2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

කෑමට ඔබ වෙන්න දාස.. ලෙඩ වැඩිවෙයි දාස දාස

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 196

අඩේ කොහොම රතු අයියා රයිස් එක ඒ ගාණට දෙන්නෙ?
ඔන්න ප්‍රශ්නෙ මචෝ.. දීපල්ලාකෝ උත්තර. ඩ්‍රම්ස්ටික් එකයි සොසේජස් තුනයි ඔම්ලට් එකයි එක්ක රසිස් එකක් රුපියල් දෙසීය පනහට දෙන්න පුළුවන්ද?

මේක තමා පහුගිය කාලේ අපේ පුතීලාට තිබ්බ දැවෙන ප්‍රශ්නෙ.. මේ සීන් එක දැක්කම අපිට හිතුණා මචෝ Y Trend පාරක් ගලපන්න. අද සීන් කෝන් එක කෑම බීම, අපේ තරුණ පුතීලා සහ සමාජ ජන්ජාලය. මේක සිරා Trend එකක් මචෝ. තමන් කන කෑම බීම photo එකක් ගහලා Facebook, Instagram, Twitter වගේම WhatsApp DP දාන එක දැන් පට්ට පිස්සුවක්. ඒ වගේම හොඳ හොඳ Hotel, Restaurant හොයාගෙන ගිහිල්ලා කන එක දැන් Fashion එකක් සුදෝ.. ඉස්සර එහෙන් මෙහෙන් ලාවට මතුවුණු කෑම බීම සම්බන්ධ‍ මේ වගේ Y Trend අද වෙද්දී සෑහෙන්න දරුණුවට ව්‍යාප්ත වෙලා. ඉතින් පුතීලා අපි මුලින්ම නිදාන කතාවට බහිමුකෝ...

ඉස්සර නම් අපේ තරුණ පරම්පරාව ඔය කෑම බීම ගැන වොරි වුණේ නෑ. ඒවායෙ කැටයම් බලන්න ගියෙත් නෑ. අතට අහුවෙන දෙයක් ඇදලා ඇරියා දඩබඩ ගාලා. කොස් දෙල් අල බතල, රතු කැකුළු බතට පොල් සම්බෝල, පලා වර්ග මැල්ලුම්, කිරට මිරිසට මාළු හොද්ද,  එකී මෙකී නොකී ගමේ ගොඩේ කෑම ජාති තමා එදා අපේ උන් කෑවෙ. එහෙම කාලා බීලා හේනේ කමතේ වැඩ කළේ යක්කු වගේ. ඇත්තටම නිරෝගීව ජීවත් වෙන්න, වැඩ කරන්න අවශ්‍ය ශක්තිය ලබාගන්න ආහාරපාන ගත්තා මිසක් සාමාන්‍ය මිනිසුන්ට ඔය කෑම බීම ගැන අමුතු වග විභාගයක් තිබ්බෙ නෑ. උත්සව කාලෙටනම් අපිට අනන්‍ය වෙච්ච ආහාර සංස්කෘතියක් තිබ්බා. ඒ වගේම රජ ඇමැති ගොල්ලන් වගේ ලොකු උදවියගෙ කෑම බීම ගැන විශේෂ උනන්දුවක් තිබිලා තියෙනවා. ඒ කොහිම වුණත් තාරුණ්‍ය කෑම ගැන ලොකුවට එලෙව්වෙ නෑ.

සුද්දා ආවාට පස්සෙ සුද්දගේ කෑම අපේ සමහරුන්ට මැජික් වුණා. කොහොම හරි අපි කතා කරන සීන් එක පටන් ගන්නෙ 1970 ගණන්වලින් පස්සෙ. අතමිට සරු අය ටිකක් ලොකු ලොකු තැන්වලින් බටහිර කෑම කන්න පටන් ගත්තා. මේක සමාජ තත්ත්වය පෙන්නන්න කරපු වැඩක්. හැබැයි ගොඩ දෙනෙක් සීන් එකේ හිටියේ නෑ. ඔහොම සීන් එක දිගටම ආවා. කොළඹ සුපිරි පන්තිය තමා සීන් එකේ හිටියෙ. පස්සෙ අනූව දශකය වෙනකොට මචෝ ටෙලිවිෂන් එකෙන් කෑම හදන හැටි පෙන්නන්න පටන් ගත්තා. ඔන්න අපේ සාමාන්‍ය පවුල්වල අයත් මේ අලුත් කෑම සීන් එක ගැන ටිකක් උනන්දු වෙන්න ගත්තා. 

ඊට පස්සේ කුකරි ක්ලාස් සංස්කෘතිය ආවා. කෙල්ලෝ කුකරි ක්ලාස් යන්න ගත්තා. පසේ ඔය සීන් ඔක්කොම දියවෙලා ගියා ඔන්න Social Media යුගය ආවම.
ලෝකෙ හැමදේම වේගයෙන් ළං වුණේ මේ කාලෙනේ. ඉතින් කෑම ගැන සීන් එකත් එහෙමයි. දැන් මේ Trend එකේ ස්වභාවය අපි පොඩ්ඩක් බලමුකෝ සහෝ... මොනවා හරි විශේෂ කෑමක් කන්න සෙට් වුණු ගමන්ම Smart Phone එකෙන් Photo එක ගන්නවා කෑම එකේ. ඊට පස්සේ Social Media අප්ලෝඩ් කරනවා කිසි කිසි ගාලා. සමහරු selfie ගන්නෙ. සමහරැ කෑම එකේ Close up ගන්නෙ. කොහොම හරි අද වෙනකොට සමහරුන්ට කෑමට පෙර අත සේදීම වගේ කෑමට පෙර Photos අනිවාර්ය පුරුද්දක් වෙලා සුදෝ... ලවක් දෙවක් නැතුව කෑම ෆොටෝ ගහන ආතල් ගන්න මේ අයගේ සිතුම් පැතුම් ගැනත් ලාවට හරි හොයලා බැලුවා මචෝ අපි.

මේ සීන් එක තදටම ඔළුවට අරන් තියෙන්නෙ පොෂ් කෙල්ලෝ තමා. ඔය අතරේ ඉන්නවා අපේ පාඨක මචීලත්. හා නැද්ද හා... හැබැයි මේකත් අපි අර හැම නිතර කියන ප්‍රදේශන කාමය සියන සීන් එකේම ප්‍රතිඵලයක්. මෙහෙම දැම්මාම ඒකට වැටෙන Comment, Like වගේ දේවල් ගැන  මාර උනන්දුවක් තියෙන්නෙ මේ Line එකේ ඉන්න අයගෙ. ඒ වගේම තමන් සතු දේ අනිත් අයට  නැති බව දැනීමෙන් ලබාගත හැකි කුප්ප ප්‍රීතිය මේ හරහා ලැබෙනවා. කෑම බීම සමාජ තත්ත්වයට බලපානවා කියන දේත් මේ රැල්ල තුළින් නිරූපණය වෙනවා. අපි කන්නෙ සුපිරි කෑම ආ... ආ... කොහොම ඒක... හැබැයි සුදෝ මෙහෙම සීන් හිතන්නේ නැතිව අනිත් උන් කරන නිසා මාත් කරනවා කියන Line එකේ ඉන්න අයත් සෑහෙන්න ඉන්නවා බං.
විශේෂ ගමේ කෑම වගේම රතු අයියාගෙ බත් එක වගේ කෑමත් බුකීගත කරන අය ඉන්නවා. ඒ වගේ ගොන් ආතල් විදිහට මේ වැඩේ කරන දැක්කම හිනා යන කෑම post දාන අයත් බුකී ජනතාව අතර ඉන්නවා. දැකලා ඇතිනේ මා පුතීලා.. හැබැයි Instagram වල තමා කෑම සීන් පට්ට ජනප්‍රිය වෙලා තියෙන්නෙ. Insta Page පවා තියෙනවා කෑම ගැන.  ඒ හරහා බිස්නස් පවා කෙරෙනවා. Facebook page එහෙමත් තියෙනවා. කොටින්ම පට්ට trend එකක් මේක.

කෑමට ඔබ වෙන්න දාස.. ලෙඩ වැඩිවෙයි දාස දාස.. ඔන්න අන්තිමට හරිම තැනට අපි එන්න හදන්නේ. ඔය කෑම ජාති Trend එක නිසා අපේ තරුණ පරම්පරාව ලෙඩ වෙනවා සුදා.. කඩේ කෑම, රස කෑම, ලස්සන කෑම, පොෂ් කෑම, ලොකු කෑම, ඔය කිසිම දෙයක් ගෙදර අම්මාගේ කෑම එක වගේ නෑ... පැංචියේ... අම්මාගේ කෑම එකේ ආදරය කලවම් කරලා තියෙන්නෙ. ඔය ගොඩක් කෑම ජාතිවල කෘත්‍රිම රසකාරක විස කවලා. ෆොටෝ ගහලා ලොකුවට බුකියේ දාලා පොෂ් වුණාට නහින දෙහින කාලේ වෙනකිට දුක් දොම්නස් තමා ඉතින්... දියවැඩියාව අඬවැඩියාව, අර රෝල් මේ රෝල්, කොරුස්ටරෝල් ඔක්කොම Coming Soon මචෝ..

බොරු කැටයම් නොදා ආතල් ගනිල්ලා.. ඕවා පුස් පොෂ් සීන් මෙයාලා... අලේ මන්හා ඔයාලට හොඳයිනම් අපිට මොටෝ...

 

► Text - Nisal   /   Pic – Internet