවල හොඳින් තිරගත වෙලා තිබුණත් සමහර පළාත්වල සෙනඟ ඇවිත් නැහැල්ලු. ඔන්න ඔය කියන පළාත්වල විතරක් චිත්‍රපටයේ නම වෙනස් කරලා දැම්මලු මේ දෑස් මක්කටැයි බලන්න ගියාලු.

 

► Text - Mithra