2019 ජුලි 20 වන සෙනසුරාදා

පෑනේ තුඩ ගැලවිලා ඉහිරිච්ච තීන්ත ටික අපි දෙන්නා පෙම්වතුන් කළා....

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 299

ඕෂධී.. මුලින්ම මනෝජ්ව ඔයාට මුණගැහුණේ කොහොමද..?
මට මුලින්ම මනෝජ්ව මුණගැහුණේ ෆලයිට් එකේදී. මම බැන්කොක් ටුවර් එකක් ගියා. ඒ ගිය ගමනේදී තමයි මනෝජ්ව මට මුණගැහුණේ. මනෝජ් ගුවන් සේවකයෙක් විදිහට රුකියාව කරනවා. 

ඒ මුණගැහීමෙන් පසුව මනෝජ්ව ඕෂධී යාළුවෙක් විදිහට ආශ්‍රය කරද්දී ඒ කාලය ඇතුළත මනෝජ් යාළුවෙක් විදිහට මොනවගේ කෙනෙක්ද?
ඔව්.. ඇත්තටම මුලින්ම මම මනෝජ්ව ආශ්‍රය කළේ යාළුවෙක් විදිහට තමයි. යාළුවෙක් විදිහට ආශ්‍රය කරන කාලේදීත් එයා ගොඩාක් හොඳ කෙනෙක්. මාත් එක්ක ගොඩාක් හිතවත් වුණා. සමීප වුණා. එයාගේ හිත ගොඩාක් හොඳයි.. අපි ඉන්න ක්ෂේත්‍රයත් එක්ක අපිට යාළුවෝ හදාගන්න හරි ලේසියි. යාළුවෝ ඇතිකරගන්න එක මහ ලොකු දෙයක් නොවේ. මම එහෙම ලොකුවට යාළුවෝ ආශ්‍රය කරන කෙනෙක් නෙමේ. හැබැයි මටත් යාළුවෝ හිටියා. ඉතින්.. මනෝජ්වත් මුණගැහිලා ටික කාලයක් යනතුරුම යාළුවෙක් විදිහට තමයි මම ආශ්‍රය කළේ.

එහෙම යාළුවෙක් විදිහට ආශ්‍රය කරපු මනෝජ්ට ආදරය කරන්න, විවාහ කරගන්න තිබුණු සුවිශේෂීකම මොකක්ද?
මම මනෝජ්ව යාළුවෙක් විදිහට ආශ්‍රය කරද්දී තේරුණ දෙයක් තමයි. මනෝජ් හරිම හොඳ කෙනෙක්. ඒ වගේම මගේ රැකියාවට මනෝජ්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මගේ ජීවිතේට ඇතිවෙලා තිබුණු ප්‍රශ්නවලදී වුණත් මනෝජ් මම ගැන හොයලා බැලුවා. හැමදේකදීම මුල්තැන මට දීපු කෙනෙක්. ඒ නිසා ටිකෙන් ටික අපි දෙන්නා ළංවුණා. ඒකේදී ආදරයක් ඇතිවුණා. ටික කාලයකින් මනෝජ් මගේ පෙම්වතා වුණා. ඒ කාලේදීත් එයා මම ගැන හොයලා බැලුවා. ළඟහිටියේ නැතත් ජීවිතේ ඇතිවුණු ඕනෑම ප්‍රශ්නකදී මනෝජ් මාත් එක්කම හිටියා. ඒ නිසා පෙම්වතා වුණු මනෝජ් තවත් ටික කාලයකට පස්සේ සැමියා බවට පත්වුණා. මනෝජ් මට ගොඩාක් ආදරෙයි. සමහර විට ඒ ආදරය ලොකුවට මට පෙන්නන්න, කියන්න, එයාට තේරෙන්නේ නැහැ. හැබැයි එයාගේ ආදරය මට හොඳටම දැනෙනවා.

ඔන්න ඔහොම අපි ඕෂධී එක්ක කතා කරද්දී මනෝජ්ගෙනුත් ඕෂධී ගැන.. ඒ ආදරය පටන්ගත්තු විදිහ ගැන.. මනෝජ්ගෙනුත් ඇහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක්නේ. හැබැයි ඉතින්... ඕෂධී නොකියපු අපූරැ කතාවක් මනෝජ් කිව්වා. මේ ආදර කතාව පටන්ගත්තේ හරිම අහම්බෙන් කියලයි ඒ කතාව ඇහුවට පස්සේ අපිට හිතුණේ.. ඔයාලත් ඒ කතාව අහන්න කැමති වේවී.

මනෝජ්... එදා ඔයාට ඕෂධී ගුවන් යානයේදී මුණගැහෙද්දී ඕෂධී ගැන දැනගෙන හිටියද..? ඕෂධී නියැලිලා ඉන්න ක්ෂේත්‍රය ගැන මනෝජ් දැනගෙන හිටියද..?
ඔව්... හැබැයි මම නම් එයා එක්ක එදා කතා කළේ නැහැ. ප්ලෙන් එකේදී ඕෂධී සැම්සුන් ෆෝන්එකක් අතේ තියාගෙනයි හිටියේ. බැන්කොක්වල ඉඳන් එද්දී ඕෂධී ඒකේ සිම්එක පෑන් තුඩකින් මාරු කරමිනුයි හිටියේ. මම එතනින් යද්දී ඕෂධී පෑන්තුඩ ගහමින් සිම්එක එළියට ගන්න හදද්දී පෑනේතුඩ ගැලවිලා ඕෂධීගේ ඇඟ පුරාම තීන්ත ගෑවිලා තිබුණා. ඒක දැකපු නිසා මම ඕෂධීට මගේ Name tag එකෙන් සිම්එක ගලවලා දුන්නා. හැබැයි එහෙම කරද්දී මම ඕෂධී එක්ක කතා කළේ නැහැ. 

පේලෙන් එකේදී ඕෂධීට වුණු අකරතැබ්බයට මනෝජ් උදව් කළාට අඩුමගානේ ඕෂධී “ස්තූතියි කිව්වෙවත් නැද්ද..?
නැහැ... ඒ වෙලාවේ මම ඒක ගලවලා දීලා ඉක්මනින්ම එතනින් එහාට ගියා.. ඒ නිසා එයා ස්තූති කළාද කියලා මට මතක නැහැ. ඊට කලින් ඉඳන්ම ඕෂධී මගේ face book friend කෙනෙක්. ඉතින් මගේ name tag එකේ නමින් ඕෂධී නම බලාගෙන. පේලේන් එ‍ෙක‍න් බැහැපු ගමන් එයාර්පෝට් එකේදීම මගේ Face book එකට thanks කියලා මැසේජ් එකක් දාලා තිබුණා. හැබැයි ඒක මම දැනගෙන හිටියේ නැහැ. මම එදා ඩියුටි ඉවරවෙලා ගෙදර ගිහින් ටිකක් නිදාගෙන ආයේ නැගිට්ටට පස්සේ තමයි FBඑකට ගිහින් බැලුවේ. ඒ වෙලාවේ තමයි ඕෂධීගේ මැසේජ් එක මම දැක්කේ. ඊට පස්සේ ඉතින් අපි දිගින් දිගටම chat කරන්න පටන්ගත්තා.

යාළුවෙක් විදිහට ඕෂධී මොනවගේ කෙනෙක්ද?
යාළුවෙක් හැටියට ඉන්න කාලේදීත් ඕෂධී බොරු කරන කෙනෙක් නොවේ. එයා ඇත්තටම හරි අවංකයි. හැමදේම මට කිව්වා. එයාගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න පවා මාත් එක්ක කතා කළා. එයා අකමැති දේවල් කැමති දේවල් හැමදේම මට කිව්වා. එයා කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්න චරිතයක් නෙවේ. කිසිම දෙයක් හංගන්නේ නැතිව හැමදේම මට කිව්වා. ඒ නිසා ඒක හොඳ යාළුකමක් වුණා. ටික කාලයක් ගියාට පස්සේ ඒ යාළුකම ආදරයක් වුණා.

ඇත්ත කියන්න දෙන්නගෙන් මුලින්ම ආදරය ප්‍රකාශ කළේ කවුද?
මෙහෙමයි.. මුලින්ම වචනයෙන් ආදරය ප්‍රකාශ කළේ ඕෂධී වුණාට මගේ හිතෙත් එයා ගැන ලොකු ආදරයක් තිබුණා. හැබැයි ඒක මට කියාගන්න බැරිවුණා. දවස දෙක තුනක් අපි මුණගැහුණාට පස්සේ අපි කතාබහ කළා. මම ලස්සන ගෑනු ළමයෙක් දිහා බැලුවත් ඕෂධී වෙනස් විදිහට මම දිහා බැලුවා. ඒ නිසාම ඕෂධීගේ හිතෙත් මම ගැන ආදරයක්, කැමැත්තක් තියෙනවා බව මට තේරුණා. අපි දෙන්නාගේම හිතේ තිබුණු ඒ ආදරය අවසානයේදී ඒකම ආදරයක් වුණා.

