2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

නීති පොතෙන් පිට පැන්න අපූරු නඩුකාරයා

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

උසාවියක විනිශ්චයකාරයෙක් සාමාන්‍යයෙන් වැරදිකාරයෙක්ට දඬුවම් පමුණුවන්නේ දණ්ඩ නීති සංග්‍රහයට අනුවයි. හැබැයි අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ස්විල් නාගරික උසාවියේ ඉන්න නඩුකාරයෙක් ඒ සාම්ප්‍රදායික නීති රීතිවලින් ටිකක් ඔබ්බට ගිහින් හරි අපූරු දඬුවම් පමුණුවන්න කටයුතු කරලා.

පෙන්ස්විල් නාගරික උසාවියේ ඉන්න මයිකල් චිකනැරි කියන විනිසුරුවරයා තමයි මේ අපූරු නඩුකාරයා. ඔහු වරක් නව යොවුන් තරුණයින් දෙදෙනෙක්ට අපූරු දඬුවමක් ලබාදුන්නා. නගරයේ පිහිටා තිබෙන දේවස්ථානයේ ජේසු බිළිඳාගේ සුරුවමක් හොරාගත් මේ තරුණයින් දෙදෙනාට විනිසුරුවරයා දීපු දඬුවම තමයි ‘අපි දෙන්නා මෝඩ තකතීරුවෝ දෙන්නෙක්’ කියලා ලොකු අකුරින් ලියපු බෝඩ් එකකුත් උස්සගෙන බූරුවෙකුගේ පිටේ නැගිලා නගරය වටා ගමන් කිරීම. 
තවත් වතාවක් තමන්ගේ අසල්වැසියාගේ බලු සුරතලාට දරුණු විදිහට පහර දීලා ඌට තුවාල කරපු කාන්තාවකුත් නඩුකාරයා ඉස්සරහ විනිශ්චයට බඳුන් වුණා. නඩුව අහලා ඉවර වුණු මයිකල් නඩුකාරතුමා වැරදිකාර කාන්තාවට තෝරාගැනීම් දෙකක් ලබාදුන්නා. “ඔබට විකල්ප දෙකක් මම යෝජනා කරනවා. එක්කෝ ඔබ දින 90කට හිරගෙදරට යා යුතුයි. එහෙමත් නැත්නම් නාගරික කසළ අංගනයට ගිහිල්ලා පැය 8ක් එක දිගට එතැන ඉන්න ඕනෙ. ඔබ අහිංසක සතෙක්ට කරපු හිංසාවේ බරපතළකම වටහාගත යුතුයි. ඉතින් ඔබ කැමැති කොයි තීරණේටද?” විනිසුරුතුමා ඇහුවා. 

“මම කසළ අංගනේට යන්නම් ස්වාමීනී” කාන්තාව ක්ෂණිකව පිළිතුරු දුන්නා. ඊට පහුවෙනිදාම කසල අංගනයට ගිය කාන්තාව පැය අටක් එතැන ඉඳගෙන කුණු වෙන්කිරීමේ කටයුතුවල නිරත වුණා. 
පෙන්ස්විල් අධිකරණයේදී දිනකට නඩු 30ක් විතර අසනු ලබනවා. මේ සියලු නඩුවලට පාහේ නඩුකාරයා දෙන්නේ අපූරැ විනිශ්චයන් නිසාම ඔහු මේ වෙද්දි මුළු අමෙරිකාවේම ජනප්‍රිය පුද්ගලයෙක් වෙලා. 
වරක් කැබ් රියැදුරෙකුට මුදල් නොදී පලාගිය තරුණියකටත් මයිකල් විනිසුරුතුමා ඉදිරියට එන්න සිදුවෙලා තිබුණා. වික්ටෝරියා නමැති 18 හැවිරිදි මේ තරුණියටත් විනිසුරුතුමා විකල්ප දෙකක් යෝජනා කළා. “එක්කෝ ඔබට දවස් 30කට හිරේට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ එකදිගට හැතැප්ම 30ක් පයින් ඇවිදගෙන යා යුතුයි” විනිසුරුතුමා නියම කළා. 

අන්තිමේදී තරුණිය තෝරාගත්තේ හැතැප්ම 30ක් පයින් ඇවිදගෙන යාමයි. විනිසුරැතුමා මේ විදිහේ දඬුවම් නියමකරන්නේ විනෝදයකට කියලා කෙනෙක් හිතුවොත් වැරදියි. මේ වැඩේ ඔහු කරන්නේ ලොකු පදනමක් ඇතුවයි.
“ලොකු උසාවියකදි වැරදිකරුවෝ වෙන අය කවුද කියලා හොයලා බැලුවොත්, ගොඩක් වෙලාවට ඒ අය මේ වගේ පහළ උසාවියකදි වැරදිකරුවෝ වෙලා, ඊට පස්සේ තව තවත් අපරාධවලට යොමුවෙච්ච අය. එයාලව හිරේ දැම්මට පස්සේ එයාලා තව තවත් අපරාධවලට යොමුවෙනවා. ඉතින් වැරදිකරුවන්ව හිරේ දානවා වෙනුවෙට වෙනස් විදිහේ දඬුවමක් පැනවූවොත් මේ අපරාධ රැල්ල නවත්තන්න පුළුවන් වෙයි කියලයි මම හිතන්නෙ” නඩුකාරතුමා එහෙම කියනවා. 

මයිකල් නඩුකාරයාගේ මේ අදහස ඇත්තක් බවට අද පත්වෙලා. අමෙරිකාවේ පහළ අධිකරණවල වැරදිකරුවන් වෙන අය නැවත නැවත වැරදි කිරීමේ 75ක ප්‍රතිශතයක් වාර්තාවෙද්දි පෙන්ස්විල් නගරයේ එම ප්‍රතිශතය 10ක් තරම් අඩු මට්ටමකට පත්වෙලා. 

abc news ඇසුරෙනි

► Text - Suranga   /   Pic -  Internet