2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

එහෙමනම් මෙහෙම කරනවද?

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

මේකත් ඉතින් දර්ශන තලයකදී ප්‍රවීණයෙක් කියපු පරණ කතාවක්. 

අද වගේම ඒ කාලෙත් මිනිස්සු එක එක දේවල්වලට උද්ඝෝෂණය කරලා තියෙනවනෙ. එක්තරා උද්ඝෝෂණයක් දුරදිග ගිහින් අවසානයේදී ඒ මිනිස්සු පොලීසියේ නිලධාරීන්ට ගල්මුල්වලින් පහර එල්ල කරලා තියෙනවා.
ඔය දිහා බලන් හිටිය විදේශිකයෙක් උද්ඝෝෂණයට සම්බන්ධ වුණු කෙනෙකුගෙන් ඇහුවලු ඇයි ඕගොල්ලො ගල්මුල්වලින් ප්‍රහාර එල්ල කරන්නෙ? අපේ රටේනම් මේ වගේ වෙලාවකදී අපි දමලා ගහන්නෙ බිත්තරවලින්, තක්කාලිවලින්, පළතුරුවලින්. කියලා.

පිස්සුද සර්... අපිට ඔය කියන දේවල් ඔච්චර තියෙනවනම් අපි මෙහෙම උද්ඝෝෂණය කරනවද?

 

කෝපි කඩේ සීන් එක

පිට පළාත්වල ෂූටින් ගියාම අපේ රංගන ශිල්පීන්ට වගේම කාර්මික ශිල්පීන්ට අපූරු අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා.

ඔය වගේ ශිල්පියෙකු මීට කාලෙකට කලින් මුහුණ දීපු අත්දැකීමක් තමයි මේ.

අනුරාධපුරේ ඉඳලා කොළඹ එන ගමන් පොඩි කෝපි කඩයක් ළඟ වාහනේ නවත්තලා කට්ටිය කෝපි බොන්න ගියාලු.
වැඩිය ඉඩකඩ නැති ඒ කඩේ වැඩ කළෙත් එකම වේටර් කෙනෙක්ලු. හැබැයි පොර කඩිසරව වැඩ.

කඩිසරකම වැඩි වෙලාද කොහෙද, එකපාරටම එයාගෙ අතින් කෝපි කෝප්පයක් අපේ ශිල්පියෙකුගේ කලිසමේ හැලිලා. 
ශිල්පියාට හොඳට කේන්ති ගිහින් මේ ගැන කැෂියර් කූඩුවේ හිටිය මුදලාලිට පැමිණිලි කළාලු.
මුදලාලිත් කෑගැහුවලු වේටර්ට.

කෝ මේ එනවා... මේ වගේද වැඩ කරන්නෙ හරක් වගේ. ඔන්න ඔය මහත්තයට තව කෝපි එකක් හදලා දෙනවා.

 

විහිළු එපා

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙකුගේ ජංගම දුරකතනයට කෝල් එකක් ආවලු. කතා කළේ නව පරපුරේ ගී පද රචිකාවියක්.

ඔබතුමාගෙ දැඩි රසිකාවියක් මම. මට කොහොමද ඔබතුමා හමුවෙන්න වෙලාවක් ගන්න පුළුවන් වෙන්නෙ? ඇය ඉතාම ගෞරවපූර්ව ලෙස කීවලු.
අනේ මේ.. මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි හරිද? කියලා ඔහු කෝල් එක විසන්ධි කරලා.

ගී පද රචිකාවියට මුකුත්ම හිතාගන්න බැරි වුණාලු.
පැය දෙක තුනක් ගියාට පස්සෙ ඇය ආයෙත් අර සංගීත අධ්‍යක්ෂකට කතා කළා.
සමාවෙන්න මම ඔබතුමාට කරදරයක් කළානම්..
මම වැඩක බං... මම කෝල් එකක් ගන්නම්.

පැයකින් විතර ඇයට සංගීත අධ්‍යක්ෂකගෙන් කෝල් එකක් ආවා.
සමාවෙන්න සර්.. මම අහවලා. අර සින්දුව ලිව්වෙ..
අනේ සොරි මට වැරදුණානෙ. මම හිතුවෙ අර නිතරම කටහඬ වෙනස් කරලා අපිව බයිට් කරන්න හදන පීරිස් විශාරද සංගීතවේදී කියලා.

 

► Text - Mithra