2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

සිංහල ගුරා කාලේ ගෝලයා ගැන ආදරයක් හිතුණා

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:31 217

ඇන්ඩ්‍රියා ඔයාට මුලින්ම මුණගැසුණේ කොහොමද?
ඇන්ඩ්‍රියා මට මුලින්ම මුණගැහුණේ ඉස්කෝලේ යන කාලේදීමයි. ඇන්ඩ්‍රියාගේ අක්කා මගේ යාළුවෙක්. මම ඉගෙන ගත්තේ වේල්ස් කුමර විදුහලේ. පාසලේ එක උත්සවයකට මාත් එක්ක නටන්න හිටපු කෙල්ල පොල්ලක් තියලා මට ඩාන්ස්එක කරන්න බැරිවෙනකොට තමයි ඇන්ඩ්‍රියාගේ අක්කා වුණ ටානියා මට ඒ වැඩේට උදව් කළේ. ඒ යාළුකමින් මම ඇන්ඩ්‍රියාගේ ගෙදර දවස් දෙක තුනක් ගියා. ඉස්කෝලේ යන කාලේදී කෙල්ලෙක් අඳුරගත්තට පස්සේ අපිත් ඉතින් ගෙවල්වලට යනවනේ. ඒ කාලේදී ඇන්ඩ්‍රියා හත වසරේ ඉගෙන ගන්නවා.

ටානියා ගෙදර ගිය දවසෙම ඇන්ඩ්‍රියාව රජිත දැක්කද?
ඔව්.. ඔව්.. ටානියාගේ ගෙදර ගියහම අපි කතාබහ කර කර හරි ජොලියේ ඉන්නවානේ. මට තාම මතකයි එතකොට ඇන්ඩ්‍රියාගේ කොණ්ඩේ කොටටම කපලා. කොල්ලෙක් වගේ තමයි හිටියේ. කොට කලිසම් ඇඳගෙන තමයි මම මුලින්ම දකින දවසේ ඇන්ඩ්‍රියා හිටියේ. මාත් ඉතින් ඒ කාලේ කවකටු පෙට්ටියක් වගේනේ. ඔය යන එන වෙලාවල්වල ඇන්ඩ්‍රියාත් අපිත් එක්ක ඇවිත් කතා කළා. ඒක බොහෝම සාමාන්‍ය කතාබහක් විතරයි.

ඇන්ඩ්‍රියාට ආදරය කරන්න බිරිඳ කරගන්න හිතුණේ කොයි කාලේදීද? ඒ ආදරය ගොඩනැගුණේ කොහොමද?
ඔහොම ඇන්ඩ්‍රියාගේ ගෙදර ගියාට පස්සේ මම නිතර නිතර එහේ යන්න පටන් ගත්තා. ඇන්ඩ්‍රියාගේ මව්පියෝ පවා මට හරි ආදරෙයි. කාලයක් ගියාට පස්සේ මම අතුරුදන් වුණා. තට්ටු ගෙවල් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඇන්ඩ්‍රියාලා රට ගියා. ඔහොම කාලයක් ගෙවෙද්දී මට එක දවසක් ආරංචි වුණා. “ඇන්ඩ්‍රියා ලංකාවට ඇවිත් කියලා. ඊට පස්සේ මම ආයෙත් මෙයාට කෝල් කළා. ආයෙත් මම මෙයාලගේ ගෙදර ගියා. එතකොට මම තට්ටු ගෙවල් රඟපාපු අලුතයි. ඔන්න මම ඇන්ඩ්‍රියාගේ ගෙදර යද්දී අර කොටට තිබුණු කොණ්ඩය දික්වෙලා. නාලා කොණ්ඩයත් කඩාගෙන මල් මල් ගවුමක් ඇඳගෙන ඇන්ඩ්‍රියා මම ඉස්සරහට ආවා. එතකොට මගේ හිතට “ආ.. නංගී දැන් ලොකු වෙලානේ. කියලා පොඩි ආසාවක් ඇති වුණා. ඒ වෙද්දී ඇන්ඩ්‍රියා ඕලෙවල් පන්තියේ.

නරින්ට, කුකුළන් බාර දුන්නෙත් ඔය කාලෙම නේද? රජිත ඇන්ඩ්‍රියාට සිංහල ඉගැන්නුවා කියලයි ආරංචිය?
ඔව්නේ.. ඒකත් හරියට හරියටම කුකුල්ලු බාරදුන්නා වගේම තමයි. ඒ කාලේදී ඇන්ඩ්‍රියා සිංහල විෂය සම්බන්ධව උපකාරක පන්තියකට ගිහින් තිබුණේ නැහැ. ඒ නිසා එයාට විභාගයට සිංහල හදාගන්න නිසා ටානියයි, ඇන්ඩ්‍රියාගේ අම්මයි සිංහල උගන්වන්න මට ඇන්ඩ්‍රියාව බාර කළා. ඉතින් ඊට පස්සේ මම හවස්වරුවල ඇන්ඩ්‍රියාට සිංහල ඉගැන්නුවා. ඕලෙවල් විභාගය ළංවෙද්දී මගේ හිතේ ඇන්ඩ්‍රියා ගැන ආදරයක් ඇති වුණා. මම යෝජනාව දැම්මා. “අම්මලාගෙන් අහන්න කියලා ඇන්ඩ්‍රියා කිව්වා. අම්මලා කිව්වේ “මුලින් විභාගය ඉවරවෙලා ඉන්න කියලයි. ඔය වෙද්දී ඇන්ඩ්‍රියාගේ ගෙදර අයත්, අපේ ගෙදර අයත් හරි එකතුයි. ඒ නිසා අපේ ගෙවල් දෙකෙන්ම මේ සම්බන්ධයට කැමති වුණා.

රජිත මුලින්ම ඇන්ඩ්‍රියාට දීපු තෑග්ග මතකද?
ඔව්.. හොඳට මතකයි. ඒ තෑග්ගට ප්‍රතිපාදන සැපයූවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයායි. එතුමා පාසල් නිල ඇඳුම් කට්ටලයක් දුන්නනේ. ඔය කාලේදී තමයි ඇන්ඩ්‍රියාගේ බර්ත් ඩේ එකට මටත් ආරාධනාවක් ලැබුණේ. අපිට ඉතින් ඒ කාලේ තෑගි ගන්න සල්ලි කොහෙන්ද? කෙල්ලෙක්ගේ බර්ත් ඩේ එකකට තෑග්ගක් ගන්න කියලා සල්ලි අම්මලාගෙන් ඉල්ලන්නත් බැහැනේ. හොඳ වෙලාවට අර නිල ඇඳුම් කට්ටලය තිබුණා. මම ඕක රුපියල් තුන්සීයකට ටේලර් ෂොප් එකකට වික්කා. ඒ සල්ලිවලින් කටුබැද්ද හන්දියේ බූල් බල්ලෝ හදන තැනකින් රුපියල් දෙසීය හැත්තෑපහකට බූල් බල්ලෙක් අරගෙන මගේ තාත්තාගේ ටී ෂර්ට් එකකුත් ඇඳගෙන ඇන්ඩ්‍රියාගේ බර්ත් ඩේ පාටියට ගියා. වීරයා එක්ක ඒ අයත් නැටුවා. ෆොටෝ ගනිද්දී මම ඇන්ඩ්‍රියාගේ කරට අතදාලා තමයි ෆොටෝඑකත් අරගෙන තියෙන්නේ. ඒ තෑග්ගයි, ඒ ෆොටෝ එකයි තාමත් අපි ළඟ තියෙනවා. “කාලාන්තරයක් තිස්සේ යාළු වුණාට පස්සෙත් හැම අවුරැද්දකම මම ඇන්ඩ්‍රියාගේ පස්සෙන් එද්දී ඔයා මාව බල්ලෙක් ගාණකටවත් ගනන් ගත්තේ නැහැනේ කියලා. තමයි මම ඒ තෑගි දුන්නේ.

