2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

රතු විස්සයි විස්ස

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

RED ප්‍රදර්ශනයේ සංවිධායිකාව ලෙසින් එම ප්‍රදර්ශනය සම්බන්ධව විස්තරයක් මුලින්ම කියමුද?
ඔව්. අපි මෙම ප්‍රදර්ශනය හැඳින්වූයේ RED කියන නමින්. මෙය කාන්තා ශිල්පින් පමණක් එකතු වී කරනා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයක්. මෙහිදී දෘෂ්‍ය කලා ශිල්පින් RED කියන තේමාව මූලික කරගන්නට හේතු කිහිපයක්ම බලපෑවා. රතු කියන වර්ණය අතීතයේ ඉඳන්ම කාන්තාවන්නට බොහෝම සමීපයි. මුල් කාලයේදී ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පොදු වූ වර්ණයක් වුවත් පසුකාලීනව එය වැඩිපුරම කාන්තාවන් මූලික කරගත් වර්ණයක් විදිහට තමයි සියලුම සංස්කෘතිවලින් සමාජය විසින් වෙන් කරලා තියෙන්නේ. හින්දු සංස්කෘතියේත්, සිංහල සංස්කෘතියේත්, බටහිරි ජපන්, චීන සංස්කෘතියේත් වැඩිපුරම කාන්තා නියෝජනයක් කරන වර්ණකයක් විදිහට තමයි රතු හැඳින්වූයේ. මේ නිසා කාන්තාවන් සමූහයක් එකතු වී කරනා මෙම ප්‍රදර්ශනයන් රතුවලින්ම විවිධ අර්ථකථන දෙන්නට උත්සාහ කළා.

ඒ මොන වගේද?
මෙහිදී එන සංස්කෘතියට විතරක් අපි කොටුවන්නේ නැහැ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයන් පමණක් නොව යාපනය විශ්ව විද්‍යාලයේ දෘෂ්‍ය කලා ශිල්පින්, කොළඹ විශ්ව විද්‍යාලය ශ්‍රීපාලි මණ්ඩපයේ දෘෂ්‍ය කලා ශිල්පිණියන් (ආදි විද්‍යාර්ථයන්) මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා බලාපොරොත්තු වන ශිල්පින් ද මෙම ප්‍රදර්ශනයට සම්බන්ධ වෙනවා. ඒ දෘෂ්‍ය කලා ශිල්පින්ගේ සංස්කෘතිය අනුව ඔවුන් මෙහිදී නියෝජනය කරනවා. රතු වර්ණයත් සමඟ ඔවුන් තම නිර්මාණ ප්‍රකාශ කරනවා. කාන්තාවන් ලෙසින් තමන්ගේ සංස්කෘතියට තමන්ට දැනෙන දේ, පසුගිය පාස්කු වැනි සිදුවීම්වලින්, දැනෙන හැඟීම් රතු වර්ණයන් සමඟ නිර්මාණයකට මුසු වේවි. මෙහිදී ඉතාම නිදහසේ ඔවුන් තම හැඟීම් ප්‍රකාශ කරනවා. විකිණීමේ පරමාර්ථයෙන් අඳින ලද චිත්‍ර නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ හැම නිර්මාණයක්ම අවංක හැඟීම් ප්‍රකාශ වීමක්. මෙහිදී චිත්‍ර, මූර්ති නිර්මාණවලින් සමන්විතයි.

නිර්මාණ ප්‍රදර්ශනයට අමතරව තවත් සුවිශේෂී කටයුත්තක් ද මෙහිදී සිදුවෙනවා නේද?
ඔව්. ප්‍රදර්ශනය අරඹන මුල් දිනයේ සියලුම ශිල්පින් සාමූහිකව නිරූපණ කලා අංශයක් තමන්ගේ කෘතියත් සමඟ ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ ප්‍රදර්ශනය ගොඩක් විශේෂිත වේවි. එක වර්ණකයක් මූලික කරගෙන කාන්තාවන් පමණක්ම ඉදිරිපත් කරන මෙම ප්‍රදර්ශනයේදී එම නිරූපණ අංගය සියලුම දෙනා එකතු වී කිරීම තුලිනුත් මෙම ප්‍රදර්ශනය සුවිශේෂ වේවි.

කීදෙනෙක් පමණ මෙම ප්‍රදර්ශනයට දායකත්වය ලබලා දීලා තියෙනවද?
මෙම ප්‍රදර්ශනයට කාන්තාවන් විසි දෙදෙනෙක් සහභාගී වෙනවා. ඒ අතර සිංහල, බෞද්ධ බහුතරයක් සමඟ හින්දු ආගමික ද්‍රවිඩ සංස්කෘතික කාන්තාවන් මෙන්ම මුස්ලිම් දෘෂ්‍ය කලා ශිල්පිණියක් ද මෙයට සහභාගී වෙනවා. ඒ සියලු දෙනාම තමතමන්ගේ සංස්කෘතීන්වලින් රතු වර්ණයෙන් ඔවුන්ට දැනෙන දේ නිර්මාණයක් තුළින් ප්‍රකාශයට පත් කරනවා. මෙය  සාමූහිකව කරන ලද අපූරු ප්‍රදර්ශනයක්.

මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කවදාද?
මෙම ප්‍රදර්ශනය අගෝස්තු මස නවවැනි සිකුරාදා ආරම්භ වෙනවා. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ මෙය පැවැත්වෙනවා. අගෝස්තු 9 වැනිදා සිට 11 වැනි ඉරිදා දක්වා උදෑසන නවයේ සිට රාත්‍රී හත වනතුරු මෙම ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට හැකියාව තියෙනවා. මෙය අලුත් අත්දැකීමක්. ඒ අපූරු අත්දැකීම විඳින්නට සියල්ලටම අපි ආරාධනා කරනවා.

 

Text - Dishani  /   Pic - Internet