2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ඔක්කොටම කලින් ඉල්ලුවේ හඳහන

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:31 241

රුවන්.. මුලින්ම වාසනාව මුණගැහුණේ කොහොමද..?
අපි දෙන්නම එකම කැම්පස් එකේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ තමයි අපි දෙන්නම ඉගෙන ගත්තෙ. වාසනා මට වඩා අවුරුද්දක් බාලයි. අපි දෙන්නගේ හිතේ කිසිම විශේෂ හැඟීමක් තිබුණෙ නැහැ. කැම්පස් එකේදී මම කෙල්ලෙක් එක්ක යාළු වෙන්නෙ නැහැ කියන ප්‍රතිපත්තියේ තමයි හිටියෙ. ඒ නිසා මුළු කැම්පස් ජීවිතේම මම කෙල්ලෙක් එක්ක යාළු වුණේ නැහැ. ඉතින්.. ඒ නිසා වාසනා කියන්නෙත් මට කැම්පස් එකේදී සාමාන්‍ය ගෑනු ළමයෙක්. එයාටත් මාව සාමාන්‍ය චරිතයක් විතරයි.

කැම්පස් එකේ ගෑනු ළමයෙක්ට ආදරේ කරන්නෙ නැහැ කියන ප්‍රතිපත්තියේ හිටපු රුවන්ගෙ හිත කැම්පස් එකේදී දැකපු වාසනා ළඟ නතර වුණේ කොහොමද..?
මෙහෙමනෙ... කැම්පස් එකෙන් පස්සෙ ජීවිතේ එක එක කඩඉම් පසු කරපු මම රස්සාවල් කරලා, නළුවෙක් වෙලා, ප්‍රේම සම්බන්ධතා ඇතිකරගෙන, ඒවා කඩා වැටිලා, මේ හැමදේම අවසන්වෙලා ටික කාලයකට පස්සෙ දැන් මම කසාද බඳිනවා කියන ස්ථීර තීරණයක් ගන්නා කාලෙදී මට ආයෙමත් අහම්බෙන් වාසනාව මුණගැහුණා. ඇත්තටම ඒ මුණගැහීම ආයෙමත් ඇතිවුණේ මුහුණුපොත හරහායි. ඊට පස්සෙ අපි fb හරහා කතාබහ කරන්න පටන් ගත්තා. ඒ කතාබහෙන් පස්සෙ මම වගේම එයත් තනිකඩයි කියලා මම දැනගත්තා. ඊට පස්සෙ මම එයාව මුණගැහෙන්න කලින් එයා ගැන පොඩ්ඩක් කල්පනා කරන්න පටන් ගත්තා. ඒ කල්පනා කිරීමෙන් පස්සෙ තමයි මෙයා මට හොඳයි කියලා මම තීරණය කළේ. 

යෝජනාව ගෙනාවාම එයා මොකද කිව්වෙ..?
අපි දෙන්නා කතා කරද්දී අපි බොළඳ පෙම්වතුන් වගේ නෙමෙයි හිටියෙ. ඒ නිසා මෙහෙම නිතර නිතර මුණගැහෙන්නෙ, කතා කරන්නෙ විශේෂ දෙයක් නිසා කියලා අපි දෙන්නටම තේරුණා. ඒ නිසා ටිකක් ආශ්‍රය කළාට පස්සෙ අපි දෙන්නටම අපේ ගතිගුණ වගේම අපේ පසුබිම ගැලපෙනවා කියලා හිතුණා. එයාට යෝජනාව කරන්න කලින් මම එයාගෙන් උපන් වෙලාව ඉල්ලුවා. ඇත්තටම ඒ දේවල් හොයලා බලන්න ඕන වුණේ මට නෙමෙයි. යම්කිසි කාලෙක මගේ මව්පියන් එයාගෙන් උපන් වෙලාව ඉල්ලනවා කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා අපි දෙන්නා යාළුවෙලා පස්සෙ ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වුණොත් කියලා හිතලා මම මුලින්ම එයාගෙන් හඳහන ඉල්ලුවා. එයත් ඒක දුන්නා. ඒවායේ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඊට පස්සෙ මම ඒ තීරණය ගත්තා.

