2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ප්‍රංශයේ ඉඳන් ලංකාවට එන්නේ රඟපාන්නමයි

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 324

මරියොන්... අපිට ඔයා ගැන විස්තරයක් කියන්න..?
මගේ නම මරියොන් වෙත්තසිංහ. ඉපදුණේ ප්‍රංශයේ පැරිස් නගරයේ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි මගේ සහෝදරයයි මමයි. අපි හැමෝම පදිංචිවෙලා ඉන්නෙ ප්‍රංශයේ. ඉස්සරනම් අවුරුද්දකට එකපාරක් වගේ තමයි අපි නිවාඩුවට ලංකාවට ආවෙ. නමුත් මගේ කලා කටයුතු නිසා දැන් නිතරම එන්න සිද්ධ වෙනවා.

ප්‍රංශයේ ජීවත් වුණු ඔබට ලංකාවේ කලා කටයුතුවලට දායක වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද..?
මම 2012 වසරෙ දී Miss Sri Lanka in France කිරුළ දිනාගත්තා. මමයි ප්‍රංශයේ ඉන්න ලාංකික යුවතියන් අතරෙ තමයි ඒ තරගය තිබුණෙ. එම ජයග්‍රහණයත් එක්ක මම ලංකාවේ රූපවාහිනී සංගීත වැඩසටහන් කිහිපයකට සහභාගි වුණා.

ප්‍රංශයේ ඉපදුණු, ප්‍රංශයේ හැදී වැඩුණු මරියොන්ට ලංකාවේ ගීත අහන්න ගයන්න අවස්ථාව ලැබුණෙ කොහොමද..?
ඒකට මම මගේ අම්මා තාත්තාට ස්තූති කරන්න ඕනෙ. මම ප්‍රංශයේ ඉපදුණත් මගේ සංස්කෘතිය, මගේ රට කියන දේ මගේ මව්පියන් අපිට අමතක නොවන්න වගබලා ගත්තා. ගෙදර ඉඳිද්දී අපි සිංහලෙන් තමයි කතා කරන්නෙ. ශ්‍රී ලාංකික යාළුවන් මුණගැහුණත් අපි සිංහලෙන් කතා කරනවා. මගේ අම්මා සිංහල සින්දුවලට හරි ආසයි. ගෙදර ඉඳිද්දී මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ, සුජාතා අත්තනායක මහත්මියගේ, ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත අහනවා. අම්මට මාව හම්බවෙන්න ඉඳිද්දී අම්මා ලතා වල්පොල මහත්මිය ගායනා කරන විහාර දේවී.. හෙළ රජ දේවී වාගේ වෙන්නකෝ දුවේ... කියන ගීතය හරිම ආසාවෙන් අහගෙන ඉන්නවලු. අම්මා කියන්නෙම මට ගායන හැකියාව එන්න ඇත්තෙ අම්මගේ කුසේ ඉන්නකොටම වෙන්න ඇති කියලා. මම සංගීතය ලොකුවට හදාරලා නැහැ. ගීත ඇසීම තුළින්ම මම සංගීතයට වැඩිපුර නැඹුරු වුණා. මම හරි ආසයි සුජාතා අත්තනායක මහත්මියගේ, ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත ගායනා කරන්න. මේ අයගේ හඬවල් අපේ සංස්කෘතියට අයිති වස්තූන් විදිහටයි මම දකින්නෙ.

ගීතවල සැබෑ හිමිකාරියන් ඉදිරියේ දී එම ගීත ගැයීමේ අවස්ථාව ඔබට ලැබිලා නැද්ද..?
නැහැ. තවම මට එවැනි අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඔවුන් ඉදිරියේ ඔවුන්ගේ ගීත ගායනා කිරීම ඇත්තටම අභියෝගයක්. සැබෑ හඬ හිමිකාරිය ඉදිරියේ ඒ ගීත ගැයීම එතරම් ලෙහෙසි දෙයක් නෙමේ. කොච්චර හොඳට ගායනා කරනවා කියලා කිව්වත් ඒ ගායිකාව තරම් කාටවත් ඒ ගීතය ගයන්න පුළුවන් කියලා මම කවදාවත් හිතන්නෙ නැහැ. ගීතයේ සැබෑ හැඟීම අපිට ඒ විදිහටම දෙන්න බැහැ. වෙන රහක් ගීතයට එකතු කරන්න පුළුවන් වෙයි. නමුත් ඒ සැබෑ හඬට යන්නනම් හරි අමාරුයි.

