2019 ජුලි 20 වන සෙනසුරාදා

මගේ වැඩේම වෙලට ගිහින් මාළු අල්ලපු එක

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 380

රංගි.. අපිට ඔයා ගැන විස්තර ටිකක් කියමුද..?
ක්ෂේත්‍රයේ අය රංගි රාජපක්ෂ කියලයි මාව හඳුන්වන්නෙ. ඒත් මගේ ඇත්ත නම ප්‍රභාෂ්වරී රංගිකා රාජපක්ෂ. ගෙදරදී වුණත් මට ඉස්සර ඉඳන්ම හැමෝම කතා කරන්නෙ රංගි කියලයි. ඉතින්.. ඒ විදිහටම හැමෝම මට රංගි රාජපක්ෂ කියලා කතා කළා. ඒ නිසා ප්‍රභාෂ්වරී මගෙන් ටිකක් ඈත්වෙලාදෝ කියලත් හිතෙනවා. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි. අක්කා විවාහවෙලයි ඉන්නෙ. මම පදිංචිවෙලා ඉන්නෙ මීපේ.

ළමා කාලය ගැන ටිකක් මතක් කළොත්..?
පුංචි කාලේ ගෙවුණු ජීවිතේ ඇත්තටම සුන්දරයි. අපේ ගේ පිටිපස්සෙ වෙලක් තියෙනවා. ඉතින් ඉස්සර අපේ වැඩේම වෙලට ගිහින් පොඩි පොඩි මාළු අල්ලන එකයි. ගම්බද පැත්තක් වුණාට ඒක හරිම සුන්දර පැත්තක්. ගැමි පරිසරයත් එක්ක ගෙවුණු ළමා කාලය ඇත්තටම සුන්දරයි.

පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද..?
නැටුම්වලට මම ගොඩක් ආසයි. මම පාසලේ නැටුම් විෂය තමයි හැදෑරුවේ. පුංචි කාලේ නර්තන ගුරුවරියක් වෙන්න ආස කළා. ටික කාලයක් ගියාට පස්සෙ මම නීතිඥවරියක් වෙන්නත් ආස කළා.

පාසලේ මොනවගේ චරිතයක්ද..?
මම ඉගෙන ගත්තෙ හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන්. පාසලේදීත් මම හැමෝම එක්ක හිනාවෙලා කතාබහ කරලා හිටපු චරිතයක්. ටිකක් විතර දඟයි. පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. ශිෂ්‍ය නායිකාවක් විදිහට කටයුතු කළා. හැමෝමත් එක්ක හරිම සුහදව වැඩ කරපු චරිතයක් වුණා.

නර්තන ගුරුවරියක් වෙන්න, නීතිඥවරියක් වෙන්න හීන දැකපු ඔබ රංගන ශිල්පිනියක් වුණේ කොහොමද..?
අපේ පැත්තෙ මලීෂා අක්කගේ සැලුන් එකක් තිබුණා. එයාට මහරගමත් සැලුන් එකක් තියෙනවා. එයාගේ මනාලියන් දැක්මවලට මමත් සහභාගි වුණා. ඒවායින් මම ගොඩක් ජනප්‍රිය වුණා. ඒ හැම වෙලාවෙම මලීෂා අක්කා නංගි.. මොනවහරි හොඳ දෙයක් කරන්න කියලා කිව්වා. ඊට පස්සෙ මම නිරූපණය සම්බන්ධව ඉගෙන ගත්තා. ඔය අතරෙදී නුවන් කළුආරච්චි මාර්ගයෙන් මට මුල්ම වෙළෙඳ දැන්වීමට ආරාධනා ලැබුණා. ඒක මන්චි වෙළඳ දැන්වීමක්. ඒකෙන් පස්සෙ මට වෙළෙඳ දැන්වීම් බොහොමයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මේ වෙද්දී වෙළෙඳ දැන්වීම් තිහකට වැඩි ප්‍රමාණයකට සම්බන්ධවෙලා තියෙනවා.

වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වුණු රංගිගේ මුල්ම රංගනය මොකක්ද..?
වෙළෙඳ දැන්වීම්වලටම සහභාගි වෙමින් හිටපු මට නාලන් මෙන්ඩිස් මහතාගේ සල් සපු නා ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. රංගනය පිළිබඳව ලොකු හැදෑරීමක් නොමැතිව හිටපු මට සල් සපු නා ටෙලිනාට්‍ය හරහා බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් වුණා. ඊට පස්සෙ රාවණා ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලබාදීම ගැන රාවණා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක තුෂාර තෙන්නකෝන් අයියට වගේම මුළු කණ්ඩායමටම ස්තූති කරන්න ඕනෙ. ඒකෙ මම රකාගේ චරිතයයි රඟපාන්නෙ. ඒක හරිම ආදරණීය චරිතයක්. මාව ඒ චරිතයට තෝරාගත්තාට තුෂාර අයියට ස්තූති කරන්නම ඕනෙ. ඒ චරිතයට අනුව තුෂාර අයියා මාව මාර විදිහට හැදුවා. රකාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ඇත්තටම ගොඩක් හොඳයි. මම ගොඩක් චරිත රඟපාලා නැහැනෙ. හැබැයි රකාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක බලද්දී මම ගොඩක් සතුටු වෙනවා.

මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද..?
මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවාට ගෙදරින් අකමැත්තක් තිබුණෙ නැහැ. මාව මේ චරිතවලින් දකිද්දී එයාලට හරි සතුටුයි. හැබැයි ගෙදර අය හැම දේකදීම මගේ පස්සෙන් එන්නෙ නැහැ. මාව ඒ අයට විශ්වාසයි. ඒ විශ්වාසය මම රකිනවා. මම තාම මේ ක්ෂේත්‍රයට අලුත්. මම බොහොම හෙමින් ගමනක් යනවා.

ඔබ විලාසිතාවලට දක්වන කැමැත්ත කොයි වගේද..?
ගැහැනු ළමයෙක් වුණාම විලාසිතා කරන්න ඕනනෙ. මට ගැලපෙන, තැනට ගැලපෙන විදිහට මම විලාසිතා කරනවා. මම විලාසිතා කරන්න හරි ආසයි. ළඟදීම තවත් ටෙලිනාට්‍යයක් විකාශනය වෙන්න නියමිතයි. ඒ වගේම ඉදිරියේදී අලුත් නිර්මාණයකටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ වනවිට රංගි පෙම්වතියක්. එහෙම නේද..?
ඔව්.. මේ වෙද්දී මම පෙම්වතියක්. එයා ගැන වැඩි විස්තර අපි පස්සෙ කියමු. එයා මගේ වැඩ කටයුතුවලට උපරිමයෙන් සහයෝගය ලබා දෙනවා. ඒ ආදරය මට ගොඩක් වටිනවා.

 

► Text - Dishani  /  Pic - Sumudu