2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

මම කැමති සැර පරුෂ පිරිමියෙකුට

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:31 257

සුභානි අපිට මුලින්ම කියන්න මාක්ව ඔයාට මුලින්ම මුණගැහුණේ කොහේදිද?
මාක්ව මුණගැහෙන්නෙ මගේ කලා ජීවිතයත් එක්කමයි. මට මතක හැටියට මීට අවුරුදු දහයකට විතර උඩදී තමයි අපි දෙන්නා මුණගැහුණේ. ඒ වෙද්දී මාක් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ වැඩ කළා. ඒ නිසා අපි පිටරට ටුවර් එකකට ගියා. ඒ ටුවර් එකේදි මියුසික් කළේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමයි. ඒ ගිය ගමනේදී එහේදි මාක් මාත් එක්ක සාමාන්‍ය විදිහට කතාබහ කරලා හිටියා. හැබැයි අපි ආයෙත් ලංකාවට එන ගමනේදී ෆ්ලයිට් එකේදි අපි දෙන්නා වාඩි වුණේ ළඟම ආසනවලයි. ඉතින් එක ළඟ ඉඳිද්දි අපි බොහෝ දේවල් කතාබහ කළා. සමහරවිට එයා කලින් ඉඳන්ම මම ගැන හිතාගෙන ඉන්න ඇති. හැබැයි ෆ්ලයිට් එකේදි මාක් එකපාරටම මට ඔයා ගැන අදහසක් තියෙනවා. ඔයා මොකද හිතන්නේ? කියලා මගෙන් ඇහුවා.

ඇත්තට එකපාරටම එහෙම යෝජනාවක් ගෙනාවම සුභානිට මොකද හිතුණේ?
ඇත්තටම මට හිතාගන්නත් බැරිවුණා. මම මුලදී හිතුවේ ඒක විහිළුවක් කියලයි. මම ඒ වගේ යෝජනාවක් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නෑ. මාක් මොනවගේ කෙනෙක්ද කියලා මම දැනගෙන හිටියෙත් නෑ. ඒ නිසා මට මුලදි හිතාගන්නත් බැරි වුණා. හැබැයි මාක් මට කිව්වෙ මේක විහිළුවට ගෙනාපු යෝජනාවක් නෙවෙයි. මාව විශ්වාස කරන්න කියලයි. ඒ නිසා එයාට එකපාරටම අකමැති වෙන්න තරම් හේතුවක් මට තිබුණෙ නැහැ. ඒ නිසා අපි බලමු කියලා තමයි මම කිව්වේ.

ඒ කියන්නේ සුභානිගේ හිතෙත් මාක් ගැන පොඩි ආදරයක්, කැමැත්තක් තිබුණා?
මෙහෙමයි.. අපි කිහිප දවසක්ම ඩුබායි රටේ හිටියනේ. ඒ ඉන්න දවස්වල මාත් එක්ක මාක් කිහිප වතාවක්ම කතාකරලා තිබුණා. ඒ කතා කරද්දි මේ හොඳ කෙනෙක් කියලා මට හිතුණා. හැබැයි ඒ මුලදි දැනුණ දේ ආදරයක් කියලනම් මම හිතන්නෙ නෑ. ඒක ආදර යෝජනාවක් වේවි කියලා මම හිතුවෙ නෑ. ඉතින්... මාක් යෝජනාව ගෙනාවට පස්සෙ එකපාරටම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න නම් මගේ හිත ඉඩ දුන්නේ නැහැ. (ඒ කියන්නේ සුභානිගේ හිතෙත් පුංචි හරි ආදර කැමැත්තක් මාක් ගැන තිබුණා)

මාක් යෝජනාව ගෙනාවට පස්සේ සුභානි මාක් ගැන හොයලා බැලුවද?
මාක් ගැන හොයන්න මම හැබැයි කාටවත් බාරදුන්නෙ නම් නැහැ. මාක් එක්ක මම ටික කාලයක් ආශ්‍රය කළානේ. ඒ කාලෙදි මාක්ව මගේ වැඩවලට එක්කගෙන ගියා. මාක් එක්ක ආශ්‍රය කරද්දි ඇත්තටම එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා මම තේරැම්ගත්තා. මට එයාගේ පවුලේ තරාතිරමවත්, සල්ලිභාගය ගැනවත් හොයන්න අවශ්‍ය වුණේ නැහැ. මම බලාපොරොත්තු වුණේ හොඳ මනුස්සයෙක්ව. ඇත්තටම ඒ මනුස්සයාව මට ලැබුණා.

ඇත්තටම මාක්ට ආදරය කරන්න, එයාව විවාහ කරගන්න ඔහු ළඟ තිබුණු ගතිගුණ මොනවද?
මම බලාපොරොත්තු වුණේ මම කවදහරි විවාහ වෙන කෙනා ටිකක් සැරපරුෂ කෙනෙක් වීමයි. ඒ වගේම මාව හොඳට තේරුම් ගන්න කෙන්ක් වීම. ඉතින් මම මාක්ව ආශ්‍රය කරද්දි එයා ඇත්තටම හොඳ කෙනෙක් කියලා මම තේරුම් ගත්තා. මගේ ගම තංගල්ලේ. මාක්ගෙ ගම නුවරඑළියේ. හැබැයි මම ඒ වෙද්දිත් පදිංචි වෙලා හිටියේ කොළඹ. මාක් හිටියෙත් කොළඹ. එයාගේ සංගීත වැඩ කටයුතුවලට පහසු නිසා එයා කොළඹ නතරවෙලා හිටියා. මම ඒ කාලේ බලාපොරොත්තු වුණේ මට වඩා ටිකක් සැරපරුෂ කෙනෙක්ව විවාහ කරගන්නයි. මම ගොඩක් වැඩ කරගත්තෙ තනියමයි. මම තනියම වාහනය එලවගෙන හැමදේම තනියම කරගෙන හිටපු කෙනෙක්. ඒ නිසා මට ආදරයක් එක්ක මගේ හැමදේම බලාකියාගෙන හොඳ රැකවරණයක් දෙන්න පුළුවන් සැමියෙක්ව තමයි මම බලාපොරොත්තු වුණේ. ඇත්තටම මාක්ව ආශ්‍රය කරන කාලෙදි ඒ මම බලාපොරොත්තු වුණ ආදරය, රැකවරණය මම දැක්කා. ඒ නිසා තමයි මමත් එයාට ආදරය කරන්න පටන්ගත්තේ.

මේ සම්බන්ධය ගැන ගෙදරට කියද්දි ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
ඒ වෙනකොට අපේ අම්මලත් මට සුදුසු කෙනෙක් සොයමිනුයි හිටියේ. ඉතින් මම මාක් ගැන කියද්දි අම්මා ඔයාට ගැලපෙනවනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි කේන්දර එහෙම ගැලපෙන්නත් ඕන කියලා. මාක් කතෝලික කෙනෙක්. ඇත්තම කිව්වොත් මාක්ට ඒ වෙද්දි කේන්දරයක් තිබුණෙ නෑ. ඊටපස්සේ අපි එයා ඉපදුණු හොස්පිටල් එකෙන් ලැබුණු උපන් වෙලාව අරගෙන ඒකට කේන්දරයක් හැදුවා. හැබැයි කේන්දර බලන්න කලින්ම මම මාක්ට කියලා තිබුණා අපි පොඩි ළමයි නෙමෙයිනේ, ඉස්කෝලෙ යන කාලේ බොළඳ ආදරය වගේ නෙවෙයි. අපි මේ අලුත් ජීවිතේට මුහුණ දෙන්නයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපි හරිම දේ තීරණය කරන්න ඕනේ කියලා. කේන්දර හොඳටම ගැලපෙන්නෙ නැතුව නොගැලපීම් තිබුණොත් අමාරැවෙන් වුණත් මම ඔයාගෙන් අයින් වෙනවා කියලා මාක්ට කියලයි තිබුණේ. ඊටපස්සේ අපි ඒ කේන්දර දෙක බැලුවා. අපේම වෙලාවට ඒ කේන්දර දෙකේ ගැටලුවක් තිබුණෙ නැහැ. ඉතින් ඊට පස්සේ අපි විවාහ වුණා.

විවාහ වුණේ කොයි කාලෙදිද?
අපි විවාහ වුණේ 2011 අවුරුද්දේ අප්‍රේල් විසිහත්වැනිදා. කොහොමටත් මම ටිකක් වෙනස් චරිතයක්. මම මේ ක්ෂේත්‍රයට ආවේ 2000 අවුරුද්දේ. එතන ඉඳන් මම සල්ලි හම්බ කළා. ගෙවල් දොරවල් ගත්තා. ඒ නිසා මම අනවශ්‍ය වියදම් කරන කෙනෙක් නෙවෙයි. රටට ලෝකෙට පේන්න ණයකාරයෝ වෙලා ලොකුවට වෙඩින් අරගෙන ටික කාලයක් යද්දි අර ණයවල් ගෙවාගන්න බැරි වුණාම ඒකත් ලොකු ප්‍රශ්නයක්නේ. ඒ නිසා චාමෙට අපි අවශ්‍ය කටයුතු ටික කරමු කියලා මම මාක්ට කිව්වා. මාක් ඒකට කැමති වුණා. අපි නෑදෑ කිහිපදෙනෙක්ට කියලා බොහෝම සාමාන්‍ය විවාහයක් සිදුකළා.