ඇන්ඩ්‍රියා දීපු තෑග්ගත් රජිතට මතකද?
ඇන්ඩ්‍රියා එයාගේ තාත්තා දීපූ සල්ලි එකතු කරලා ලස්සන කුර්තා ඇඳුමක් දුන්නා. ඉරි ඉරි කහ පාට ලස්සන ඒ කුර්තා ඇඳුමට මම හරි ආසයි. හැබැයි ඕක මුලින්ම මට අඳින්න ලැබුණේ නැහැ. ඔය කාලේදී එක්තරා පුවත්පතක කවරයකට මටයි ප්‍රියන්ත අයියටයි (ප්‍රියන්ත සෙනවිරත්න) කතා කළා. මම තව ඇඳුම් දෙක තුනකුයි. කුර්තා ඇඳුමයි මල්ලක දාගෙන එන්න කියපු තැනට ගියා. අඳින ඇඳුම තෝරද්දී අර ඡායාරූප ශිල්පියා ප්‍රියන්ත අයියට කුර්තා ඇඳුම අඳින්න කිව්වා. මට වෙන ඇඳුමක් දුන්නා. මාත් ආසාවෙන් ප්‍රියන්ත අයියට ඇඳුම අඳින්න දුන්නා. කවරය දකිද්දී ඇන්ඩ්‍රියාට මාරෙට නැගලා. එයා දීපු මුල්ම තෑග්ග ප්‍රියන්ත අයියා ඇඳලා.

දෙන්නාගෙන් වැඩියෙන්ම කේන්ති යන්නේ කාටද?
දෙන්නටම එකහා සමානව කේන්ති යනවා. හැබැයි ඒ කේන්තියට අනුපාතයක් තියෙනවා. අයිස් කැට හතරකට ගිනි අඟුරු දෙකක් වගේ ඒක. ඇන්ඩ්‍රියා ටිකක් ඉවසනවා. හැබැයි පුපුරණ කොට පුපුරද්දී ඒක ටිකක් අමාරුයි වගේ. පාටිවලදී පොඩ්ඩක් ඇලවුණාම පොඩ්ඩක් එයාටත් කේන්ති යනවා තමයි. හැබැයි මගේ කේන්තියත් ටිකක් ළඟ ළඟ යනවා. දැන්නම් මම ඒක ටිකක් පාලනය කරගෙනයි ඉන්නේ.

ඔය දෙන්නට මුලින්ම ඉපදුණේ දුවෙක්නේ. දෙන්නම ආසාවෙන් හිටියෙත් දුවෙකුටද?
මායි මගේ අම්මයි ආසාවෙන් හිටියේ පුතෙකුටයි. ඇන්ඩ්‍රියායි එයාගේ අම්මයි ආසාවෙන් හිටියේ දුවෙකුටයි. ඔන්න ඉතින් අපි හතර දෙනාම ඇන්ඩ්‍රියාගේ ස්කෑන් එකට ගිහින් ඒක බලලා ඩොක්ටර් “ඔයාලට දුවෙක් කියද්දී මම ආයෙමත් ඩොක්ටර්ට කිව්වේ “චුට්ටක් ආයෙත් චෙක් කරන්නවාද කියලා. ඒ වෙලාවේ ඩොක්ටර් හිනා වුණා. ගෙදර ආවම තමයි ඇන්ඩ්‍රියාට කිව්වේ ඩොක්ටර් අපිට දුවෙක් කියද්දී මගේ මූණ කළු වුණා කියලා. හැබැයි දැන් අපිට ඉන්නෙම දුවලා දෙන්නෙක්. දැන් මගේ ලෝකේ සම්පූර්ණයි කියලයි මට හිතෙන්නේ.

ඇමන්ඩා හා අරියානා ගැන පොඩ්ඩක් කියමුද?
ඇමන්ඩාට දැන් වයස අවුරුදු එකොළහයි. අරියානාට දැන් වයස අවුරුදු දෙකයි. ඇමන්ඩා නංගිට හරි ආදරෙයි. මට මතකයි එක දවසක් චූටි දුව කුසේ ඉදිද්දී බබා දඟලන්නේ නැහැ කියලා ඇන්ඩ්‍රියා කියද්දී විනාඩි දෙකක් යද්දීම ඇමන්ඩා හොස්පිටල් එකට ගෙනියන්න ඕන කරන හැම දෙයක්ම ඉක්මනට ලෑස්ති කරලා මට දුන්නා. මට හිතාගන්නවත් බැහැ. නංගිට කිරි හිරවෙලා ඇඬුවත් මුලින්ම කෑ ගහන්නේ ඇමන්ඩායි. එයා නංගිට හරි ආදරෙයි. ළඟදීම නංගිට අකුරු කියවන්නෙත් අපේ මේ අක්කටම කියලයි.

ඔය දෙන්නා වෙඩින් එක කල් දැම්මේ ඇයි?
සල්ලි නැතිකමට තමයි. අපි ලොකු සල්ලිකාර අය නෙවෙයිනේ. අපි බොහොම අමාරුවෙන් ගොඩනැගෙන චරිතනේ. අපි මුලින්ම වෙඩින් එකට දින දාගත්තේ අගෝස්තුවලයි. ඇමෙරිකාවේ තිබුණු ප්‍රසංග කිහිපයකින් මට සල්ලි වගයක් ඒවී කියන බලාපොරොත්තුවෙන් තමයි දින දාගත්තේ. සල්ලි ලැබෙන්නත් කලින් වෙඩින් ගන්න ප්ලෑන් කළා. දිනවලට ළංවෙන්න මාස දෙකක් තියෙද්දී අර අමෙරිකාවේ වැඩේ කල්ගියා. දැන් කරන්න දෙයකුත් නැහැ. හිතාගෙන හිටපු වෙඩින් එකට අතේ සල්ලි නැහැ. මොනවා කරන්නද? අන්තිමට අගෝස්තු මාසේ කල්ගිහින් දෙසැම්බර් මාසේ වෙඩින් එක ගත්තා.

අද ඇන්ඩ්‍රියා එක්ක ගතකරන ජීවිතේ මොකද හිතෙන්නේ?
කසාද බැඳලා දරුවෝ ලැබුණාට පස්සේ ඒ කාර්යබහුලත්වය වැඩි වෙනවා තමයි. හැබැයි කොච්චර කාර්යබහුල වුණත් මේ ජීවිතේ හරි ෂෝක්. පවුලක් එක්ක, දරුවෙක් එක්ක ගෙවන ජීවිතේ හරි සුන්දරයි. මොන වැඩකට ගියත් මම ඉක්මනටම ගිහින් ඉක්මනටම ගෙදර එනවා. මගේ ලොකුම සතුට තියෙන්නේ මේ ගේ ඇතුළෙයි.

රජිත ඇන්ඩ්‍රියා ගැන. ඒ අයගේ ආදර කතාව ගැන එහෙම කියද්දී ඇන්ඩ්‍රියාගේත් මේ ආදර කතාව ගැන යමක් ඇහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක්නේ. රජිත නැති වෙලාවක අපි ඇන්ඩ්‍රියාටත් කතා කරලා ඒ ආදර කතාවේ අඩුවැඩිය අහලා බැලුවා.

ඇන්ඩ්‍රියාට මතකද රජිත දැකපු මුල්ම කාලය?
ඔව්.. මම හත වසරේ ඉඳිද්දී තමයි රජිත අපේ ගෙදරට මුලින්ම ආවේ. සයිස් එකෙන් පොඩි බොහෝම සාමාන්‍ය මේ පිරිමි ළමයා මගේ අක්කගේ හොඳම යාළුවෙක් වුණා. ගෙදර ආපු වෙලාවේ ඉඳන් තොරතෝංචියක් නැතිව කියවනවා. ඒ දවස්වල මේ අය ආවහම මට වැඩිය එළියට එන්න බැහැ. මම මගේ කාමරේට වෙලා මේ අය කියවන දේවල් අහගෙන හිටියා. මට වඩා අවුරුදු පහක් එයා වැඩි නිසා මම “රජිත අයියා කියලා තමයි මුලදී කිව්වේ. රජිතගේ මේ කියවිල්ල අඩු නැතිව ඒ කාලෙත් තිබුණා. එයා හැමෝම එක්කම හරි යාළුයි. අක්කිලා එක්ක කතා කරන දේවල් ඇහිලා මම කාමරේට වෙලා ඒ කාලේ හිනා වුණා. සමහරදාට මට පැය ගාණක් කාමරේ ඇතුළට වෙලා ඉන්නත් සිද්ධ වුණා. ඒ තරමටම මෙයාලා අපේ ගෙදර ආව නිසා.

ඒකාලේ ඇන්ඩ්‍රියා කොටට කොණ්ඩය කපපු කොල්ලෙක් වගේනේ. රජිත හරියට කවුරු වගේද?
මට හිතෙන විදිහට ඒ කාලේ රජිතගේ ඉණේ සයිස් එක විසි එකක් විතර ඇති. අත්දෙකින් ඒ කාලේ එයාගේ ඉණ මනින්න පුළුවන්. මට තාම මතකයි එයා ඒ කාලේ අඳින්නේ අඟට වඩා ගොඩාක් ලොකු ඇඳුම්. අක්කිලා විහිළු කරද්දී රජිත කියන්නේ “මම පිරිමි ඇඳුම් ගන්න කොටසට ගියාම ඒකේ තියන ඇඳුම් ලොකුයි. පොඩි ළමයින්ගේ ඇඳුම් කොටසට ගියාම ඒකේ තියෙන ඇඳුම් කොටසේ තියන ඇඳුම්වලින් පොඩිම එක අරගෙන අඳින්නේ. කියලා. එයා ඒකාලේ බාච්චු ඇඳුම් අඳින්නේ. අදටත් එයා ඒකාලේ තට්ටු ගෙවල් ටෙලි නාට්‍යයේ මුලින්ම ඇඳපු ස්කිනියයි, ඩෙනිමකුයි, ටීෂර්ට් එකයි, විසිල් එකයි හරිම පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා. මට ඒ ඇඳුම් එයා ඒ කාලේ කොහොම ඇන්ඳ ද කියලා හිතාගන්නවත් බැහැ.  

කාලයක් සිංහල උගන්වපු සිංහල ගුරුවරයා ගැන මොකද හිතන්නේ?
ඒ කාලේ රජිත ගැන හැඟීමක්වත්, එයාට මම ගැන හැඟීමක්වත් තිබුණේ නැහැ. අපේ සාලේ කෑම මේසේ දී තමයි එයා මට සිංහල ඉගැන්නුවේ. ඒ කාලේ මම සිංහලවලට හරි දුර්වලයි. හැබැයි රජිත මට හොඳට සිංහල ඉගැන්නුවා. ජාතක කතා මට ඉගැන්නුවේ රඟපාලා පෙන්නලයි. කවි පුදුම විදිහට ඉගැන්නුවා. මාස හයක් ඇතුළත මට සිංහල හොඳට ඉගැන්නුවා. මම සිංහලවලට “බී ගත්තා. අදටත් දුවට සිංහල විෂය උගන්වන්නේ රජිතයි.

දෙන්නා ආගම් දෙකක. ගෙදර ඒ ආගම්වලට ලැබෙන තැන කොහොමද?
මම රෝමානු කතෝලික. රජිත බුද්ධාගමේ. මම ඉන්දියන් ටැමිල්. මේ බාහිර දේවල් එක්ක බලද්දී ගැලපීම්වලට වඩා අපි දෙන්නාගේ නොගැලපීම් වැඩියි. මගේ තාත්තා ඉන්දියානු ජාතිකයෙක්. රජිතගේ තාත්තා සිංහල. අපි ආගම් දෙකක්. ජාති දෙකක්. රටවල් දෙකක්. නමුත් ඒ නොගැලපීම්ම තමයි අපි දෙන්නාගේ ගැලපීම වුණේ. ඒ දේ මම හරියට අගේ කරනවා. අපේ ගෙදර හවසට බුදු පහන පත්තු කරන්න රජිත හරි මම හරි ගෙදර හිටියේ නැත්නම් ඒ බුදු පහන පත්තු කරන්නේ මගේ තාත්තායි. අපේ ගෙදර බුදු පහනයි, ජේසුගේ පහනයි දෙකම එක මට්ටමකයි තියන්නේ. අපි මේ ආගම්වලට එකම විදිහට තමයි ගරු කරන්නේ. අපේ ඇගේ දුවන්නේ එකම පාට ලේ. අපි මනුෂ්‍යයෝ විදිහට එකයි. ගෙදර වැඩවලට රජිතගෙන් පුදුමාකාර සපෝට් එකක් ලැබෙන්නේ. රජිත වගේ කෙනෙක් ලැබෙන්න තරම් මම හරි වාසනාවන්තයි.

 

► Text - Dishani &   Pic – Internet