2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ඇත්තටම මළමිනියක් කතා කරනවා

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

Art එකේ කැරට්ටුව..

හඬ: සජිත අනුත්තර

සමහර අවස්ථාවන්හිදී මම ඉතාමත් සතුටින් යනුවෙන් යළි පැවසීමේ අයිතිය පවා නොලැබේ යැයි සිතෙන තරමට කිසිවකු වේදනා විඳින්නටද ඉඩ තිබේ... ඇලෙක්සැන්ඩර් ඩූමා කළු දල මලේ සමාප්තිය සටහන් කළා ඒ විදියට... මම මාත් එක්කම කතා කරන්න පටන් ගත්තා... ජීවිතයේ හැමදෙයකම කෙළවරක් තියෙනවා. ඒත් කිසිම දෙයක අවසානයක් නැහැ.... අත්හරින ජීවිතේ අල්ලාගනු පිණිසත් අතහැරෙන ජීවිතේ සොයායනු පිණිසත් මිනිසා මානව සම්භවයේ සිටම කළ අරගල උදෙසා සාක්ෂි සොයමින් සැරිසරන මනසට සජිත එන්නත් කළේ ප්‍රබල එන්නතක්.... සජිත අනුත්තර මට ප්‍රිය චරිතයක් වෙන්නේ ඒ කියැවීම තුළ.... මේ ඒ කියවීමෙන් එක අංශු මාත්‍රයක් විතරමය....

ඔක්කොටම  කලින්.. සජිතගේ ජීවිතයේ මේ දවස්වල මොකද වෙන්නෙ කියලා එයාගෙන්ම අහලා දැනගෙන ඉමු නේද?
මෙහෙමයි.. පහුගිය දවස්වල මම මුල්තැන දීලා තිබුණේ මගේ ඉගෙනීමේ කටයුතුවලට... ගිය අවුරුද්දේ මම නාට්‍ය හා රංගකලාව විශේෂවේදී උපාධිය සම්පූර්ණ කළා... ඒ උපාධිය කරන කාලේ අවුරුදු හතරක් කැම්පස් එකේ ඉන්නකොට.. සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණේ බොහෝම අඩුවෙන්... පුංචි කාලේ සිනමාවට සම්බන්ධ වුණාට පස්සේ අපේ රටේ ප්‍රේක්ෂකයෝ මාව සිනමාවෙන් දැක්කෙ නෑ. නමුත් මම ටෙලිනාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. මම ආසම කරන මාධ්‍යය වන සිනමාව මට මඟඇරුණා. මගේ උපාධියෙන් පස්සේ හොඳ නිර්මාණ තුනකට සම්බන්ධවෙන්න මට අවස්ථාව ලැබුණා.. එකක් ප්‍රසන්න විතානගේ ගේ ගාඩි කියන සිනමා නිර්මාණය... මගේ අප්පච්චි වන ජැක්සන් ඇන්තනි නිර්මාණය කළා එක ගෙයි සොකරි කියලා සිනමා කෘතියක්. ඒකෙත් මම විශේෂ චරිතයක් කළා... මම අන්තිමටම සම්බන්ධ වුණේ චන්න දේශප්‍රියගේ නිර්මාණයට. ඒ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය දෙකම එයාම තමයි කළේ. ඒ චිත්‍රපටයේ නම ඇගේ නම රතී. ඒ චිත්‍රපටයේ අනිල් කියලා චරිතයක් තමයි මම කළේ... මේ චරිත තුනම එකිනෙකට වෙනස් අපූරු චරිත තුනක්. මේ නිර්මාණ තුන තුළින්ම ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට මාව දැකගන්න ලැබෙයි.. 
ඒ තමයි සජිත අනුත්තරගේ වැඩසටහන...

සජිත... කියමුකො බලන්න රසවින්ද මතක හිටි නිර්මාණයක් ගැන විස්තර ටිකක්... ඒ නිර්මාණය සජිත අනුත්තරගේ ජීවිතේට උත්තේජනයක් කරපු  ප්‍රියතම එකක් නම් මරු...
හරි එහෙම එකක් තියෙනවා... මම මෙහෙම පටන් ගන්නම්කො....

