2019 ජුලි 20 වන සෙනසුරාදා

කුසලානයේ රස රස කුට්ටි එළියට දාපු නායර්

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

කවුරුත් පුල පුලා බලන් හිටපු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බොහොම උණුසුම් අවසාන මහා තරගයකින් පසුව හමාර වුණේ ක්‍රිකට් මහගෙදරට කිරුළ හිමිකර දෙමින්. එංගලන්තය ලෝක ක්‍රිකට් කිරුළක් තමන් සතුකර ගත්තේ පළවැනි වතාවට හින්දම ලන්ඩනය මේ වෙද්දී බොහොම සැණකෙළි වෙසක් අරන් තියෙනවා කියලත් වාර්තා වෙනවා. කොහොම වුණත් මේ සියලු සිද්ධි අස්සෙදී අවසාන මහා තරගය පැවැත්වෙච්ච ලෝඩ්ස් පිටියේ මාධ්‍ය සගයන් හිටි ‘ප්‍රෙස් බොක්ස් එකේදී සිද්ධවෙච්ච දේවල් වගේම ක්‍රිකට් ආවරණය කරන අතරතුර අත්විඳපු අත්දැකීම් ද බොහොම සිත්ගන්නා සුළු අයුරින් ඉදිරිපත් කරන්න ගල්ෆ් නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන ක්‍රිකට් වාර්තාකරු කේ.ආර්. නායර්ට පුළුවන් වෙලා තියෙනවා. 

නායර් එයාගේ ලිපිය ලියන්නේ ලෝක කුසලාන දිනපොත යන නමිනුයි.  

ඔහු කතාව පටන්ගන්නේ ලෝඩ්ස් පිටිය වෙත ඇතුළුවෙන තැන ඉඳලයි. ඔහුට එතැනදී මුණගැහෙන්නේ ලෝකයේ විවිධ පැතිවලින් අවසාන තරග බලන්න වැල නොකැඩී එන ජනකායක්. 
සමහරු එතැනට ඇවිත් තියෙන්නේ තරගය බලන්න ටිකට්පතක් හෝ නොමැතිවයි. ඒ විදිහේ එක් නවසීලන්ත ජාතිකයෙක් ටිකට්පතක් සොයාගන්න හරි අපූරු ක්‍රමයක් උපයෝගී කරගෙන තිබුණා. “නවසීලන්තයෙ ඉඳන් මේ ආවේ... ටිකට් එක ඕනෑ!  කියලා ලියපු බෝඩ් එකක් උස්සගෙන ඔහු එහේ මෙහේ යන හැටි නායර්ට දකින්න ලැබුණා. 

නායර් දැකපු විදිහට එංගලන්තෙ ජීවත්වෙන බොහෝ ඉන්දියානු ඩයස්පෝරාවේ සාමාජිකයෝ අවසාන මහා තරගයෙ ටිකට් කලින්ම මිලදීගෙන තිබුණා. කොහොමත් කලින් ඉඳන්ම ගොඩක් දෙනෙක් පුරෝකථනය කරලා තිබ්බෙත් ඉන්දියාව ෂුවර් එකටම අවසාන මහා තරගෙට එනවා කියලයි. 

මාධ්‍ය කුටියට ගියාට පස්සෙත් මේ ටිකට් නැති හුටපටේ ගැන කතාව ඇද්දිලා ඇවිත්. එක මාධ්‍යවේදියෙක් කියලා තියෙන්නේ අවසන් පූර්ව තරග ඉවර වෙනකල් අවසාන මහා තරගයෙ ටිකට් විකුණන්න බෑ කියලා නීතියක් ගේන්න ඕනෙ කියලයි. ඒක ඇහිච්ච මාධ්‍ය කුටියේ හිටපු ඉන්දියානු මාධ්‍යවේදියෙකුත් හොඳ උත්තරයක් දීලා. 

තමන්ගේ ටීම් එක අවසාන මහා තරගෙට එනකල් බලන් ඉඳලා ටිකට් ගන්න මනුස්සයට ටිකට් එකක් දෙන්න වටින්නෙම නෑ.
ලෝඩ්ස් පිටියට ඇතුළුවෙන අවස්ථාවේදී එතැන හිටපු ආරක්ෂක නිලධාරීන්ගේ කරුණාවන්ත ආචාරශීලිකම ගැනත් නායර් තමන්ගේ ලිපියේ විස්තර කරනවා. එයා 2011 දී ඉන්දියාවේ තිබුණු ලෝක කුසලාන අවසාන මහා තරගයේ අත්දැකීම් එක්ක ඒක ගලපලා කියලා තියෙනවා. “2011 වෙන්කටේ ක්‍රීඩාංගණේට ඇතුළු වෙද්දී අපිව පරීක්ෂා කළේ තුවක්කු පුරෝගත්ත ආරක්ෂක භටයෝ. කොටින්ම මගේ ලැප්ටොප් එක ඔන් කරන්න කියලත් එයා කිව්වා. එංගලන්තෙදී ඒ කිසි කරදරයක් නැහැ. අයියෝ ඔයාගේ බෑග් එකේ වැදගම්මකට ඇති කිසිම දෙයක් නෑනෙ, මගේ බෑග් එක පරීක්ෂා කරපු ආරක්ෂක නිලධාරියා එහෙම කිව්වා” නායර් පවසනවා. 

නායර් කියන විදිහට නවසීලන්ත කණ්ඩායමටත් ලන්ඩනයේදී ගොඩක් හොඳ ‘සපෝට්% එකක් හම්බවෙලා තිබුණා. විශේෂයෙන්ම වෙනත් රටවලින් එංගලන්තයට පැමිණ සිටින ජනතාව අතර නවසීලන්තය ලොකු ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබිලා. 

නායර්ට ඔහු නැවතී හිටි හෝටලය අසල අවන්හලකදී ලාංකික කාන්තාවකුත් මුණගැහිලා තියෙනවා. දෙන්නා ක්‍රිකට් ගැන කතා කරද්දී ලංකාවේ කාන්තාව නායර්ට කියලා තියෙන්නේ තමන් නවසීලන්තයට ජය ප්‍රාර්ථනා කරන බවයි. “මම ක්‍රිකට් ගැන ගොඩක් දන්නේ නෑ. හැබැයි කේන් විලියම්සන් හරිම හැන්ඩ්සම්. ඉතින් එයාලා දිනනවට මම කැමතියි” අපේ රසිකාවිය හේතු පැහැදිලි කරලා. 

Gulfnews.com ඇසුරෙන් 

► Text - Suranga   /   Pic -  Internet