2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

මගේ ජීවිතේ හුඟාක් දේවල් හරිම අහම්බයක්

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

ඔබ විසින් රචිත දුරම ගමනක් ග්‍රන්ථය සහ සංයුක්ත තැටිය පසුගියදා එළිදැක්වුණා. ඒ පිළිබඳව අපි මුලින්ම කතා කරමු..?
ඔව්.. මම රචනා කළ දුරම ගමනක් සහ සංයුක්ත තැටිය ජූලි මස විසිහත් වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදැක්වුණා. මෙම සංයුක්ත තැටියේ මා විසින් ලියූ ගීත දහඅටක් අන්තර්ගත වෙනවා. ගීත තැටියත් පොතත් දෙකම හැඳින්වූයේ දුරම ගමනක් නමිනුයි. පොතේ තියෙන්නෙ ඒ ගීත දහඅට ලියන්න පාදක වුණු කතාවයි.

අපි ඔබේ ළමා කාලය ගැනත් ටිකක් කතා කරමු..?
මම ඉපදුණේ රත්නපුර නිවිතිගල වටාවන කියන ගමෙයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. අපේ අධ්‍යාපන කටයුතුවලට මව්පියෝ ප්‍රධාන තැනක් ලබාදුන් නිසා රත්නපුරේ ඉඳන් අපි කොළඹට කිට්ටුව පාදුක්ක ප්‍රදේශයේ පදිංචියට ආවා. ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා මම කොළඹ නාලන්දා විද්‍යාලයෙනුත් ඉන් පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලැබුවා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. 2000 වසරේදී වෛද්‍යවරයෙකු ලෙස මුල්ම පත්වීම ලැබුවා.

වෛද්‍ය විද්‍යාව හැදෑරූ ඔබ අතින් ගීත නිර්මාණ බිහිවුණේ කොහොමද? පාසල් යන කාලේ ඉඳන්ම ඔබට ගී පද ලිවීමට හැකියාව තිබුණාද..?
මගේ ජීවිතේ බොහෝ දේවල් සිදුවුණේ හරිම අහම්බෙන්. පාසල් යන කාලෙදී මම බිත්ති පුවත්පතකට ලිපියක් ලියලවත් තිබුණෙ නැහැ. උසස් පෙළට මම මුලින්ම තෝරාගත්තේ ගණිත විෂය ධාරාවයි. ඒක ප්‍රධාන හේතුව වුණේ විද්‍යා විෂය තෝරාගත්තොත් බොහෝ පොත්පත් කියවන්න පුළුවන් නිසයි. ඒත්.. මාස තුන හතරක් ගණිත විෂය ධාරාව ඉගෙන ගත්ත මම ආයෙමත් විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරුවා. එහෙම පොත් කියවන්න, ලියන්න අකමැති වුණු මම 2006 වසරේදී පොතක් පවා ලිව්වා.

ඔබ විසින් ලියූ මුල්ම ගීතය ගැයුවේ මේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක් වන සුනිල් එදිරිසිංහයන් විසින්. ඒ අවස්ථාව උදා වුණේ කොහොමද..?
මම කාලයක සිට පොඩි පදවැල් ලිවීමේ පුරුද්දක් ඇතිකරගෙන තිබුණා. අවුරුදු ගාණක ඉඳන්ම නවරත්න ගමගේ මහතා මාත් එක්ක බොහොම හිතවත්. මාව ගී පද රකචයකු කළේ නවරත්න ගමගේ මහතායි. මම පෙන්වූ පදවැල් ටික දැකපු නවරත්න ගමගේ මහතා මේක ගොඩක් හොඳයි. මම මේකට මියුසික් කරන්නම්. අපි මේක සින්දුවක් කරමු කියලා යෝජනා කළා. ඒත් සමඟම ඔහු මාව තවත් ගීත ලියන්න දිරිගැන්වූවා. මම ලියපු මුල්ම ගීතය තමයි සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන,

කටේ කිරි සුවඳ නොගියද
හිතේ මහ බරක් නැතුවද
පාවී එන මහ සුළඟක පුතු තනිවෙනවා
ඒ සුළඟේ රහස් කතා පුතු රවටනවා

එම ගීතයත් සමඟ ඔබ ලියූ තවත් ගීත දෙකක් ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කළා. එහෙම නේද..?
මම ලියූ මුල්ම ගීතය සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරද්දී ඒ ගීතයත් එක්කම තවත් ගීත දෙකක් මගේ අතින් ලියවුණා. ඒ සිව් වසරක් ගීතය හා ඔබ රුව දැක කියන ගීතයයි. මගේ මුල්ම ගීත තුන මේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙකු ගායනා කිරීම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා. ඒ ඔස්සේ මට තවත් නිර්මාණ කරන්න කැමැත්තක් ඇතිවුණා වගේම ඔවුන්ගෙන් මට ගුරුහරුකම් හා ආශිර්වාදය ලැබුණා. 

 

► Text - Dishani  /   Pic - Internet