මම ජීවිතේ අගය කරන... ආදරය කරන කලා මාධ්‍ය ගොඩක් තියෙනවා... සිනමාව, නර්තනය, ගීතය, කවිය... මේ හැම එකකටම මම ගොඩක් ආසයි. මේ හැම කලා මාධ්‍යයකම වෙන වෙනම මම ආස, මට දැනිච්ච නිර්මාණ තියෙනවා.. විශේෂයෙන්ම මම කැමතිම මාධ්‍යය වන සිනමාව ගැන කතා කරනකොට මට පුංචි කාලේ ඉඳන් හිත වැදුණු නිර්මාණ ගොඩක් තියෙනවා... ඒ අතරින් මට මෑතකදී ඇස ගැටුණා අපූරු නිර්මාණයක්. ඒක මට මෑතකදී මුණගැහුණට ඒක ඇවිල්ලා දැනට අවුරුදු දෙකක් විතර වෙනවා. මේ චිත්‍රපටයේ නම තමයි සුවිස් ආමි මෑන් (SWISS ARMY MAN) මේ චිත්‍රපටය නම හැදිලා තියෙන්නෙ ස්විස් ආමි නයිෆ් කියලා සුප්‍රකට පිහියක් තියෙනවා... ඒ පිහියෙ ඇතුළේ මාලිමාවක් තියෙනවා, බෝතල් අරින උපකරණයක් තියෙනවා, පොඩි ලණුවක් තියෙනවා.. ඒ පිහියෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන්... ඒ අදහසින් තමයි මේ චිත්‍රපටය සුවිස් ආමි මෑන් කියලා යොදලා තියෙන්නෙ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ඩැනියල් ෂයිනර්ට් සහ ඩැනියල් ක්වාන් කියන අධ්‍යක්ෂවරුන් දෙදෙනා. මේ චිත්‍රපටය යථාර්ථවාදී තලයට ගන්න පුළුවන් යථාර්ථවාදී චිත්‍රපටයක් නෙමේ. ඇත්තමට මේක ප්‍රබන්ධයක්. යථාර්ථයෙන් ඔබ්බට ගිය ෆැන්ටසියක් කිව්වොත් තමා හරි... හැබැයි සමහරක් ජීවිතේ දේවල් තියෙනවා ෆැන්ටසිවලින් තමයි අපේ ජීවිතේ සමහර දේවල් ඉගෙනගන්න පුළුවන් වෙන්නෙ. මොකද හැමදාම අපි කරන්නෙ උදේ නැගිටලා, වැඩකටයුතු ටික කරලා බත් කාලා නිදාගන්නව වගේ ඒකාකාරී ජීවන රටාවකට කොටුවෙච්ච අයනේ.. මේ ඒකකාරී රාමුවෙන් මිදිලා ජීවිතේ ගැන දෙයක් හිතන්න නම්.... ජීවිතේ අත්දකින්න බැරිදෙයක් අපිට සිනමාවෙන් පෙන්නන් පුළුවන් ෆැන්ටසියක් තුළින්... එතකොට අපි ජීවත්වන රාමු ගැන විශාල අවබෝධයක් ලබාගන්න පුළුවන් කියලයි මගේ අදහස.. ඒ ජීවිත අවබෝධය මට මේ සිනමා කෘතියෙන් ලැබුණා.

මේ සිනමා කෘතිය දිවෙන්නෙ හෑන්ස් කියන තරුණයෙක් වටා... පෝල් ඩැනෝ කියන සුප්‍රසිද්ධ නළුවා තමයි හෑන්ස් කියන චරිතයට පණ පොවන්නෙ.. හෑන්ස් කියන තරුණයා මොකක් හරි විදියට අපි දන්නෙ නෑ... මොකක්ද විදිය කියලා දූපතේ හිරවෙලා ඉන්නවා..  මුහුද මැද්දෙ කොහෙටද පීනන්නෙ, කොහොමද ගෙදර යන්නෙ කියලා හිතාගන්න බැරුව එයා විශාල කාලයක් මේ දූපතට කොටුවෙලා ඉන්න ඇති... මේ චිත්‍රපටය පටන්ගන්නෙම මේ දූපතට පාවෙලා එන අපද්‍රව්‍යවලින් මෙයා පුංචි බෝට්ටු හදලා, නැව් හදලා ආයිත්  මුහුද මැද්දට පා කරලා යවනවා... මේ අපද්‍රව්‍යවලින් හදන බෝට්ටුවල, නැව්වල ලියලා තියෙන්නෙ එයාව බේරගන්න, උදව් කරන්න කියලා... කිසි කෙනෙක් මෙයාගේ උදව්වට එන්නෙ නෑ... එයාගේ ස්වරූපය දැක්කාම තේරෙනවා සෑහෙන කාලයක් මෙයා මේ දූපතේ අමාරැවෙන් ජීවත් වෙච්ච බව... එයාගේ රුවුල ගොඩක් වැවිලා, දුර්වර්ණ වෙච්ච මුහුණක් එයාට තිබුණේ. මෙයා උත්සාහ කරනවා මෙයාගෙම ඇඳුම් පටියක් පාවිච්චි කරලා සියදිවි නසාගන්න... මෙයා මැරෙන්න උත්සාහ කරන වෙලාවේ මෙයා දකිනවා මැරිච්ච මිනියක් මේ දූපතට ගහගෙන එනවා... 

මම හිතන්නේ චිත්‍රපටය ආයෙමත් අලුතින් පටන් ගන්න තැනක් තමා ඒ රූප රාමුව?
ඔව්... මේ මළකඳේ චරිතයට රඟපාන්නෙ ඩැනියල් රැඩ්ක්ලිෆ් කියන ප්‍රකට නළුවා.. හැරීපෝටර් චිත්‍රපටයේ හැරීපෝටර්ගේ චරිතයටත් රඟපාපු නළුවා.. ඇත්තටම හැරීපෝටර් චිත්‍රපටය මාලාවේ එයා දක්ෂ විදියට රඟපෑවත් එයාගේ යථාර්ථවාදී රංගනයක් ගැන ලෝකෙ කා අතරත් කතාබහක් ඇති වුණේ නෑ. නමුත් මේ චිත්‍රපටයේ ඩැනියල් රැඩ්ක්ලිෆ්ගේ රංගනය ඉතා විශිෂ්ඨයි. හේතුව තමයි එයා නිරූපණය කරන්නෙ මළමිනියකට. නළුවෙක් විදියට මට තේරෙනවා ඒ වගේ රංගනයේ තියෙන අමාරුකම.. භාවයන් සියල්ල ශූන්‍ය කරලා ඇඟ රිලැක්ස් කරලා මළමිනියක් වෙලා බලන්න ඕනෙ ඒක මොනතරම් අභියෝගයක්ද කියන එක ගැන. මේ හෑන්ස් කියන පුද්ගලයා දිවි නසාගන්න ගිය උත්සාහය අතඇරලා මෙතනින් එහාට මළමිනියත් එකක් ගෙවන ජීවිතේ තමයි චිත්‍රපටයේ තියෙන්නෙ. මේ චිත්‍රපටය ෆැන්ටසියක් වෙන්නෙ මොහොතකින්. මේ මළමිනිය මෙයත් එකක් කතා කරනවා. අපිට එකවෙලාවක හිතෙනවා මේක කතා කරන එක හෑන්ස්ගේ මනෝ විකාරයක්ද කියලා... මෙයා මළමිනිය ලව්වා කට එහෙට මෙහෙට කර කර  කතා කරවන්න උත්සාහ කරනවා. මෙයාට අවුරුදු ගාණකින් මිනිස් කටහඬක් ඇහිලා නෑ..  හැබැයි චිත්‍රපටය අවසානයේ අපිට තේරුම් යනවා ඇත්තටම මේ මළමිනිය කතා කරන බව... 

ඔබට මේ චිත්‍රපටය නරඹද්දී ජීවිත අවබෝධය ලැබුණු තැන කොතැනද කියලා මම ඇහුවොත්....?
මේ චිත්‍රපටය තුළින් මට ජීවිත අවබෝධ ලැබුණු තැන තමයි... ජීවිතේ අපි ඇස් කන් ඇරගෙන ඉන්නකොට යම් යම් දේවල් වින්දනය කරනවනේ.. නමුත් අපිට හමුවෙන සුළු සුළු දේවල්වල වටිනාකම තේරෙන්නෙ නෑ. අපිට ඕනම දෙයක් ළඟ තියෙද්දී අගේ නෑ.. ඒත් ඒ දේ මිස්වුණාම තමයි කොච්චර වටිනවද කියලා තේරෙන්නෙ.. මේ හෑන්ස් කියන තරුණයා මනුස්ස කටහඬක් ඇහෙන්නෙ නැති දූපතේ හිරවෙලා ඉන්නකොට, පාළු හුදෙකලා වෙනම ලෝකය තනිවෙලා විඳිවනකොට ඒ තරුණයාට මේ මළමිනිය විශේෂ වෙන හැටි... මළමිනියත් එක්ක කතාබහ කරන දේවල් ඇතුළේ ජීවිතේ තිබෙන පුංචි පුංචි දේවල් කොච්චර සුන්දරද කියලා අපිට හිතෙන්න ගන්නවා. මේ මළමිනිය පොඩි දරුවෙක් වගේ... නමුත් එයා හැමදේම ප්‍රශ්න කරනවා... සාමාන්‍ය පොඩි දරැවෙක්ට පුතේ මේක දෙල් ගෙඩියක් කියලා පෙන්නුවාම එයා ඒක පිළිගන්නවනේ... එයා කියන්නෙ නෑනේ ඇයි මේකට දෙල්ගෙඩිය කියන්නෙ, වෙන නමක් කියන්න තිබුණනෙ කියලා... මළමිනියට තියෙන දැනුම බිංදුවයි... නමුත් එයා ප්‍රශ්න කරනවා මේ දේවල් ගැන... ඒ ප්‍රශ්න ඇතුළේ පුදුමාකාර විදියට ජීවිතේ දිගඅරිනවා... අපි මේ හිතන් ඉන්න සියලු දෘෂ්ඨිවාද කණපිට ගැහෙනවා... ආදරය ගැන අපි හිතන් හිටිය දේවල් මළමිනිය අහන ප්‍රශ්නත් එකක් සම්පූර්ණයෙන්ම බිඳිලා යනවා... මේ චිත්‍රපටය අපිව යොමුකරනවා අපිට ජීවිතේ හමුවෙන සුළු සුළු දේවල් වින්දනය කරන්න... මෑත කාලේ... මගේ පපුව ස්පර්ශ කළ අපූර්ව සිනමා නිර්මාණයක් තමයි ස්විස් ආමි මෑන් කියන්නෙ..

හරි සජිත.. මෙච්චරම ඔබ ආදරය කරන නිර්මාණය ඇතුළේ ඔයා කැමති චරිතය කවුද?
ඒ ප්‍රශ්නය අහපු ගමන් සචිතගේ මුහුණ හීනි හිනාවක් ආරූඪ වුණා.
පෝල් ඩැනෝ කරන හෑන්ස් කියන තරුණයාගේ චරිතය ඉතා විශිෂ්ඨ විදියට නිරූපණය කරනවා. නෝන්ජල් තරුණයෙකුගේ භූමිකාවේ සිට ශක්තිමත් මුහුකුරා ගිය අත්දැකීම් සහිත ශක්තිමත් පුද්ගලයෙකුගේ භූමිකාවක් දක්වා දිවෙනවා.. එයා ඒ චරිතය අපූරැවට හසුරුවනවා.. මළමිනියේ භූමිකාව රඟදක්වන ඩැනියල් රැඩ්ක්ලිෆ්ගේ රංගනයත් විශිෂ්ඨයි.. නමුත් මම ගොඩක් කැමති පෝල් ඩැනෝගේ රංගනයට..