මනෝජ්ට මතකද ඕෂධී දිපූ මුල්ම තෑග්ග..?
ඔව්.. මට හොඳට මතකයි.. ඕෂධී මට මුලින්ම පර්ෆියුම් එකක් තෑගි කළා. දෙවැනි වතාවට ඕෂධී මට ඔරලෝසුවක් දුන්නා. මම නම් එයාට මුලින්ම දුන්නේ ලස්සන ඔර්ලෝසුවක්. ඒකට ඕෂධී අදටත් හරි කැමතියි.

ඕෂධී හිටපු ගීත රෑප රචනා, නිරූපණ ප්‍රසංග ආදිය මනෝජ් බලලා තිබුණද?
ඔව්.. ඒවා දැකලා තිබුණා.. හැබැයි මගේ වැඩත් එක්ක ඒවා ඕනකමින් බලන්න මට වෙල්වක් නැහැ. ඉඩ ලැබෙන විදිහට මම ඒවා දැකලා තිබුණා. කෙනාවත් දන්නවා, නිතරම ගුවන්යානාවලදී මේ වගේ ජනප්‍රිය චරිත දකින නිසා මුලදී මට ඕෂධී ගැන එහෙම විශේෂත්වයක් තිබුණේ නැහැ.

ඕෂධීගෙයි, මනෝජ්ගෙයි විවාහය හරිම හදිසියේ කිහිපදෙනෙක් එකතුවකින් සිදුවුණු විවාහයක් නේද?
ඔව්.. අපි විවාහවුණේ දෙසැම්බර් මාසේ. අපි එහෙම ලොකුවට අපේ විවාහ උත්සවය ගත්තේ නැහැ. ඒ දිනයට සතියකට කලින් තමයි අපි දෙන්නා මේ දිනයට විවාහ වෙමු කියන දේ පවා තීරණය කළේ. රැකියාවත් එක්ක නිවාඩු ගන්නඑක මට ටිකක් අමාරැයි. ඉතින් අපි ලොකුවට උත්සව ගත්තේ නැහැ. අපේ ගෙවල්වල කට්ටියයි. තව අපේ ළඟම ටික දෙනෙකුයි එකතුවෙලා පොඩි පාටියක් විතරයි ගත්තේ.

දැන් දෙන්නත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද?
විවාහ වුණාට පස්සේ අපි දෙන්නා වෙනම පදිංචි වුණා. මේ දවස්වල ඕෂධී අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙනවා. ඒ නිසා ටිකක් විතර වැඩ ටික කරගන්න අමාරුයි. හැබැයි තාමත් ගෙදර අපි දෙන්නට උයන පිහන හැමදේම කරන්නේ ඕෂධී. එයාට හරි රසට උයන්න පුළුවන්. මේ දවස්වල නම් චුට්ටක් විතර ඕෂධීට කේන්ති යනවා. එයා තමයි ගෙදර හැම වැඩක්ම කරන්නේ. පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් ඔන්න ඕෂධීට කේන්ති යනවා. හැබැයි ඕෂධී හරිම හරි හොඳයි. එයාගේ ඒ කේන්තිය හරිම චූටි වෙලාවක් විතරයි තියෙන්නේ.

ඔන්න ඔහොම මනෝජ් ඕෂධී ගැන කියද්දී අපි ආයෙමත් ඕෂධීගෙන් මනෝජ් ගැන ඇහුවා...

ඕෂධී.. මනෝජ්ට කේන්ති යනවාද?
එයා එහෙම කේන්ති ගන්න කෙනෙක් නෙමේ. අපි දෙන්නාගෙන් වැඩිපුරම කේන්ති යන්නේ මට. එයා ගොඩාක් ඉවසන නිතරම විහිළුවෙන් ඉන්න කැමති කෙනෙක්. සමහර වෙලාවට එයා කරන විහිළු මට අල්ලන්නේත් නැහැ. ඉතින් එයා විහිළු කරලා කරලා බැරිම තැන එයාට කේන්ති ගියොත් එයාව පාලනය කරගන්න මට තෙරේන්නේ නැහැ. කේන්ති ගියොත්නම් එයාට උපරිමයටම කේන්ති යනවා. හැබැයි එහෙම කේන්ති යන්නේ හරිම කලාතුරකින්. 

මනෝජ් වැඩිපුරම කැමති මොනවාටද?
මම නම් ගෙදර ඉන්න දවස්වලට film බලන්න තමයි කැමති. මම ඉංග්‍රීසි සහ හින්දි ආදර කතා හරියට බලනවා. මනෝජ් නම් ගෙදර ඉන්න වෙලාවට ටිකක් නිදාගන්නවා. එයාගේ රැකියාවත් එක්ක නින්ද කියන දේ හරි අවශ්‍යයි. ඒ නිසා ගෙදර ඉන්න වෙලාවට එයා ටිකක් නිදාගන්නවා. මාත් එක්ක හොඳ ෆිල්ම් එහෙමත් බලනවා. ඒවගේම මනෝජ් රෑට එළියට යන්න හරි ආසයි. එයාගේ රැකියාවත් එක්ක රටවල් එක්ක ගෙවෙන වෙලාවල් වෙනස් වෙනවා. ඒ නිසා රෑට එයා නිදාගන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා අපි දෙන්නා රෑට එළියට යනවා.

මනෝජ්.. විලාසිතාවලට දක්වන කැමැත්ත කොහොමද?
එයාට විලාසිතා ගැන තියෙන දැනුම බින්දුවයි. රට රටවල්වලට ගියාට විලාසිතාවලට ලොකු නැඹුරැවක් එයාගේ නැහැ. මම තමයි එයාට අඳින ඇඳුම් පැළඳුම් තෝරලා දෙන්නේ. හැබැයි එයා මම ලස්සනට අඳිනවාට හරි ආසයි. එයා නිතරම මම අඳින ඇඳුම් ගැන සැළකිළිමත් වෙනවා. මම ලස්සනට ඇඳගෙන යනවට එයා හරි ආසයි. හැබැයි මම ගැන හොයලා බැලුවට එයා ගැන එයා හොයලා බලන්නේ නැහැ.

මේ දිනවල ඕෂධී හරි අපූරු අත්දැකීමකට මුහුණ දෙමින් ඉන්නේ?
ඔව්... මම හිතන්නේ ගැහැනු කෙනෙක් විදිහට ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම දේ මවක් වීමයි. මම ඒ පදවිය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ අත්දැකීම මම හරිම ආසාවෙන් මේ දිනවල අත්විඳිනවා.. ඇත්තටම මේ කාලය හරිම සුන්දරයි. 

ඒ සුභ ආරංචිය මුලින්ම දැනගත්ත මොහොතේදී මනෝජ් ඕෂධී ළඟ හිටියද?
නැහැනේ.. ඒ වෙලාවේ ඇත්තටම මනෝජ් ළඟ හිටියේ නැහැ. මේ අවුරුද්දේ මම මාලදිවයිනට ගියා. ඒ ගමනේදී මට ටිකක් අමාරු වුණා.. මට ලොකු තෙහෙට්ටුවක් දැනුණා. කෑම බීම පවා මට පිරියක් නැතිවුණා. ඒ නිසා මම ඒ ගිය වෙලාවේදී තමයි චෙක් කළේ. ඒ වෙලාවේ මම මනෝජ්ට කෝල්එකක් ගන්න හැඳුවට එයාගේ ෆෝන්එක වැඩ කළේ නැහැ. එයා රැකියාවේ තමයි හිටියේ. ඒ නිසා පැය පහක්, හයක් විතර හිතේ හිරකරගෙන ඉඳලා මනෝජ්ට කතා කරන්න ලැබුණු ගමන්ම තමයි මම ඒ ආරංචිය එයාට කිව්වේ. ඒ වෙලාවේ මනෝජ් ගොඩාක් සතුටු වුණා. දැන් අපේ ලොකුම බලාපොරොත්තුව මගේ දරු පැටියා. ඉතින් එයා අපි දෙන්නා අතරට එනකන් අපි දෙන්නා ආසාවෙන් බලාගෙන ඉන්නවා. මම නම් දුවෙකුටයි, පුතෙකුටයි දෙන්නෙකුටම ආසයි. මනෝජ් නම් පුතෙක්ට තමයි වැඩිපුර ආස. හැබැයි අපි දෙන්නම කවුරු වුණත් හරිම සතුටින් බාරගන්නවා.

මනෝජ් එක්ක අද ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
මනෝජ් එක්ක ගතකරන ජීවිතේ ඇත්තටම විනෝදයි. එයා හරිම විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්. අපි විනෝදයෙන්, සතුටින් ඉන්නේ. එයා හරිම සිම්පල් කෙනෙක්.. මනෝජ් කියන්නේ පොළවේ පයගහලා ජීවත් වෙන මනුස්සයෙක්. ඒ නිසා එයා එක්ක මට ජීවත් වෙන්න හරි ලේසියි. අපි දෙන්නා හරිම සරල දෙන්නෙක්. ඒ සරලකමත් එක්ක අපිට ජීවත් වෙන්න ලේසියි.  

 

► Text - Dishani