2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

මරියලා හමුවෙන්නේ කලාතුරකින්

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:31 484

Art එකේ කැරට්ටුව..

- හඬ: ධර්මකීර්ති ශ්‍රී රංජන්

ජීවිතය කියන මහපාරේ ඇවිදගෙන යද්දී සියක් දහසක් දෙඇස් මුණගැසෙනවා.. හදවත් අස නතරවෙන, යළිඳු වෙන්වෙන, මඟ හැරෙන මිනිසුන් හමුවේ ඔහුත් මට හමු වූ කෙනෙක්. ඔහු ලියූ ජීවිතයේ අනිත් පැත්ත කියන නවකතාව  කියවද්දී එක මොහොතකට මම ඇල්බෙයා කැමූගේ පිටස්තරයා ළඟ නතර වුණා. මිලාන් කුන්දේරාගේ පියාපතක් වන් ජීවිතයක් තුළට එබිකම් කරන්න පටන් ගත්තා. 

චිංගීස් අයිත්මාතොව්ගේ ගුරු ගීතයේ ආදරණීය ගුරුවරයා දුයිෂෙන් හොයාගෙන ගියා. ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්.. මම ඔහු ඔබට මෙහෙම හඳුන්වා දෙන්නම්.. ඔහු ගත්කතුවරයෙක්. ගී පද රචකයෙක්.. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්.. කොළඹ විශ්වවිද්‍යාලයේ  ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යන අංශයේ වැඩ බලන අංශාධිපති සහ ප‍ර් යේෂණ මධ්‍යස්ථාන ප්‍රධානි ලෙස ඔහු දෙවුර දරන වගකීම් සම්භාරය  ඔස්සේත් ඔහු ඉටු කරන්නේ විසල් මෙහෙවරක්. විෂය මූලික සංකල්ප සිද්ධාන්ත සේම ජීවිතයත් උගන්වමින් නවමු මඟකට පරපුරක් කැටුව යන්නට යත්න දරන ආදරණීය ගුරුවරයෙක් ඔහු. හඬට හුස්මක් දෙන්නට ඔහුට අඬගසන්නට මට හිතුණේ ඒකයි.

ධර්මකීර්ති ශ්‍රී රංජන් කොහොමද...? මේ දවස්වල මොනවද වෙන්නෙ...? අපි ආගිය තොරතුරු කතා කරලම වැඩේ පටන්ගමු නේද?
මේ දවස්වලට ටිකක් අවිවේකීව තමයි ගතකරන්නෙ... හේතුව තමයි.. මම සේවය කරන විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු නිසා.. මේ දවස්වල පශ්චාත් උපාධි පාඨමාලාවන්වල ඉගැන්වීම් කටයුතු සහ විභාග වැඩකටයුතුවලත් යෙදිලා ඉන්නවා... ඒක නිසා නිදහස ටිකක් අඩුවෙලා තියෙන්නෙ....   

අපි එහෙනම් මතෘකාවට බහිමුද..?
ධර්මකීර්ති ශ්‍රී රංජන්ගේ හිතට තදින්ම කාවැදුන, ඔබේ ජීවිතයට බද්ධවුණ නිර්මාණයක් ගැන චුට්ටක් කියනවද? කොන්දේසියක් තියෙනවා.... ඒ නිර්මාණය සින්දුවක් වෙන්න නම් බෑ...?
ඔව්.. එහෙම නිර්මාණ කිහිපයක් තියෙනවා... ජීවිතය කියන මාතෘකාව සරල සමාජ කාරණාවක් විදියට කතා කරන්න අමාරු දෙයක්.... ශාස්ත්‍රීය ක්‍රමවේද හා සම්බන්ධ වෙනකොට විශේෂ කෘතීන් මගේ ජීවිතෙත් එක්ක සම්බන්ධවෙලා තියෙනවා. විශේෂයෙන් චිත්‍රපට... මෑතකාලේ කෘතීන් ගැන කතා කරනකොට සරිගම චිත්‍රපටය ඉතාමත් සුවිශේෂ රූපකාත්මක නිර්මාණාත්මක කෘතියක් බවට මගේ මනස තුළ තැන්පත්වෙලා තියෙනවා... සමාජයට ප්‍රබල පණිවිඩයක් දනවපු කෘතියක් විදියට මම මේ චිත්‍රපටය හඳුනාගන්නවා... මගේ විතරක් නෙමේ සමාජයත් එක්ක ගැටෙන, සමාජයත් එක්ක ජීවත්වෙන ඕනෑම පුද්ගලයෙක්ව ස්පර්ශ කරන්න පුළුවන් නිර්මාණයක් තමයි සරිගම චිත්‍රපටය. 

සරිගම චිත්‍රපටය සරල චිත්‍රපටයක් නොවෙන්න හේතු තියෙනවා... එකක් තමයි මේ නිර්මාණයට පාදකවුණු වෙනත් නිර්මාණ කීපයක්ම ලෝකය තුළ තිබීම... විශේෂයෙන්ම 1949 දී මේරියා වොන් ට්‍රෑක් විසින් රචිත ද වොන් ට්‍රෑක් ෆැමිලි ෆින්ගර්ස් නමැති ඇගේ ජීවිත කතාව ඇසුරු කරගත් නිර්මාණයත්, ඔස්කාර් සම්මාන හතක් දිනූ සවුන්ඩ් ඔෆ් මියුසික් කියන ඉංග්‍රීසි චිත්‍රපටයත් ඇසුරු කරගෙන තමයි ආචාර්ය සෝමරත්න දිසානායක මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ. මේ චිත්‍රපටය සරල තැනකට ගොනුකරන්න බැරි තවත් හේතුවක් තමයි එක පැත්තකින් පවුල ගැන සාකච්ඡා කරන, ආගමික බලපෑම සමාජයේ ප්‍රගමනයට බලපාන ආකාරයත්, මවුපියන් සහ දරුවන් අතර තියෙන මානූෂීය හැඟීම් ගැඹුරින් කතිකා කරපු නිර්මාණයක් නිසා... තව දෙයක් තමයි අතිශය සෞන්දර්යාත්මක වටපිටාවක මේ චිත්‍රපටය නිර්මාණය කර තිබීම...

මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේම ආගමික මුහුණවරකින්... ක්‍රිස්තියානි පල්ලියක් මුල්කරගෙන තමයි මේ චිත්‍රපටයේ චරිත ගොඩනැගෙන්නෙ.... විශේෂයෙන්ම පූජා උමාශංකර් පණපොවපු මරියාගේ චරිතය වටා තමයි අනිකුත් සියලු චරිත ක්‍රියාත්මක වෙන්නෙ... මරියාගේ තියෙන චර්යාත්මක කාරණාවන් සමාජයට අවශ්‍ය විදියට ගලපා ගැනීම, දරුවන් කෙරෙහි ඇය දක්වන සෙනෙහස, ඇය තුළ තිබෙන ආත්ම ශක්තිය, දරාගැනීම වැනි කාරණා විශේෂයෙන් කැපී පෙනෙනවා. මරියාගේ භූමිකාව අලංකාර ගීත තුළින් තවදුරටත් උත්තේජනය වෙනවා... මේ චිත්‍රපටයේ තවත් ප්‍රධානම චරිතයත් තමයි කැප්ටන් කියන්නෙ... ඒ චරිතය නිරූපණය කරන්නෙ අශාන් ඩයස්... ඔහු නාවික හමුදාවේ සේවය කරපු අයෙක්... අවසානයේ මරියා අශාන් ඩයස් සමඟ විවාහ ගිවිසගෙන පවුල් ජීවිතය හරියාකාරව ගෙවන ආකාරය තමයි මේ චිත්‍රපටයෙන් මූලිකව කතා කරන්නෙ... තව විශේෂ කාරණාවක් තමයි පවුල තුළ දරුවන් සකස් කිරීමේදී මවුපියන්ගේ වෘත්තීයන් තුළ තිබෙන විශේෂ කාරණා දරුවන්ගේ ආරක්ෂාව යොදාගන්නා ආකාරය සියුම් ලෙස මේ චිත්‍රපටය අරගෙන ඇවිත් තිබුණා... ඒක සමාජයට හොඳ ආදර්ශයක් කියලයි මට හිතෙන්නෙ... තමන්ගේ වෘත්තීයයන්වල තිබෙන යම් කාරණා දරුවන් රැකීමට යොදා නොගන්නවා නම් ඒ දරුවන්ගේ අනාගත යහපත් කරගන්න උදව්වෙනවා වගේම ඒ දරුවන් නිදහසේ ඇති දැඩිවෙන්න ඒක පිටිවහලක් වෙනවා... ඒ තුළින් නිවැරදි පෞර්ෂත්වයකින් යුක්ත දරුවන් නිර්මාණය කරලා සමාජයට දායාද කරන්න පුළුවන් කියන හැඟීම මේ චිත්‍රපටයෙන් දෙනවා... 

මේ චිත්‍රපටයේ නරඹද්දී ඔබට සමීපම වෙච්ච චරිතයක් එහෙම ඇති නේද?
ඔව්.. ඉන්නවා... 

මේ චිත්‍රපටයේ මම කැමතිම චරිතය වෙන්නෙ මරියාගේ චරිතය... පූජා තමයි මේ චරිතය නිරෑපණය කරන්නෙ. එහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා. ඇයගේ රංගන කෞශල්‍යය විශේෂයි... අනිත් කාරණාව තමයි ඇගේ රෑපය... ඇය ගොඩක් ආකර්ෂණීය තැනැත්තියක් වීමත් බලපෑවා... මරියා සමාජශීලි කෙනෙක් විදියට අනිත් අයට උදව්කරන චරිතයත් වීමත් ඇය කෙරෙහි ඇල්මක් ඇතිවීමට ප්‍රධාන සාධකයක් වුණා.... මේ චිත්‍රපටයේ අනිකුත් චරිතත් විශේෂයි.. මාලනී ෆොන්සේකා සහ අශාන් ඩයස් අතිදක්ෂ විදියට තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරලා සාර්ථකව රංගනයක නිරත වුණා....

ඔබ ඔච්චරම කැමති මරියා වගේ චරිතයක් ඔබේ සැබෑ ජීවිතයේදී මුණගැහිලා තියෙනවාද...?
මරියාගේ ජීවිතයේ තිබෙන සුවිශේෂි ලක්ෂණ එක පුද්ගලයෙකුට, එක කාන්තාවකට ඇති කියලා මම හිතන්නෙ නෑ... ඒක හරි කලාතුරකින් වෙන්න පුළුවන් දෙයක්... ඈ තුළ මම දැක්ක ගුණාංග විවිධ කාන්තාවන් තුළ මම දැකලා තියෙනවා. විශේෂයෙන් මම හිතන්නෙ පූජා මෙම චරිතය කරන්නෙ මවාගත්ත කෙනෙක් විදියට නෙවේ.. ඇගේ හදවතින්ම ආපු හැඩහුරුකම්වලින් කියලයි මට හිතෙන්නෙ... ඇයත් ගොඩක් දුරට මරියාට කිට්ටු චරිතයක් විදියට මම දකිනවා...

ඔබව කම්පනය කරපු අවස්ථා මේ චිත්‍රපටය පුරා ගොඩක් ඇති නේද... එකක් දෙකක් මතක් කරමුද?
මේ චිත්‍රපටයේ මම ගොඩාක්ම සංවේදී වෙන්නෙ.. මරියා දරුවන් සමඟ ගතකරන රූපරාමුවලට.. විශේෂයෙන්ම දරුවන්ට සංගීතය උගන්වන ආකාරය, දරුවන්ට හැසිරීම, ක්‍රීඩාව වගේ දේවල් කියලා දෙන විදියට සහ කැප්ටන්ට දරුවන් හැදීම පිළිබඳ දේශනයක් නැත්නම් අවවාදයක් දෙන තැන මම ගොඩාක් සංවේදී වුණා.... තව තැනක් තමයි කැප්ටන් එකක් විවාහ වුණාට පස්සේ කැප්ටන්ගේ වැඩිමහල්ම දියණිය මරියාට කියනවා ඔයා අම්මා කෙනෙක් වගේ කියලා... අන්න ඒ අවස්ථාවත් හදවතට තදින් දැනෙන තැනක්....

කොහොමද මේ නිර්මාණය මුලින්ම ඔබේ ඇස ගැටුණේ....
රේණුකා බාලසූරිය සහ සෝමරත්න දිසානායක විසින් මීට කලින් නිර්මාණය කරපු නිර්මාණ මම බලලා තිබුණා... ඒ නිසාම ඔවුන් එක්වී අලුත් නිර්මාණයක් කරපුවාම නිරායාසයෙන්ම අපිව පොළඹවනවා ඒ නිර්මාණය නරඹන්න... විශේෂයෙන්ම ශ්‍රී ලාංකීක සහ දකුණු ආසියාතික සෞන්දර්ය මානයන්, මානව සබඳතා, ආගමික කාරණා, සංස්කෘතික සම්බන්ධතා හරි අපූරැවට ගලපාගෙන කැමරා කාචයට හසුකර ගන්නවා.. අන්න ඒ නිසයි ඔවුන්ගේ චිත්‍රපට බලන්න මම පෙළඹෙන්නෙ.. එහෙම බලපු නිර්මාණයක් තමයි සරිගම. 

මෙච්චර ආසකරන නිර්මාණය කී පාරක් ඔබ නැරඹුවද?
දැනට මම පස් වතාවකට වැඩිය මම මේ නිර්මාණය නරඹලා තියෙනවා..

ඔබට මේ චිත්‍රපටය අවසානයේ දැනුණේ මොනවගේ හැඟීමක්ද.. ඒක වචනවලට පෙරළමුද?
ඇත්තමට මට හිතුණේ, මුළු සමාජයම මෙවැනි ආකාරයට ගමන් කරන්න පුළුවන් නම් කොච්චර හොඳද කියන එක.... පශ්චාත් නූතනවාදී සමාජයක සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරන නිර්මාණ බිහිවෙන්නෙ ගොඩක් අඩුවෙන්... නූතනයේ තිබෙන පසුබිම ඒක.. එහෙත් මේ නිර්මාණය පශ්චාත් නූතනවාදී සමාජයක සංස්කෘතිය ගොඩනගන්න දායකවෙලා තිබෙනවා... මිනිසාගේ බුද්ධිය අවදිකරන, සමාජය ආරක්ෂා කරන වැඩපිළිවෙළකට දායකවන නිර්මාණයක් ලෙස තමයි මට මේ චිත්‍රපටය දැනුණේ....
සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය ... ඔහු කතාවට නැවතුමක් එක් කරද්දි මගේ හිතට ආවේ ඒ හිතුවිල්ලයි.

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet