2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

හොඳට විකිණෙන රාවණා

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:31 455

රාවණා Y Trend එකක් කිව්වොත් මගේ සුදාලා පිළිගන්නවා ද? චුට්ටක් කල්පනා කරලා බලන්න හා.... රාවණා කියන්නේ Sri Lankan Y Trend එකක් තමා හා... ඔන්න අද අපේ කතාව රාවණා ගැන නෙවෙයි. වරදවා වටහාගන්න එපා පැංචෝ. මේ කතා කරන්නේ රාවණා Trend එකක් වුණු හැටි වගේම, රාවණ Trend එකේ ස්වභාවය ගැන.

මචෝ මීට කාලෙකට කලින් රාවණා ගැන මෙච්චර උණක් අපේ තරුණ පරම්පරාවට තිබ්බේ නෑ. මේක කොහෙන්ද ආවේ එකපාරටම. කාලා බීලා ඔහේ හිටපු අපේ අයට මේ අතීතකාමය ආපූ විදිහ ඇත්තටම ටිකක් අමුතු කතාවක් පැංචෝ. අපි පොඩ්ඩක් හොයලා බලමුකෝ. ඉස්සරත් රාමායනය කතාවක් විදිහට ලංකාවේ තිබ්බා. ඒ වගේම රාවණා ගැන ජනකතා විවිධ මතවාද ප්‍රවාද රටේ තැන තැන තිබ්බා. ඒ වුණාට සීන් එක ලොකුවට නැගලා ගියේ නෑ. හේතුව ඒවා රටේ තැන තැන විසිරිලා තිබීම කියලයි අපිට පේන්නේ ඕං.

මේ කාලේ තියෙන රාවණා ප්‍රබෝධයට හේතු ගොඩක් තියෙනවා අපි ඒවයින් කිහිපයක් කියන්නම් අපේ සුදාලට.
 ඉතින් ඔන්න කාලෙකට කලින් පොතක් ආවා කොග්ගල නිලමේ කියලා. රාවණා ගැන තොරතුරු මේ පොතේ තිබ්බා. මේක පනස් ගණන්වල හැට ගණන්වල කතාවක් පත්තරේ ගියපු. ඒක පොතක් විදිහට ඒ කාලේම පළවෙලා. සත්‍ය කතාවක් කියලා තිබ්බා ඔය පොතේ. ඉතින් කවුරු හරි පොතේ PDF එකක් අන්තර්ජාලයේ දාලා තිබ්බා. ඔන්න මේක කියවලා තමයි ගොඩක් දෙනෙක්ට රාවණා උණ හැදුනේ මචෝ. ඊටපස්සේ හිමීට මේ ගැන හොයන පිරිස වැඩිවුණා. පොත හොයන කට්ටියත් වැඩිවුණා. රටේ එක්තරා පිරිසක් මේ පොත හින්දා රාවණා සීන් එකට එකතු වුණා.

මේ අතර කාලෙක ඉඳන් රාවණා ගැන හොයන පරීක්ෂණ කරන වගේම ගුප්ත ශාස්ත්‍ර හා බැඳුණු විශාලතම වැඩ කරන අය ලංකාවේ හිටියා. වැඩේ පත්තු වේගෙන එද්දී මේ අය කතාකරන්න පටන් ගත්තා. ඔන්න මාධ්‍ය අවධානය මෙයට යොමුවුණා. රාවණා Trend එකක් වුණා. රාවණා සීන් එක නැගලා යන්න පටන්ගත්තේ ඔය විදිහට. රාවණා ගැන කතාව ප්‍රසිද්ධ වෙද්දී විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මේ ගැන කතාකරන්න පටන් ගත්තා.

ඔන්න එතකොට තමයි මචෝ රාවණ විචාරය වගේ රාවණා පරීක්ෂකයෝ අමුතු කතා කියන්න පටන් ගත්තේ. ගොඩක් ඒවා ජනප්‍රවාද විදිහට එක එක පළාත්වල තිබ්බ දේවල්. ඒ වගේම පැරැණි පොත පතේ තිබ්බ දේවල්. තැන තැන තිබ්බ ඔක්කොම එකම තැනකට එකතු වෙනකොට රාවණා කතාවේ ප්‍රබල බව වගේම ආකර්ෂණීය බව බලන් ඉන්දැද්ඳී වැඩිවුණා. ඔන්න ඔය අතරේ ඉන්දියානු සංචාරකයන් ආකර්ෂණය කරගන්න රාවණා සංචාරක කියලා Project එකක් ලංකාවේ පටන් අරගත්තා. මේ ඔක්කොම එකතු වුණාම රාවණා ගැන හොයන පිස්සුව එක ලංකාවේ ගොඩදෙනෙක්ට හැදුණා. විශේෂයෙන් අපේ කොල්ලෝ කෙල්ලොන්ට.