සුභානිට මුලින්ම මාක් දීපු තෑග්ග මතකද?
ඔව්... ඇත්තම කිව්වොත් මම ටිකක් රත්තරන් බඩුවලට කැමතියි. ඒක මාක් දැනගෙන හිටියා. ඉතින් මාක් මට මුලින්ම රත්තරන් වලල්ලක් දුන්නා. ඒක අදටත් මම ළඟ තියෙනවා.

මාක්ට සුභානි මුලින්ම දීපු තෑග්ග මොකද්ද?
මාක් හරි ආසයි ඇඳුම් පැළඳුම්වලට. ඉතින් ඒ නිසා මම එයාට එයා කැමති විදිහේ ටී ෂර්ට් කිහිපයක් අරගෙන දුන්නා.

ඇත්ත කියන්න දෙන්නගෙන් වැඩියෙන්ම කේන්ති යන්නෙ කාටද?
අම්මෝ එයාට තමයි කේන්ති යන්නේ. මටත් පොඩ්ඩක් කේන්ති යනවා. හැබැයි එයා මම හිතුවටත් වඩා ටිකක් සැරයි. එයාට කේන්ති ගියාම වචනයයි දෙකයි එයා කියන්නේ. පොඩ්ඩක් සද්දෙන් කොහාටහරි සද්දයක් දානවා. එයා පුටුවක වාඩි වෙලා හිටියොත් ටිකක් හයියෙන් පුටුව එයාට කරලා යනවා. ඉතින් එතකොට එයාට කේන්ති ගිහින් කියලා මම දැනගන්නවා. අපේ ගෙදර කෑකෝ ගහගෙන අපි රණ්ඩු වෙලා නෑ. මට තරහා ගියාම මගේ මුහුණ ටිකක් වෙනස් වෙනවා. ඒක මාක් දන්නවා. මම රණ්ඩු වෙලා ගහමරාගන්න කැමති නැහැ. රණ්ඩු වෙලා ගෙවන ජීවිත ඇත්තටම වැඩක් නෑ.

සුභානි බුද්ධාගමේ. මාක් කතෝලික. ආගම් දෙකට දෙන්නගේ තියෙන ලැදිකම කොහොමද?
මම කොහොමත් ආගම දහමට ගොඩක් නැඹුරු කෙනෙක්. එයා කතෝලික වුණාට එයා වැඩිපුරම ගෙවලා තියෙන්නේ බෞද්ධ පරිසරයකයි. ඒ නිසා එයත් බෞද්ධ ආගමට නැඹුරු වෙලා තියෙනවා. මම විවාහ වුණාට පස්සේ කවදාවත් එයාට පල්ලි යන්න එපා කියලා නැහැ. හැබැයි එයත් බෞද්ධ දහමේ වැඩවලට මට උදවු කරන්න පටන්ගත්තා. එයා මාත් එක්ක පන්සල් යන්න එනවා. අපි බුදුපිළිම පූජා කළා. දාන පිංකම් කළා. නිතරම පන්සල් ගියා. එයා ජය ශ්‍රී මහ බෝධිය වඳින්න යන්න හරි ආසයි. ටික කාලයක් ඉඳලා අපි ජය ශ්‍රී මහ බෝධිය වඳින්න යමු කියලා මාවත් එක්කගෙන යනවා.

දෙන්නා එකතු වෙලා අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
එයා දැන් සංගීත කණ්ඩායමේ නැහැ. මගේ වැඩවලට ලේසි නිසාම එයා ඒවායින් අයින් වුණා. එයා බටහිර සංගීතය කරන කෙනෙක්. බොහෝ කාලයක් රටින් පිට ජීවත් වුණ කෙනෙක්. පිටරට හෝටල් කිහිපයක එයා බෑන්ඩ්වල සෙල්ලම් කළා. ඉතින් දැන් එයා ලංකාවෙත් සංගීත කටයුතුවල නිරත වෙනවා. ටෙලිනාට්‍ය කිහිපයක සංගීත අධ්‍යක්ෂණය කළා. ඉදිරියේදී මගේ අලුත් ගීතයක් නිර්මාණය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

දැන් සුභානි චූටි දියණියකගේ අම්මා කෙනෙක්?
ඔව්. අපිට අවුරුදු දෙකහමාරක චූටි දුවෙක් ඉන්නවා. එයා සාරා. දැන් හරිම සතුටින් අපි තුන්දෙනා ජීවතේ විඳිනවා.
ඔන්න ඔහොම තමයි සුභානි මාක්ගෙයි එයාගෙයි ආදර කතාව අපිට කිව්වේ. මේ ආදර කතාවේ අඩුවැඩියට පොඩ්ඩක් එකතු කරන්න ඕන නිසාම අපි මාක් එක්කත් පොඩ්ඩක් කතා කළා.