වාසනා ගැන රුවන් ගෙදරට කියද්දී ලැබුණු ප්‍රතිචාරය කොහොමද..?
ඔය කාලෙදී මගේ අම්මා ටිකක් අසනීපයෙන් හිටියෙ. අපි දෙන්නාගේ හඳහන් දෙක මම කෝකටත් තැන් දෙක තුනකින්ම බැලුවා. ඒ දෙකේම අවුලක් තිබුණේ නැහැ. හඳහන් බලලා මම තීරණය ගනිද්දී අම්මා අසනීපවෙලා ඉස්පිරිතාලෙයි හිටියෙ. ඉතින්.. දවසක් මම එයාවත් අම්මාව බලන්න ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා. මම එන්න පොඩ්ඩක් පරක්කු නිසා වාසනා මටත් කලින් අම්මගේ ඇඳ ළඟට ගිහින් අම්මා එක්ක කතා කරලා තිබුණා. එදා අපි දෙන්නම ඉස්පිරිතාලෙන් එළියට ආවේ එකටමයි. පහුවදා මම ඉස්පිරිතාලෙට තනියම ගිහින් අම්මාට වාසනා ගැන කියද්දීත් අම්මාට ඒක තේරිලයි තිබුණෙ. අම්මා වාසනාට කැමතිවෙලා මට හොරෙන්ම මගේ අක්කලා අයියලාට කියලා තිබුණා. ඉතින්.. ඒ අයත් කැමති වුණා. හැබැයි අපේ විවාහය සිදුවෙද්දී මගේ අම්මා ජීවතුන් අතර හිටියෙ නැහැ. අපේ විවාහ උත්සවය දෙසැම්බර් මාසෙ කරන්න තමයි හිතාගෙන හිටියෙ. හැබැයි සැප්තැම්බර් මාසෙ අම්මා මියගියා. ඒ නිසා අපි විවාහ වුණේ පෙබරවාරි මාසෙයි.

වාසනාට ආදරේ කරන්න හිතුණෙ ඇයි..?
වාසනා හරි අවංකයි වගේම හරිම බුද්ධිමත්. අධ්‍යාපනය වගේම හොඳ හිතීමේ හැකියාවක් වාසනාවට තියෙනවා. දකින දෙයට වඩා එතනින් එහාට යමක් තියෙනවා කියන අවබෝධය ඇය ළඟ තියෙනවා. සමාජයේ දකින කළු චරිත සමාජය ප්‍රතික්ෂේප කරද්දී ඒ චරිත කළු චරිත කියලා සමාජය හණ්වඩු ගසද්දී එහෙම වෙන්න මොනවා හරි හේතු තියෙන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ කියලා කියන්න අවබෝධය එයාට තියෙනවා. එයාට ජීවිතේ ගැන අවබෝධයක් තියෙනවා. ඒකට මම හරි කැමතියි.

එයාට කේන්ති යනවද..?
මම ඉස්සරහ එයාට කේන්ති යන ප්‍රමාණය හරි අඩුයි. එයා එහෙම කේන්ති යන චරිතයක් නෙමෙයි.

දෙන්නා හුවමාරු කරගත්ත මුල්ම තෑගිබෝග මොනවද..?
මම එයාට චිත්‍රයක් තෑගි කළා. ඒක ස්වාමින් වහන්සේ නමක් චිත්‍රයට නගපු පින්තූරයක්. ඒකට මම වගේම එයත් හරි කැමතියි. වාසනා මට මුලින්ම පෑනක් තෑගි කළා.

විවාහ උත්සවයට සූදානම් වුණේ කොහොමද..?
අම්මගේ මරණයත් එක්ක මම හිටියෙ හරිම දුකෙන්. මායි වාසනායි කසාද බඳිනවා කියලා තීරණය කරද්දීත් මම හිටියෙ අන්ත අසරණවයි. අම්මා තාත්තා නැතිව හිටපු මම තනියමයි ඒ කාලේ ජීවත් වුණේ. අපි පොරොන්දම්වලට නැකැතක් බලද්දී අපිට නැකැත් දවස් හතරක් ලැබුණා. ඒ එක දවසක් මගේ උපන් දින දවසට යෙදිලා තිබුණා. ඒ නිසා වාසනායි මමයි දෙන්නම ඒ දවසට චාම් විවාහ උත්සවයක් ගන්න තීරණය කළා. හැබැයි සති පහක් වගේ කාලයක් තමයි ඒකට සූදානම් වෙන්න තිබුණෙ. අපේ විවාහ උත්සවය සැලසුම් කරන්න මගේ දහම් පාසලේ ජනක මල්ලිගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. විවාහ වුණාට පස්සෙ අපි බොහොම ටික කාලයක් වාසනාගේ මව්පියන් එක්ක හිටියා. ඊට පස්සෙ අපි දෙන්නා වෙනම නිවෙසක පදිංචි වුණා.

වාසනා එක්ක ගෙවන ජීවිතය ගැන රුවන් මොකද හිතන්නෙ..?
ඒ ජීවිතේ හරිම ජොලි. අපි ගෙදර වැඩ ටික දළ වශයෙන් දෙකට බෙදාගෙනයි කරන්නෙ. මම වගේම වාසනාත් එයාගේ රැකියාවත් එක්ක කාර්යබහුලයි. ගෙදර උයන පිහින වැඩ ටික කරන්නෙ වාසනා. මම ගෙදර අස්පස් කරනවා. මට ෂූටින් නිසා ගෙදර නැති දවස්වලට වාසනා උයන්නෙ නැහැ. එයා රැකියාව කරන තැනින් කෑම ටික ගන්නවා. ඔය වගේ අපි දෙන්නා ගෙදර වැඩ ටික එකතුවෙලා කර ගන්නවා. අපි බොහොම නිදහසේ ඉන්න දෙන්නෙක්. සමහරදාට මම උයන වෙලාවලුත්, එයා ගෙදර අස්පස් කරන වෙලාවලුත් තියෙනවා. ඒක අපිට ගාණක් නැහැ. ඇත්තටම එයා එක්ක ගත කරන ජීවිතය හරි නිදහස්. එයා එක්ක මට ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කරන්නෙත් කියන්න පුළුවන් දේවල්. ඒ නිසා මට හැමදෙයක්ම එයාට කියන්න පුළුවන්. එයත් එහෙම තමයි.

විවේක වෙලාවට දෙන්නා මොනවද කරන්නෙ..?
අපි දෙන්නා චිත්‍රපට බලන්න හරි ආසයි. සමහර දවස්වලට එළියට ගිහින් සිනමාශාලාවක චිත්‍රපටයක් බලනවා. එහෙම නැත්නම් ගෙදර දී බලනවා. එයා ගෙදර විවේකීව ඉන්නවානම් පොත් කියවනවා. කොහොමටත් අපි දෙන්නම පොත් කියවන්න හරි කැමතියි.
ඔන්න ඔහොම තමයි වාසනා ගැන රුවන් කිව්වෙ. දැන් අපි බලමු රුවන් ගැන වාසනා කිව්වෙ මොනවද කියලා.

වාසනා.. මතකද විශ්වවිද්‍යාලයේ දී රුවන්ව මුණගැහුණු කාලය..?
ඔව්.. මතකයි. එතකොට අපි දෙන්නා අතරේ ලොකු ආශ්‍රයක් තිබුණේ නැහැ. ඒ දවස්වලත් රුවන් නාට්‍යවලට එහෙම සම්බන්ධවෙලා හිටියා. ඒ නිසා එහෙම මතකයක් තිබුණාට ලොකු ආශ්‍රයක් කැම්පස් එකේදී අපි දෙන්නා අතරේ තිබුණෙ නැහැ.

මුහුණුපොත හරහා නැවතත් හඳුනාගත්ත රුවන් මොනවගේ කෙනෙක්ද..?
මුහුණුපොත හරහා හඳුනාගත්තෙ, කතාබහ කළේ විශ්වවිද්‍යාලයේදී අපි හඳුනාගෙන තිබුණු නිසයි. ඒ නිසයි අපි කතාබහ කළේ. ඒ කතාබහේ දී අපි දෙන්නගේ අදහස් ගැලපෙනවා කියලා මට තේරුණා. එයා හරි අවංකයි කියලා තේරුණා. මාව වෙනස් කරන්න එයාට ඕන වුණේ නැහැ. මට මගේ විදිහට ජීවත් වෙන්න එයා ඉඩ දුන්නා. ඒ නිසා එයා එක්ක විවාහ වෙනවා කියලා මම තීරණය කළා.

රුවන් ගැන ගෙදරට කියද්දී වාසනාගේ ගෙදරින් මොකද කිව්වෙ..?
මම මුලින්ම කිව්වෙ මගේ අම්මටයි. ඊට පස්සෙ තමයි අම්මා ගෙදර අනික් අයට කිව්වෙ. මුල් කාලෙදීම අම්මට කිව්වට පස්සෙ අම්මා රුවන්ට කැමති වුණා. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි මමයි නංගිලා දෙන්නයි. ඒ දෙන්නත් දැන් විවාහකයි.

රුවන් ආදරය ප්‍රකාශ කරන්නත් කලින්ම වාසනාගේ හඳහන ඉල්ලුවනෙ.. එක පාරටම හඳහන දෙන්න තරම් ඔයාගේ හිතෙත් එයා ගැන ආදරයක් තිබුණා නේද..?
මෙහෙමයි.. ඔය කාලෙදී අපි දෙන්නා කතා කරමිනුයි හිටියෙ. ඉතින්.. ඒ වෙද්දීත් රුවන් මට පෙම්වතෙක් නැහැ කියලා දැනගෙන හිටියා. එයා මගෙන් ගෙදරින් වෙන ප්‍රොපෝසල් හොයනවද? කියලා එහෙමත් අහලා තිබුණා. ඔය වගේ දේවල් අහලා තමයි රුවන් මගෙන් උපන් වෙලාව ඉල්ලුවේ. ඇත්තටම මම එයා ඉල්ලන්නෙ එයාටමද කියලා හිතුවෙ නැහැ. මගේ උපන් වෙලාවෙන් එයා වැරැද්දක් නොකරන බව මම විශ්වාස කළා. ඒ නිසා මම රුවන්ට මගේ උපන් වෙලාව දුන්නා. එයා මගෙන් එක පාරටම අපි විවාහ වෙමුද? කියලා ඇහුවේ නැහැ. හැබැයි යාළුවෝ විදිහට ආශ්‍රය කරපු ටික කාලය තුළදී අපි බොහෝ සමීප වුණා. වචනවලින් ප්‍රකාශ කරන්න කලින් අපි දෙන්නා අතරේ අප්‍රකාශිත ආදරයක් ඇතිවෙලයි තිබුණෙ. වචනවලින් ප්‍රකාශ කරද්දී අපි දෙන්නම ඒක දැනගෙනයි හිටියෙ.

රුවන්ට කේන්ති යනවද..?
සමහර වෙලාවට එයාට කේන්ති යනවා. මම නම් කේන්ති ගියාම අඬලා හරි ඒක නිවාගන්නවා. රුවන් කෑගහන්නෙ හරිම අඩුවෙන්. එයා කේන්තිය නිවාගන්නෙ නිහඬව ඉඳලයි.

රුවන් එක්ක ගත කරන ජීවිතේ ගැන වාසනා අද මොකද හිතන්නෙ..?
හොඳයි.. අපි දෙන්නම ටිකක් කාර්යබහුලයි. ඒ නිසා ගෙදර වැඩවලට එයාගෙනුත් මට සහයෝගය ලැබෙනවා. වගකීම් දරන්න එයා කැමතියි. ඇත්තටම එයා එක්ක ගත කරන ජීවිතයට මම හරි ආදරෙයි.

 

► Text - Dishani &  Pic -  Internet