2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

රවී කරන්නේ බොරුවක් කියලා හිතපු නිසා මම එයාට බෑ කීවා....

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:31 321

ජීවිතේ අපූරු මතක ගොන්නක් එකතු වුණු තැනක් තමයි ළමා කාලය කියන්නෙ. ඔබේ ළමා කාලය ගෙවුණේ කොහොමද..? අපි එතනින්ම මේ කතාබහ පටන් ගනිමු...?
ඕනෙම කෙනෙක්ගෙ ජීවිතේ සුන්දරම කාලය වෙන්නෙ තමන්ගෙ ළමා කාලයයි. මගේ ළමා කාලයත් හරිම සුන්දරයි. ඒ කාලෙ මම ලොකුවට පොතපතට නැඹුරුවක් තිබුණෙ නැහැ. වැඩියෙන්ම කාලය ගත කළේ සෙල්ලමෙන්ම තමයි. අපි ලොකු සල්ලිකාර පවුලකින් පැවත එන පවුලක් නෙමෙයි. නමුත් පවුල ඇතුළෙ අපි හරිම සුන්දර ජීවිතයකුයි ගත කළේ. මගේ ළමා කාලය ගෙවුණේ රත්මලානෙ. ඒ කාලේ අපිව බලාගන්න ආච්චි කෙනෙක් හිටියා. අපේ පවුලේ අයගෙන් මාව ඒ ආච්චි එයාගෙ දුවෙක් වගේ හරිම ආදරයෙන් බලාගත්තා. පසු කාලෙදී මගේ අතින් ලියවුණු පුංචියි ආච්චියි කතාවට තේමාව වුණෙත් මගේ ළමා කාලයේ අපේ ගෙදර හිටපු ආච්චිත් එක්ක මම ගත කරපු ජීවිතයයි.

ඒ කාලේ ඔබ දඟයිද..?
එහෙම දඟක් තිබු‍ණෙ නැහැ. හැබැයි හැම තිස්සෙම මගේ ළමා කාලය ගෙවුණෙ සෙල්ලමෙන්ම තමයි. අද කාලේ දරුවන්ට සෙල්ලම් කරන කාලය හරිම අඩුයි. ඒ කාලේ අපි චක්ගුඩු පැන්නා. ගස් මාරැ කළා. ටින් එකපිට එක තියලා බෝලයකින් ගහලා දිව්වා. ගුඩු ගැහුවා. මම වැඩිපුරම සෙල්ලම් කළේ මගේ අයියලත් එක්කයි. මට තාම මතකයි එක දවසක් ටින් කඩන සෙල්ලම කරද්දී ගහපු බෝලය ඇවිත් මගේ කනේ වැදිලා කන පැලිලා ලේත් ආවා. එදානම් අනිත් අය හොඳටම බය වුණා. හැබැයි ලේ පෙරෙන කනත් අල්ලගෙන මාත් ගිහින් හැංගුණා. අයියලා ගස් නගිද්දී මාත් ගස් නැග්ගා. ඒ කාලේ දඟකාරකමටත් වඩා හරිම සෙල්ලක්කාර කාලයකුයි මම ගත කළේ.

පුංචි කාලේ කවුරු වෙන්නද ආස කළේ..?
ඒක හීනයක්ම කියන්නත් බැහැ. මම හුඟක් සංවේදී කෙනෙක්. පුංචි දේටත් ඇඬුවා. කවුරුහරි ගෙදර ආවත් හරි ලැජ්ජයි. කා එක්කවත් කතා කරන්න යන්නෙ නැහැ. එක දවසක් මට මම පොතක් ලියන්න ඕනෙ කියලා හිතුණා. අනේ මන්දා.. ඒක මට කොහොම හිතුණද කියලා? අඩුම ගානෙ ඒ ලියපු දේ එළියට දෙන්නවත්, මම පොතක් ලියනවා කියලා කාටවත්ම කියලා තිබුණෙ නැහැ. හැබැයි ඒ කාලෙ අතට අහුවෙන දෙයක් කියවනවා මිසක් අම්මලාවත් අපිට පොතක් ගෙනත් දීලා ලොකු උනන්දුවක් ඇති කළේ නැහැ. අම්මලාට තිබුණු ලොකුම බලාපොරොත්තුව වුණේ කන්න බොන්න දීලා අපිව හොඳට හදාගන්න එක විතරයි. මට මතකයි ඒ කාලේ අපේ අම්මා දවසෙම ඉන්නෙ කුස්සියෙ. අපේ ගෙදරට හැමවෙලේම සෙනඟ ආවා. ඒ නිසා අපිට හොඳට කන්න බොන්න දෙන එක තමයි අම්මගෙ ලොකුම ඕනකම වුණේ.

අධ්‍යාපනය ලැබුවෙ මොන පාසලෙන්ද..?
මම ඉගෙනගත්තෙ රත්මලාන ධර්මාරාම විද්‍යාලයෙන්. පාසලේදීත් මම හරිම ලැජ්ජාශීලී චරිතයක්. දුව පනින්න ගිහිල්ලවත්, කාත් එක්කවත් රණ්ඩුවෙලාවත් නැහැ. ඉස්කෝලෙදී කාත් එක්කවත් කතා කරන්න පවා මම හරි ලැජ්ජයි. හැබැයි ගෙදර පරිසරය තුළදී ඒ චරිතය හාත්පසින්ම වෙනස්. පාසලේදී දඟ චරිතයක් නොවුණාට මට ඉගෙන ගැනීමේ හැකියාව තිබුණා. අයියලා අක්කලා කියවන පොත් හැමදෙයක්ම අතට අහුවුණාම මාත් කියෙව්වා.

පාසලෙන් සමුගන්න පෙරම කලාවට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබුණා නේද..?
ඔව්.. අපේ ගෙදර හැමෝම කලාවට හරි ආසයි. ඉස්සර අපේ ගෙදර නිළිය වුණේ මමයි. ගෙදර කට්ටිය එකතුවෙලා ඒ කාලේ පෙන්වන හැම චිත්‍රපටයක්ම බලන්න ගියා. කට්ටිය ෆිල්ම් එක බලද්දී ආ.. නංගි ගෙදර ගිහින් ඔයා මේ චරිතය කරලා පෙන්නන්න ඕනෙ කියලා අක්කලා මට කියනවා. ඉතින් ගෙදර ඇවිල්ලා හැමෝටම පේන්න මම ඒ චරිතට රඟපාලා පෙන්නනවා. චිත්‍රපටයේ නිළිය රඟපාන විදිහටම මමත් රඟපාන නිසා ගෙදර අයත් හරිම ආසාවෙන් ඒක බලනවා. විශේෂයෙන් චිත්‍රපටවලට මගේ ආසාව තිබුණා. මම සාමාන්‍ය පෙළ විභාගය කරලා ගෙදර ඉන්න කාලෙදී මගේ අම්මගේ නංගිගේ පුතා වෙන ලක්ෂ්මන් විජේසේකර දවසක් අපේ ගෙදර ආවා. කොහොමත් ඒ හැමෝම මම රඟපාන්න දක්ෂයි කියලා දැනගෙන හිටියා. මෙයාට ඇක්ට් කරන්න පුළුවන්. ඒ නිසා මෙයා මොකකට හරි දාන්නම්කො කියලා අපේ අම්මත් කියලා තිබුණා.

එයාගෙ උදව්වෙන් ප්‍රීතිට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහෙම නේද..?
ඔව්.. එයා නරි බෑනා වේදිකා නාට්‍යයේ රඟපාන්න මාව එක්කගෙන ගියා. එදා දයානන්ද ගුණවර්ධන මහත්මයා ඒකට මාව සුදුසුයි කියලා හිතුවට මේක පටන් ගන්න තව ටිකක් කල් යනවා කියලා කිව්වා. එතන චන්ද්‍රා කළුආරච්චිත් හිටියා. ඒක කරනකම් අපිට පුරුදු වෙන්න නාට්‍යයක් තියෙනවා. ඒකට එන්න කියලා එයා මාව සයිලාසනය වේදිකා නාට්‍යයට එක්කගෙන ගියා.

ප්‍රීති කාලයක ඉඳන්ම චිත්‍රපට බලනවනෙ. ඔය කාලෙදීත් නළුවෙක් විදිහට රවීන්ද්‍රට කැමැත්තක් තිබුණද..?
ඔය කාලෙදී රවීව දෑස නිසා චිත්‍රපටයේ තාපසයාගේ චරිතයට තෝරාගෙන තිබුණා. මට තාම මතකයි.. එක්තරා පුවත්පතකින් රවී ගැන ලොකු විස්තරයක් පළ කරලා තිබුණා. ඒ ලිපිම හරිම ආසාවෙන් කියෙව්වාම මට අනේ මේ කෙනාව දවසක මට දකින්න තියෙනවානම් කොච්චර හොඳද? කියලා හිතුණා. ඇත්තටම එයාව දකින්න මට ලොකු ආසාවක් ඇතිවුණා. ඒ ආසාව හිතේ තිබුණට මම ඒක කාටවත්ම කිව්වෙ නැහැ. මම සයිලාසනය කරද්දී එතන හිටපු කෙනෙක් සුමිත්‍රා පීරිස්ට මම ගැන කියලා තිබුණා. ඒ කාලෙදී සුමිත්‍රා පීරිස් ගැහැනු ළමයි ෆිල්ම් එකට ගැහැනු ළමයෙක් සොයමිනුයි ඉඳලා තියෙන්නෙ.

ඒ කියන්නෙ සයිලාසනය කරන අතරතුර ප්‍රීති සුමිත්‍රාගේ ගැහැනු ළමයි චිත්‍රපටයටත් සම්බන්ධ වුණා..?
දවසක් සුමිත්‍රා පීරිස් ඇවිත් මුණගැහෙන්න කියලා මට පණිවිඩයක් එවලා තිබුණා. මාත් සයිලාසනය කරන කාලෙදීම සුමිත්‍රා පීරිස්ගෙ ගෙදර ගියා. ඒ යද්දී තිස්ස අබේසේකර මහත්මයත් ඒ ගෙදරට ඇවිත් හිටියා. මාව ඈත තියාම දැකපු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අන්න සුමිත්‍රා ඔයාගෙ තේරීම. මීට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙන්නෙ නැහැ කියලා තිබුණා. ඇත්තටම ඒකත් මම දැනගත්තෙ පසුකාලීනවයි. කොණ්ඩ දෙකක් ගොතලා කොණ්ඩෙ මැදින් බෙදලා හරිම ලැජ්ජාශීලීව එයාලව මුණගැහෙන්න ගිය ඒ ගමනෙදී එයාලා මාව තෝරාගෙන තිබුණා. ඒ වෙද්දී ඒ චරිතයට එයාලා ගැහැනු ළමයි හතළිහක් විතර බලලා තිබුණා. හැබැයි ගැහැනු ළමයි පටන්ගන්නත් කල් ගත වුණා. මෙහෙම කල් ගතවෙන නිසාම ඔයාට ට්‍රේනින් වෙන්නත් එක්ක අපි වෙන චිත්‍රපටයක පොඩි චරිතයක් දැනට දෙනවා. ඒ චරිතය රඟපාන්න. ඊටපස්සෙ අපි ගැහැනු ළමයි පටන්ගත්තම ඒක කරමු කියලා මට දෑස නිසා චිත්‍රපටයේ පොඩි කොටසක් රඟපාන්න අවස්ථාව දුන්නා.

ඒ පොඩි කොටස රඟපාද්දී බලන්න ආසාවෙන් හිටපු රවීන්ද්‍රගේ මුහුණ දැකගන්න ප්‍රීතිට පුළුවන් වුණාද..?
ඔව්.. මාත් හරිම ආසාවෙන් ඒ පොඩි කොටස බාරගත්තා. ඒ වෙද්දී තිස්ස අබේසේකරගේ කෙටි චිත්‍රපටයකත් මම රඟපෑවා. ඒක දැකපු ධර්මසිරි පතිරාජත් එයාගේ කෙටි චිත්‍රපටයකට මාව සම්බන්ධ කර ගත්තා. දෑස නිසා චිත්‍රපටය රූගත කිරීම් කළේ ගල්ගමුවෙ. ඒ කාලේ අපේ කොටස රඟපාලා ඉවර වුණත් එන්න බැහැ. ඔක්කොම එකම වාහනයක දාලා තමයි ගෙවල්වලට එවන්නෙ. ෂූටින් ඉවර වුණත් අනිත් අය ඉවර වෙනකම් ඉන්න ඕනෙ. මම අම්මත් එක්කයි ෂූටින්වලට ගියෙ. මගේ ෂූටින් දවස් තුනයි තිබුණෙ. හැබැයි මාත් සුමානයක් විතර ගල්ගමුවෙ හිටියා. කොළඹට එන්න දවස් දෙකක් තිබිලත් රවී ගල්ගමුවට ෂූටින්වලට ආවෙ නැහැ. දැන් මට හරිම දුකයි. ඉතින් දවසක් මම ශ්‍රියානි අක්කගෙන් අනේ.. අර අලුත් නළුවා එන එකක් නැද්ද..? කියලා ඇහුවා. ඇයි මොකද? කියලා ශ්‍රියානි අක්කත් හිනාවෙලා ඇහුවා. අනේ.. මම හරි ආසාවෙන් හිටියෙ එයාව බලන්න කියලා මම කිව්වා. මට තාම මතකයි මට ඒ කාලෙ දිග කොණ්ඩයක් තිබුණා. මම එදා නාලා තෙත කොණ්ඩයත් එක්ක ඇඳේ ඇලවෙලා ඉඳිද්දී එළියෙන් අන්න ඔයාව බලන්න එක්කෙනෙක් බලාගෙන ඉන්නවා. මම කිව්වා ඔයා එන්නෙ නැහැ කියලා කියනවා මට ඇහුණා. ඒ කතාවෙන් මම ආවේ කවුද කියලා දැනගත්තා. ඒ වෙලාවෙම කාමරයට එබුණු රවී අත්දෙක උළුවස්සෙ දෙපැත්තට තියලා මේ මාව දකින්න ආසයි කිව්වට එළියට එන්නෙ නැහැනෙ කියලා කිව්වා. ඇත්තටම ඒ වෙලාවේ මට හරියට ලැජ්ජ හිතුණා.

ඒ පළමු මුණගැසීම ආදරයක් වුණේ කොහොමද..?
එදා මම ලැජ්ජාවටම කාමරෙන් එළියටවත් ආවෙ නැහැ. රෑ කෑම වෙලාවෙදී මේක ඇතුළෙ රිංගගෙන ඉන්නෙ නැතිව කන්න එන්න කියලා දෙන්නම ඇවිත් කිව්වා. ඉතින් මාත් ලැජ්ජාවෙන් එළියට ආවා. එතකොට මගේ වයස අවුරුදු දහඅටක් විතර ඇති. එදා කතා නොකළට මම ඊට පහුවැනිදා රවී එක්ක හොඳට කතාබහ කළා. ෆිල්ම් එකේ ඊළඟ දවස් දෙක ඉවරවෙලා මම ගෙදර ආවා. ගෙදර ඇවිත් සුමාන දෙකකට විතර පස්සෙ ෂූටින් ඉවරවෙලා රවී අපේ ගෙදර ආවා. එදා මට හිතාගන්නත් බැරි වුණා. එතනින් පස්සෙ අපේ ආදර කතාව පටන් ගත්තා.

මේ ආදර සම්බන්ධයට ගෙවල්වලින් අකමැත්තක් තිබුණෙ නැද්ද..?
ගෙවල්වලින් අකමැති වුණේ නැහැ. හැබැයි මම මුලදී අකමැති වුණා. අපි බොහොම සාමාන්‍ය පවුල්වල අයයි. රවීගේ පවුලේ විස්තර මම දැනගෙන හිටියා. ඒ නිසා රවී මගෙන් යාළුවෙන්න අහන්නෙ බොරුවට කියලයි මට හිතුණෙ. ඒ නිසා මම මුලදී කැමති වුණේ නැහැ. දවසක් මම තාත්තගෙන් ඇහුවොත් මම කැමති වෙනවා කියලා රවීට කිව්වා. ඇත්තටම මම හිතුවේ නැහැ රවී තාත්තගෙන් අහවි කියලා. අපේ ගෙදර රවී නිතර නිතර එද්දී වටපිටාවේ හිටපු අයත් එක එක දේවල් කිව්වා. හැබැයි රවී දවසක් අපේ තාත්තා මුණගැහිලා මම ගැන අහලා තිබුණා. ඉතින්.. අන්තිමේදී අවුරුදු විස්සෙදී මම රවී එක්ක විවාහ වුණා.

රංගනයට හොඳ අවස්ථා ලැබුණු ඔබට විවාහයත් එක්ක ඒ හැම අවස්ථාවක්ම මඟහැරුණා නේද..?
ඔව්.. විවාහවෙලා ටික කාලයක් ගියාට පස්සෙ මට ලොකු පුතා ලැබුණා. බබා ලැබෙන්න හිටපු මුල් කාලෙදීමයි ගැහැනු ළමයි චිත්‍රපටය පටන් ගත්තෙ. සුමිත්‍රා පීරිස් මගෙන් මුලින්ම ඇහුවා මම අලුතින් එක්කෙනෙක් හොයන්නද? ප්‍රීති එනවද..? කියලා. ඒ වෙද්දී මගේ කුස ඉදිරියට නෙරා ඇවිත් තිබුණෙ නැහැ. හැබැයි ඒ අවස්ථාව මම බාරගත්තෙ නැහැ. ඊටපස්සෙ මම රංගන ජීවිතයට ආයුබෝවන් කිව්වා.

පුංචි කාලේ දැකපු හීනය වුණු පොත් ලිවීම පටන් ගත්තෙ කොයි කාලෙදීද..?
පොත් ලිවීම මගේ ආසාව හින්දම පටන් ගත්තෙ නැහැ. මට කරන්න දෙයක් නැති නිසා පොත් ලියන්න පටන් ගත්තා. ගෙදර දඟල දඟලා හිටපු මම කසාද බැන්දා. දරුවෙක් ලැබෙන්න හිටියා. රවී ගෙදර නැහැ. ඒ නිසා ඒ පාළුව මට ඉවසගෙන ඉන්න බැරි වුණා. මේ කාලෙ වෙනකොට මට අවුරැදු විස්සයි. ඒ පාළුව මට තදින්ම දැනුණා. ඒ නිසා හිතට දැනෙන දේ කවි විදිහට ලිව්වා. ඒ කවි එකතුව කාංසියට ලියවුණු කවි නමින් පොතක් කළා. මේ වනවිට ළමා පොත් තිස් පහක් හතළිහක් විතර ලියලා තියෙනවා.

දැන් ඔබ ලොකු දරුවො ඉන්න ආදරණීය අම්මා කෙනෙක්..?
ඔව්.. අපිට පුතාලා දෙන්නයි දුවයි. පුතාලා දෙන්නම දැන් විවාහකයි. දැන් තමයි මම විවේකයෙන් නිදහසේ කාලය ගෙවන්නෙ.

වසර ගණනාවකට පස්සෙ ආයෙත් ප්‍රීති රඟපාන්න පටන් අරගෙන..?
ඔව්.. බොහෝ කාලයක් ගෙවිලා ඉවරයි. පුතාලයි දුවයි දැන් ලොකුයි. ඒ නිසා මට රඟපාන්න ආස හිතුණා. රවීත් කැමති වුණා. ඒ නිසාමයි සුනිල් ආරියරත්න මහත්මයාගේ විජයබා කොල්ලයට සම්බන්ධ වුණේ. අදටත් මම රඟපාන්න ආසයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඉදිරියෙදීත් මම රඟපාවි. දුහුළු මලක් චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු හතළිස් පහකට පස්සෙයි මම විජයබා කොල්ලයේ රඟපෑවෙ.

ඔබ අතින් අපූරු ගීත කිහිපයක්ම ලියවුණා..?
කවි ලියද්දී හොඳ කවි ලියවෙනකොට ඒවා දැකපු සමහරුන් ඒවා අගය කළා. ඒවා නිර්මාණ වුණා. පසුගිය කාලෙදී මම ඉන්දියාවට ගියා. අපි බොහෝ තැන්වල ඇවිද්දා. ඒ තැන්වලදී මම දැකපු දේවල් මට ලියන්න ඕනෙ වුණා.

 

► Text - Dishani  /   Pic -Sumudu