මාක් ගුවන් යානයේදී එකපාරටම සුභානිට ආදර යෝජනාවක් ගෙනාවේ ඇයි?
අපි ඒ ගමනේදී ඩුබායිවල දවස් කිහිපයක් හිටියා. සුභානි වැඩිය කතාබහක් නොකර තමන්ගේ පාඩුවේ හිටියා. ඒ ගමන පුරාවටම මම ඒක දැක්කා. ඒ ගමනට තවත් කලාකාරියන් කිහිපදෙනෙක් ඇවිත් හිටියා. හැබැයි ඒ අය අතරින් මට සුභානි සුවිශේෂී වුණා. සුභානි අනිත් අය එක්කත් කතාබහ කරලා විහිළුවෙන් ඒ ගමන ගියා. නමුත් අනවශ්‍ය විදිහේ හැසිරීම් ඒ ගමනේදී සුභානිගෙන් මම දැක්කෙ නෑ. ඒ හොඳ ගතිගුණයට මගේ හිත ගියා. මම මේ යෝජනාව ගේන්න කලින් සුභානි එක්ක කතාබහ කරලා අපි ආශ්‍රය කළා. ඒ කතාබහේදී සුභානි කිසිම දේකට හිස උදුම්මවාගෙන කතා කළේ නැහැ. එයා පොළොවේ පය ගහලා ඉන්න බොහෝම සරල චරිතයක් වුණා. ඒ තමයි මම දැකපු හොඳ ගතිගුණ. ඒ හැර එයා ගායිකාවක් කියලා විතරයි මම දැනගෙන හිටියේ.

මේ ගමනට පෙර සුභානි ගැන පොඩ්ඩක් හරි අදහසක් මාක්ගේ හිතේ තිබුණෙ නැද්ද?
නැහැ. මම ඒ බෑන්ඩ් එකේ ඉන්න කාලෙදි සුභානි කිහිප වතාවක්ම සින්දු කියලා තියෙනවා. ඒ වෙලාවෙදි අපිට ලොකු කතාබහකට යන්න ලැබෙන්නෙ නැහැනේ. සුභානියි මමයි එකට ගියපු විදෙස් සංචාරය තමයි මේ ගමන. හැබැයි ඉතින් ඒ ගමනෙන්ම මගේ හිත සුභානි ළඟ නතර වුණා.

බිරිඳක් සහ මවක් විහිදට සුභානි දරණ වගකීම් ගැන අද මාක්ට හිතෙන්නේ කොහොමද?
ඇත්තටම සුභානි කියන්නේ ඉතාම හොඳ බිරිඳක්. එයාව දැකපු පළවෙනි දවසේ මගේ හිතේ මවාගත්ත ප්‍රතිරෑපයට වඩා දහස් ගුණයකින් එයා සැබෑ බිරිඳක්. අම්මා කෙනෙක් විදිහට ගත්තොත් එයා දරුවට විතරක් නෙවේ මටත් එයා අම්මා කෙ‍නෙක්. එයා අපි දෙන්නටම ආදරණීය මවක්.

සුභානි එක්ක දරුවා එක්ක මේ ගතකරන ජීවිතේ ගැන මාක්ට අද මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ ජීවිතේ වැඩිහරියක් ගෙවුණේ බෑන්ඩ් එකත් එක්ක. ඒ වගේම පිටරටවල බෑන්ඩ් එක්ක තමයි මම වැඩිපුර ගතකළේ. 2017 අවුරුද්දේ අවසන් වතාවට රට ගිහින් ඇවිත් මගේ රැකියාව එහේ තියෙද්දිත් මම දරුවා නිසා ලංකාවේ නතර වුණා. ලොකු වැටුපකට මම ඒ රටේ බෑන්ඩ් එකක සේවය කරද්දිත් මම ඒකට ගියෙ නෑ. මුදලට වඩා මට මගේ දරුවා වටිනවා. ඉතින් චූටි දුවගේ හුරතල් වයසේ එයත් එක්ක, සුභානිත් එක්ක ගෙවන මේ ජීවිතයට මම හරි ආදරෙයි.

 

► Text - Dishani  Pic –  Internet