බුකියේ රාවණා වංශිකයෝ බිහිවුණා මචෝ. Page හැදුණා Group හැදුණා. ටෙලිනාට්‍යයත් හැදුණා. කොටින්ම ලොකු කථිකාවක් ඇති වුණා. සංවාද ඇති වුණා. ටීවී එකේ ප්‍රෝගෑම්වල ඇට්ටි හැලෙන්න රාවණා ටෝක් දුන්නා. කවුරුත් පුදුම වෙන රාවණා කතාවල කට්ටිය ආකර්ෂණය වුණා. ජනප්‍රවාදවල එන තැන් හොයාගෙන යන්න පටන් ගත්තා. තව පොතපත ලියැවුණා. රාවණාගේ කාගෙත් වීරයා වුණා. අපේ වීරයෙක් මහා බලවතෙක් ලොකු ආඩම්බරයක් අභිමානයක් රාවණා මතින් අත්විඳින්න අපි කැමති වුණා. ඔන්න මගේ පැංචෝ දන්නවා මේ කාලේ ගැනත්... වැඩි ඈත නෙවෙයි පහුගිය අවුරුදු දහයේ තමා මේක සිද්ධ වුණේ. අපේ පැංචෝ.

මේ Y Trend එකේ ලක්ෂණ ටික අපි බලමුකෝ. මේ සීන් එකට සෙට්වෙච්ච අය රාවණා ගැන කියවන්න පට්ට ආසයි. ඒ නිසා අන්තර් ජංජාලේ වගේම පොතපතෙත් මේ සීන් එක හොයාගෙන යනවා මේ අය. අනික තමයි මචෝ මේ අතර ඉන්නවා ඔය රාවණා පුරාණ එක්ක සම්බන්ධ ස්ථාන හොය හොයා සංචාරය කරන අය. මේ සීන් එක දරුණුවට ඔලුවට ගැහැව්වාම තමා ඔය වැඩේ කරන්නේ. ඒ වගේම රාවණා ගැන නොදන්න අයට කියාදීම තමන් දන්න දේ පරම ඇත්ත වගේ කියැවීම මෙයාලගේ ලක්ෂණයක්. ඒ වගේම රාවණා නැගිටිනකල් බලන් ඉඳීමත් මේ අය ගොඩක් දෙනෙක් අතර තියෙන සීන් එකක්.

සුදෝ මේ සීන් එකේ සැරටම තියෙන දෙයක් තමයි. මේ මතය සමාජ ගතකරන ජනමත ප්‍රධානීන් බිහිවීම. ඔවුන් වටා අනුගාමිකයන් බිහිවීම. මේ බිහිවෙන චරිත ටිකක් අමුතු අය. ගුප්ත බලයන් ඒ අයට තියෙනවා කියලාත් මෙයාලා කියනවා. ඒ නිසා මේ අයට ලොකු ආකර්ෂණයක් අපේ පැංචෝ පැංචියොන්ගෙන් තියෙනවා. රටේ තැන තැන මේ සම්බන්ධ වැඩසටහන් පවා පැවැත්වෙනවා. ඒ වගේ රාවණා නැගිටලා ආවම උදව් කරන්න කට්ටියකුත් ලෑස්ති වෙනවා.

ඉතින් මා පුතී රාවණා විකිණෙන්නත් දැන් පටන් අරන් තියෙනවා. ඉස්සරහාට ඒක වැඩිවෙන්න පුළුවන්. දැනටත් මාධ්‍යයන් හොඳ ගාණකට රාවණා විකුණනවා. ඒ වගේම රාවණාගේ අක්කලා මල්ලිලා වගේ චරිත යාළුවා ආයේ ඉපදිලා කියලාත් කතාත් පැතිරෙනවා... සමහරු කියනවා මම මෙයා... මෙයා කියලා. පූජා විධික්‍රම පවා දැන් නිර්මාණය වෙලා තියෙනවා. මේ අතර ළඟදී ඉඳන් සමහරු රාවණාගේ පිළිම හොයනවා සෑහෙන්න මහන්සිවෙලා. පුරාවිද්‍යාව එක්ක විවාද කරනවා රාවණාගේ සත්‍යතාව ගැන. කොටින්ම රාවණා අපේ.... අපේ රාවණා නිසා අපේ උන් ආඩම්බර වෙනවා.. සෑහෙන්න. රාවණා කියන්නේ සුපිරි වීරයෙක් දැන් ලංකාවේ.

ඔන්න අවසාන වශයෙන් අපි කියන්න ඕනා රාවණා පුරාවෘත්ත සත්‍යයක් වුණත් අසත්‍යක් වුණත් මේ නටන නාඩගම නම් පිස්සුවක්. රටට ජාතියට ආදරෙයි නම් රාවණා ගැන විශ්වාස කරනවා නම් කට්ටිය කරන්න ඕනා ඒ ගෞරවය තියාගෙන ගෞරවය රැකෙන විදිහට වැඩකිරීම. නැතුව මේ විදිහට රාවණාව විකුණන් කන එක නෙවෙයි.

 

► Text - Nisal   /  Pic – Internet