සජිත... මේ චිත්‍රපටය රසවිඳිනකොට ඔබ සංවේදී වෙච්ච තැන් ගොඩක් ඇතිනෙ.... එහෙම තැනක් දෙකක් මතක් කරමුද? 
හෑන්ස්ස් කියන තරුණයා දූපතේ අතරමං වීමත් සමග ඔහුගේ ඇඟේ තිබුණු සමස්ත දක්ෂතා සියල්ල එළියට එනවා... ගෙදර ඉද්දී අම්මා උයලා දෙන එක කාලා... තාත්තා කියනදේ අහගෙන ඉන්න අහිංසක චරිතයක් වුණාත් ජීවිතය ආරක්ෂා කරගන්න ක්‍රියාවලියේදී එයා මහා විශාල චරිතයක්... අන්තිමට මේ දූපතෙන් මිදිලා ගොඩබිමට ආවට පස්සේ තාත්තා ඇතුළු සියලුදෙනා ඉදිරියේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා.. ඒ අවස්ථාවේ මෙයා දැඩි ලෙස අසරණ වෙනවා. හේතුව මේ මළමිනිය නිසා එයාට ගොඩබිමට එන්න පුළුවන් වුණා කියන කාරණයත්, මේ මළමිනිය කතාකරනවා කියන කාරණාවත් එකක්..  ඔක්කොමලා හිතන්නෙ, මෙයා කියන්නෙ බොරු කියලා.. නැත්නම් මෙයාට පිස්සු කියලා... ඒත් මෙයා දිගින් දිගටම ඒ කාරණාව සනාථ කරන්න උත්සාහ කරනවා... අන්න එතන ඔහුගේ අසරණවීමත් එකක් මම ගොඩක් සංවේදී වුණා... මං හිතින් කියනවා අනේ මේ තරැණයාට මෙහෙම වෙන්න එපා කියලා...

කොහොමද මේක ඔයාට හම්බවෙන්නෙ ? මේ චිත්‍රපටය දැනට සජිත කී පාරක් බැලුවද.....?
මට මුලින්ම මේ චිත්‍රපටය ගැන කියන්නෙ මගේ අප්පච්චි.. එයා මේක බලලා මට කිව්වා නියම ෆිල්ම් එකක් තියෙනවා පුළුවන් නම් බලන්න කියලා... මම ඉස්සෙල්ලාම මේක බැලුවා. පස්සේ මම මගේ බිරිඳට කිව්වා මෙහෙම ෆිල්ම් එකක් තියෙනවා කියලා ඊට පස්සේ මම එයත් එක්කත් බැලුවා.. පස්සේ යාළුවෝ කීප දෙනෙක් එක්කත් බැලුවා.. දැනට මම පස් හය පාරක් මේ චිත්‍රපටය බලලා තියෙනවා...

සජිත මේ චිත්‍රපටය සමාප්තියේ මොනවගේ හැඟීමක්ද දැණුනේ..?
මේ නිර්මාණය තුළින් මාව වෙන විදියට ඉන්ස්ෆයර් වුණා... මට මාර මොරාල් එකක් ඇඟට ආවා... කිව්වත් හරි... භාව විශෝධනය කියලා දෙයක් තියෙනවා... මේක ඇත්තටම ග්‍රීක නාට්‍ය සම්බන්ධව ඇරිස්ටෝටල් ඉදිරිපත් කරපු මතයක්.. නිර්මාණයක් රස විඳනකොට අපේ භාවයන් උද්දීපනය වෙලා එනවනේ..  කරුණා, දුක්ක , ක්‍රෝධ, උත්සාහ.. යන ආදි  වශයෙන් භාවයන් නමක් තියෙනවා.. එක් එක අවස්ථාවල මේ භාවයන් උඩට උඩට මරුවෙන් මාරුවට හිතට එනවා.. එතකොට භය වගේ භාවයක් හිතේ උඩ තියෙන කොට ෆිල්ම් එක් ඉවර වුණොත් ඒක පපුවට දරාගන්න ටිකක් අමාරුයි..  ප්‍රේක්ෂකයා කැමති නෑ ඒ වගේ එන්ඩ් එකකට... පෞද්ගලිකව මම කැමති නෑ ඒ වගේ එන්ඩ්වලට.. ෆිල්ම් එකක් ඇතුලේ අපි ජීවත්වෙලා පපුව රිදිලා, කඳුළු වැටිලා.. උගුර හිරවෙන තරම් අමාරුවෙන භාවයන් ටික අවසානයේ රිලැක්ස් වෙන්න ඕනෙ. මේ චිත්‍රපටය අවසානය හරියට භාවනාවක් වගේ.. ඇඟයි මනසයි දෙකම සැහැල්ලු වෙනවා. අන්න ඒ දේට මම ගොඩක් කැමතියි...

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet