2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

මවුගුණය වැක්කෙරුණු ඒ මොහොතට මම ආසයි

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 136

Art එකේ කැරට්ටුව..

හඬ: නිශ්ශංක දිද්දෙණිය

ඇවිදගෙන ඇවිල්ලා මම නතර වුණේ ටවර් රඟහලේ දොරටුව ඉස්සරහා..... දෙපාරක් නොසිතා මම ටවර් එකට ඇතුළු වුණේ සිංහයෙක්ව මුණගැහෙන්න හිතාගෙන.....

හම්බවෙන්න ආපු සිංහයා... පීඨිකාවේ කෙළවරකට වෙන්න අසුන්ගෙන... 

ආයුබෝවන්...
ආයුබෝවන්...

අද අපේ චරිතය... රටක් ආදරය කරන රංගන ශිල්පියෙක්....
විශේෂ ආලවට්ටම් නැතුවම මම එයාව හඳුන්වා දෙන්නම්කො... 
වේදිකාවට නැතුවම බැරි යෝධ පෞර්ෂත්වය... 
නිශ්ශංක දිද්දෙණිය... 

නිශ්ශංක කියන්නෙ දක්ෂතා ගොඩක එකතුවක්. රංගනයට, ගායනයට වගේම නිවේදනයටත් ලොකු හැකියාවක් ඔහු සතුයි... වේදිකාවෙන් ප්‍රේක්ෂක හදවත්වලට එබිකම් කරපු ඔහු ඉස්සර වගේම තාමත් ඒ හදවත්වලම පැලපදියම් වෙලයි ඉන්නෙ... පුංචි තිරයටත්, පුළුල් තිරයටත් දැන් ඔහු නැතුවම බැරි රංගන ශිල්පියෙක් බවට පත්වෙලා... ඒ හැමදේකටම වඩා ඔහු පොළොවේ පය ගහලා ජීවත්වන ආදරණීය මනුස්සයෙක්... ඒ තමයි අපි නිශ්ශංක දිද්දෙණිය ගැන අහලා දැකලා තියෙන විදිහ...

අනං මනං වැල්වටාරම් නැතුව පහසු තැනකින් අපි අදත් පටන් ගමු. ඒ එයාගේ ජීවිතයෙන්ම... කියමුද මේ දවස්වල වත ගොත ටිකක්...?
ටිකක් කාර්යබහුලයි... ගී රඟ සොබා කියන නාට්‍ය ගීත ප්‍රසංගය පහුගිය දවස්වල කීපවතාවක්ම රංගගත කළා... උසස් රසාස්වාදයක් තියෙන නාට්‍ය බලලා පළපුරැදු ප්‍රේක්ෂකයන් ගොඩක් කැමතියි ඒකට.. හේතුව තමයි අපේ පැරැණි නූර්ති නාඩගම්, ටීටර් ගීත සහ නව නාට්‍ය ගීත විස්සක් තිහක් විතර ඒ ප්‍රසංගයේ ගායනා වෙන නිසා... සරච්චන්ද්‍රයන් නිෂ්පාදනය කරපු ප්‍රේමති ජායතී සොකෝ නාට්‍යය රඟපාලා ඒ අත්දැකීම් ඇසුරෙන් ඉදිරියේදී මම පොතක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා... තව ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රසංග කීපයක් සඳහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා...  ඕවා තමයි...
එයා ඒ දුන්න උත්තරයෙන් සෑහීමකට පත්වෙලා දැන් ආපු වැඩේට බහිමු... 
හරි මම මෙහෙම අහන්නම්... 

ඔබේ ජීවිතය වෙනස්කරපු නිර්මාණයක් ගැන කතා කරමුද? 
නිශ්ශංක රඟපාපුවා අපි ඕනතරම් බලලා තියෙනවනේ... ඒව ගැන නෙමේ... 

හරි මෙහෙම කියමුකෝ... 
ඔබේ නොවන, ඔබේම කරගන්න හිතුණ නිර්මාණයක් ගැන කතාකරමු කියලා කිව්වොත්... ඔබ තෝරගන්නෙ මොකක්ද? හැබැයි සින්දු බෑ...  එකඟද?
එක එල්ලේ ඒ දෙනෙත් මගේ දිහාවට එල්ල වුණා..... ඔහු එකඟයි..

එවැනි නිර්මාණ ගොඩක් මට තියෙනවා..
මම කැමති චිත්‍රපට තිබුණත් අද මම තෝරගන්නේ වේදිකා නාට්‍යයක්... මොකද ප්‍රථම ප්‍රේමයට තමයි ගොඩක් කැමති... මොන කලා මාධ්‍යය තිබුණත් මගේ ප්‍රථම ආදරය හිමිවුණේ වේදිකා නාට්‍යයට... හෙන්රි ජයසේනයන් පරිවර්තන නාට්‍යයක් විදියට නිෂ්පාදනය කරපු හුණුවටයේ කතාව තමයි මම අද තෝර ගන්නෙ.. 

මේ නාට්‍යය මුලින්ම නිෂ්පාදනය කරන්නෙ බ්‍රර්ටෝල්ට් බ්‍රෙෂ්ට් එක්දහස් නමසිය හතළිස් හතරේ... එක්දහස් නමසිය හැටහතේ තමයි සිංහලට පරිවර්තනය කරලා හුණුවටයේ කතාව නිෂ්පාදනය කරන්නෙ... ඒ කාලෙ වෙනකොට මම මගේ විශ්වවිද්‍යාල ජීවිතය ගතකරමින් හිටියේ... ඉස්සෙල්ලාම මේ නාට්‍යය ප්‍රදර්ශනය කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රඟමඬලේ... කවුරුත් ආදරෙන්  වළ කියලා හඳුන්වන්නෙ ඒකටම තමා.... දැන්නම් ඒක සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬල කියලා නම් කරලා තියෙනවා...  එදා මේ නාට්‍යය බලන්න 7000ක විතර පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආවා... ගස් උඩ, තාප්ප උඩ ඉඳන් තමයි කට්ටිය මේ නාට්‍යය බැලුවේ... මේ නාට්‍යයේ සංගීතය ඉතාම ප්‍රබලයි.. ෂෙල්ටන් ප්‍රේමරත්න තමයි මේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා... ඔහු ඉතාම විශිෂ්ඨ විදියට ඔහුටම ආවේනික ක්‍රමයට ඒ කාර්යය කරනවා... එළිමහන් රඟහලේ අපි රැස් කකා බලා උන්නු මොහොතේ.... එකපාරම පළමු සීනුව නාද වුණා.. දෙවන සීනුවත් නාද වුණා... ෂෙල්ටන් ප්‍රේමරත්නගේ තේමා වාදනයෙන් මුළු ශාලාවම විශ්මයට පත්වුණා... මට අද වගේ මතකයි.. ගෘෘෂා අර වැල් පාලමේ දරුවත් අරගෙන යන දර්ශනය ස්වභාවික විදියට තාත්වික විදියට ප්‍රේක්ෂකයාට දැනෙන්න මූලිකම හේතුව වුණේ ඔහුගේ ඒ අති විශිෂ්ඨ සංගීතය... ඇත්තටම අපිට හිතෙනවා... ලොකු ප්‍රපාතයක් මේ පාලම යට තියෙනවා කියලා.... ඒ තරම්ම සියුම් විදියට සංගීතය පාවිච්චි කරලා තිබුණා. මට කියන්න මඟහැරුණු තැනක් තිබුණා... තේමා සංගීතයෙන් පසු එකපාරටම පොතේ ගුරා විදියට ඉදිරියට එන්නෙ විජේරත්න වරකාගොඩ... සාමාන්‍යයෙන් වෙනත් වේදිකා නාට්‍යවල දකින පොතේගුරුගේ විලාසයක් නෙමේ විජේරත්න වරකාගොඩගෙන් අපි දැක්කේ... බැලු බැල්මට ආකර්ෂණීය පෙරදිග පොතේ ගුරුගේ මුහුණුවරක් නැතුව.. දිග කලිසමක් සහ අත්දිග කමිසයට හුරු ඇඳුමක් ඇඳගෙන... සපත්තු දාගත්ත කෙනෙක්... ඉතාම කෙටියෙන් මම කියන්නම් මේ කතාව ගලාගෙන යන විදිය... රජ පවුලක සිදුවීමක් මූලික කරගෙන තමයි මේ නාට්‍ය නිර්මාණය වෙන්නෙ... එක්තරා යුද්ධයකදී රැජින රාජධානියේ තිබෙන සියලු වස්තුව රැගෙන පලා යනවා.. නමුත් ඇයගේ දරුවා නැත්නම් රජ කුමාරයාව දාලා යනවා.. රැජිනගේ සේවිකාව විසින් එම කුමාරයාව කරදර කම්කටොලු මැද ඇති දැඩි කරනවා... පසුව රැජින පැමිණ දරුවාගේ අයිතිය ඉල්ලවා... මේ ගැටලුව අධිකරණයට යන සිද්ධියක් තමයි මේ නාට්‍යයෙන් කතා කරන්නෙ... ධනවාදී ආර්ථික සමාජයක් තමයි මේ නාට්‍යයට පසුබිම වෙන්නෙ.. අනෙකාව තලා පෙලා දාන ආර්ථිකයක්... ගොඩක්දුරට මට මේ නාට්‍යය දැනෙන්න ඒක බලපාන්න ඇති... මොකද අපේ රටෙත් තියෙන්නෙ ඒ වගේ වාතාවරණයක් නිසා... විශේෂයෙන්ම බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යවල තිබෙන විශ්ෂත්වය තමයි.. මිනිසුන්ව ඥානනය කිරීමේ ලක්ෂණය.. ඔහුගේ ප්‍රසිද්ධ මතයක් තිබුණා සමාජය වෙනස් කළ යුතුය, වෙනස් කළ හැකිය කියලා... මේ සියල්ලම නිසාම තමයි මට මේ නාට්‍යය ගොඩක් දැනෙන්නේ.. 

හුණුවටයේ කතාවේ ඔබ කැමති චරිත තෝරන්න කිව්වොත් ඔබ තෝරන්නෙ කාගෙ චරිතයද?
මේ නාට්‍යයේ හැම චරිතයක්ම වගේ හොඳට හසුරුවලා තිබුණා... පළවෙනි වසරේ සිසුවෙක් විදියට මම දැක්ක දේ තමයි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, අසඩක් කියන පාදඩ මිනිහෙක්ව තමයි විනිසුරු විදියට පත් කරන්නෙ... ඔහු එහෙම කළේ එම චරිතය තවත් හෑල්ලුවට ලක්කරන්න... ධනවත් මිනිස්සු නීතිය අවභාවිත කරන ආකාරය තමයි එයින් ඔහු කියන්න උත්සාහ කළේ... නාට්‍යකාරයෙකුට පුළුවන් ඕනම චරිතයක් ඕන විදියට හැඩගස්වල... මිනිසුන්ගේ ඇස් ඇරවන්න... සමාජයට ඇත්ත හෙළිදරව් කරන්න... නමුත් අසඩක් විනිසුරු දෙන තීන්දුව අතිශය සාධාරණයි.. ඒ චරිතය හැසිරුව ආකාරය මම ගොඩක් කැමතියි. 

මේ නාට්‍යයේ ඔබ කැමතිම, ඔබව සංවේදී කරපු රෑප රාමු ඇති නේද?
ඔව් මම ගොඩක් කැමතියි.. අවසාන රූප රාමු කිහිපයට... යුද්ධය දැන් නිම වෙලා... සියලු සම්පත් දේපල අයිතිවෙලා තියෙන්නෙ මයිකල් කුමාරයාට... ගෘෘෂා සහා රැජනය දරුවාගේ අයිතියට තර්ක කරනවා.. නඩුකාරයා මැද හුණුවටයක් ඇඳලා කුමාරයාව මැදින් තියනවා... දරුවාගේ සැබෑ අයිතිය තියෙන කෙනා දරුවාව තමන්ගෙ පැත්තට ඇදගනීවි කියලා විනිසුරු කියනවා... දරුවාගේ අතට හානියක් වෙයි කියලා ගෘෘෂා අදින්නෙ නෑ.. රැජන දරුවාගේ සැබෑ අම්මා වුණාට... ඇය දරුවාගේ අතින් ඇදලා ගන්නවා... වැදූ මව තමයි දරුවාව දාලා ගියේ... සියලුදෙනාට ඒත්තු යනවා සැබෑවට දරුවාට ආදරේ මවුගුණේ සැබෑවට තියෙන්නෙ මොන මවටද කියලා... අන්න ඒ මොහොතට මම ගොඩක් කැමතියි... 

මේ නාට්‍යය කී වතාවක් බැලුවද?
කීපවතාවක්ම මම මේ නාට්‍ය රසවිඳලා තියෙනවා...  

නිශ්ශංකට මේ නාට්‍ය රසවිඳලා අවසානයේ.. මොනවගේ හැඟීමක්ද හිතට ආවේ.. 
මම රත්නපුරේ පැල්මඩුල්ල ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගන්න කාලේ ඉඳලා නාට්‍ය නරඹලා හොඳ පුරැද්දක් තිබුණා... අපේ ගෙදර ඉඳලා රත්නපුර ටවුමට හැතැක්ම දොළහක් විතර තිබුණා... අපි රත්නපුර නගර ශාලාවට කොහොමහරි ගිහින් නාට්‍ය නරඹනවා.. ඒ බලපු නාට්‍යවලට සම්පූර්ණයෙන් වෙනස් නාට්‍යයක් තමයි හුණුවටයේ කතාව කියන්නෙ... වෙනස්ම ශෛලියක් තිබුණ නිසා මට ගොඩක් ආස හිතුණා... කොච්චර ආස හිතුණද කිව්වොත් මේ නාට්‍යයේ දෙබස් අපි නිතර නිතර කියන්න ගත්තා.... අවසානයේ ආනන්දයෙන් ප්‍රඥාව ලැබුවා වගේ හැඟීමක් දැනුණා...

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet