2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

අපේ සිනමාවද කෑවේ?

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

එක්තරා යුගයක සිංහල සිනමාවේ රැල්ලක් තිබුණා. ඒ කාලේ චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළ එක්තරා සිනමාකරුවෙක් දැන් චිත්‍රපටයක් කරලා නැහැ අවුරුදු 25කින් විතර.

ඒත් ඔහු තාමත් ජීවත් වෙන්නේ අර කියපු චිත්‍රපටවල මතකයන් එක්ක. කවුරුහරි කෙනෙක් කතාවට සෙට් වුණාම ලේසියෙන් ගැලවෙන්න බැහැ මෙයාගෙන්. එයාගේ කාලේ කරපු චිත්‍රපට ගැන, ඒ කාලේ කරපු හපන්කම් ගැන ඉතින් පුදුම කයිවාරුවක් ගහන්නේ. මෙයා ගැන දන්න අය නම් දැක්ක තැන ෂේප් එකේ මෙයාව මඟඅරිනවා.

කොහොමහරි දවසක් මේ හිටපු අධ්‍යක්ෂකවරයා පොළට ගිය වෙලාවක දැකලා අලුත් පරපුරේ නළුවෙක් එළවළු ගන්න ඇවිත් ඉන්නවා. එයාගේ බෑග් එකේ පලා වර්ගයක් තිබුණලු පේන්නට.
ආ කොහොමද? මෙහෙම කාලා බැහැ හරිද? අපේ කාලේනම් අපි හොඳට කෑවා කියලා අර පැරැණි අධ්‍යක්ෂකවරයා කිව්වලු.
අර නළුවා ගත් කටටම ඇහුවලු සිනමාවද කෑවේ? කියලා.

 

අදටත් එහෙමයි මල්ලි

දශක 5ක්  එක්තරා කලා ක්ෂේත්‍රයක නියැලී සිටි ප්‍රවීණ කලා ශිල්පියෙක් ඇගයීම සඳහා උත්සවයකි.

එම ශිල්පියා ළඟට ගිය පුවත්පත් කලාවේදියෙක් ඇහුවලු එදා වගේම අදත් ඔයා ළඟ නොවෙනස්ව පවතින එක ගුණයක් කියන්න කියලා.
මොනවද ඇහුවේ?

අදටත් එදා වගේම ඔබ සතු නොවෙනස් ගුණාංගයක්? 
අද වගේම තමයි එදත්, මට එකපාරටම අධ්‍යක්ෂකවරු කියපු දේවල් එක පාරටම මගේ ඔළුවට ගියේ නැහැ. දෙතුන් පාරක් අහලයි තේරුම් ගත්තේ. අදටත් එහෙමයි මල්ලි. අවුරුදු 50ක් ගෙවිලා ගියේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැහැ ඔහු කිව්වලු.

 

මාර නිවේදක

ඔන්න කලා ශිල්පිනියක් පසුගිය දවසක සුපිරි වෙළෙඳසැලක භාණ්ඩ මිලදී ගනිමින් සිටියදී ඇයට දුරකථන  ඇමතුමක් ලැබෙනවලු.

ගුවන් විදුලි නාලිකාවක ඇය හොඳින් දන්නා නිවේදකයෙක්. හා කොහොමද අක්කේ?
හොඳින් ඉන්නවා මල්ලී..

අක්කේ ඔයාට  හදිසි කරදරයක් වුණාම කාටද මුලින්ම කියන්නේ? එහෙම කරදරයක් වුණාම මුලින්ම කියන කෙනා තෝරන්නේ මොන පදනමක් මතද?
ඇයි මල්ලි එකපාරටම ඔහොම අහන්න හිතුණේ?
පොඩ්ඩක් ඔහොම ඉන්න අක්කේ. පොඩ්ඩක් ඔහොම ඉන්න.

දැන් මේ ශිල්පිනිය හිතුවේ අර නිවේදකයට වෙනත් දුරකතතන ඇමතුමක් ලැබෙන්නට ඇති කියාය.
එක පාරටම ඇයට මෙහෙම ඇහෙනවා. ඔව් අපි දැන් සජීවීව සම්බන්ධ කරගන්නේ අහවල් කලා ශිල්පිනියයි. ඔව් ඔබ කියන්න ඔබට  හදිසි කරදරයක් වුණාම මුලින්ම කාටද කියන්නෙ කියලා?
ඇය කරකියා ගන්න බැරි තැනකට තල්ලු වුණාලු.

පොඩ්ඩක් ඔහොම ඉන්න. මම දැන් ඉන්නෙ අහවල් සුපර් මාර්කට් එකේ. මට මේ වුණු කරදරය කාටද කියන්නෙ කියලා හිතලා කියන්නම් ඇය කිව්වලු.

 

► Text - Mithra