ගීත ගයමින් හිටපු මරියොන් රංගනයට එකතු වුණේ කොහොමද..?
රූපවාහිනී සංගීත වැඩසටහනක මම ගීත ගායනා කරනවා දැකපු ජයනි සේනානායක මහත්මිය ඇයට රංගනයට දායක වෙන්න තිබුණු චිත්‍රපටයකට මාවත් යෝජනා කරලා තිබුණා. ඒ චිත්‍රපටයේ ඇයගේ දුවගේ චරිතයටයි මාව යෝජනා කරලා තිබුණේ. මම ඊට කලින් ජයනි අක්කා එක්ක කතා කරලවත්, එකට මුණගැහිලවත් තිබුණෙ නැහැ. නමුත් ඒ සංගීත වැඩසටහන දැක්කට පස්සෙ ජයනි අක්කා මගේ නම්බර් එකට කෝල් එකක් දීලා චිත්‍රපටයක රඟපාන්න කැමතිද? කියලා ඇහුවා. එහෙම තමයි මට රංගනයට අවස්ථාව ලැබුණේ.

ඔබ පාසල් වේදිකාවේ රඟපාලා නැද්ද..?
මෙහෙමයි. පුංචි කාලේ ඉඳන් මම රංගනයට හරි ආසයි. මම පුංචි කාලේ අම්මා ගෙදර ඉන්න විදිහ, තාත්තා ගෙදර ඉන්න විදිහ එහෙම රඟපාලා පෙන්නනවා. ගෙදර අය ඒ දේවල් බලලා හිනා වෙනවා. ඒ නිසාම තව තවත් මම ඒවා කරන්න ආසා කළා. පහු කාලයේ දී මම රංගනයට සම්බන්ධ වෙන්න ආස කළා. මම මුලින්ම රඟපෑවෙ හිතුමතේ ජීවිතේ චිත්‍රපටයේ. මම ඒ චිත්‍රපටයෙ රඟපෑවෙ නංගිගේ චරිතයයි. ඒක බොහෝ දෙනෙක් දන්න, බොහෝ දෙනෙක් කතා කරන සැබෑ කතාවක් තියෙන චිත්‍රපටයක්. නුදුරේදීම ඒ චිත්‍රපටය බලන්න පුළුවන් වේවි. හිතුමතේ ජීවිතේ චිත්‍රපටය තමයි මගේ මුල්ම චිත්‍රපටය. ගායනය සහ රංගනය කියන්නෙ දෙකක්. නමුත් මේ මාධ්‍ය දෙක අතරේ සමීපකමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මම ඒ කලාවන් දෙකටම හරි කැමතියි. මට මගේ රට නියෝජනය කරන්න පුළුවන්නම් මම ඒක හරිම ආසාවෙන් කරනවා. 

රූපවතීට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
විජයබා කොල්ලය චිත්‍රපටයේ මම රඟපාන රූපවතීගේ චරිතයට මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනා මම නවකයෙක් වුණත් ඒ චරිතයට යම් සාධාරණයක් කරලා තියෙනවා කියලා කියනවා. ඉතින්.. ඒ ගැන මට සතුටුයි. අපි කොච්චර හොඳට රඟපෑවත් අපේ රංගනයේ හොඳ නරක පිළිබඳ අවසානයේ තීරණය කරන්නෙ අපේ ප්‍රේක්ෂකයන්. ඒ අවසානේ ලැබෙන ප්‍රතිචාරයත් එක්කයි අපේ ඊළඟ නිර්මාණයේ රංගනය පිළිබඳව තීරණය වෙන්නෙ.

හිතුමතේ ජීවිතේ චිත්‍රපටයට අමතරව මරියොන්ට තවත් නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා..?
ඔව්.. මට දඩඉම චිත්‍රපටයටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. අපේ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයන් එක්කයි මට මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණෙ. මගේ ජීවිතේ මම ලබපු ලොකු අත්දැකීමක් විදිහට මම ඒක හඳුන්වනවා. අපේ රටේ ප්‍රවීණයන් එක්ක රඟපාන්න ලැබීමෙන් නවකයන් හැටියට අපිට ඒ අයගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. මම ප්‍රංශයේ බැංකු රැකියාවක් කරනවා. නමුත් මම ඉදිරියේදීත් කලා කටයුතුවල නිරත වෙන්න ආසයි. තමන් ආසා කරන රැකියාවක් තෝරාගත්තොත් මොන තරම් මහන්සියක් දැනුණත් හිතේ සතුට තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

 

► Text - Dishani  /  Pic - Sumudu