2019 ජුලි 20 වන සෙනසුරාදා

එක්ක ආවේ බලු දොස්තරලු

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ළඟදී ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙට ගිහින්. එයාගෙ අසල්වැසියෙක්. මැදි වයසෙ කෙනෙක්. ගෙදර ඉන්නෙ තනියම. තනියට ඉන්නෙ ගෙදර බල්ලා. ළමයි ඉන්නෙ වෙනමලු.

ඉතින් මේ අසල්වැසියා හදිසියේ ගෙදරදී කලන්තෙ දාලා වැටිලා. එයාගෙ බල්ලා තමයිලු දොස්තරගෙ ගෙදරට ගිහින් එයාව එක්ක ඇවිත් තියෙන්නෙ.

දැන් ඉස්පිරිතාලෙදී ලෙඩා එක්ක අපේ කලා ශිල්පියා ඒ ගැන කතා කරනවලු.
සත්තු කියන්නෙ මහ පුදුම ජාතියක්. බලන්නකො බල්ලගෙ තිබෙන ශූරකම, අපේ කලා ශිල්පියා කිව්වලු.
ඔව් ඔව්.. බල්ලො පුදුම ජාතියක් තමයි. ඌ එක්කගෙන ආවෙ බලු දොස්තර කෙනෙක්. පස්සෙ ඒ දොස්තර තමයි මාව ඉස්පිරිතාලෙට ගෙනාවෙ, ලෙඩා කිව්වලු.

 

කාගෙද ගොන් වස්සා කියන්න කලින් මූණ පෙන්නන්න

එක්තරා ආයතනයකින් අපේ ප්‍රවීණ ගායන ශිල්පියෙකුගේ ගෙදරට වැදගත් ලියවිල්ලක් හදිසියෙන් යවන්න තිබුණලු.
ආයතනයේ තරුණ සේවකයකු අතේ ඒ ලිපිය යැව්වලු, ඔහුගේ නිවෙසේ ලිපිනයත් ලීයා දීලා.

කොල්ලට කොහොම හරි තැන හොයාගන්න බැරිව, ඔෆිස් එකේ කළමනාකරුට කෝල් කර කර යනවලු බයික් එකේ.
ඔන්න දැන් කියාපු ගේ ළඟට කොල්ලා ආවලු.

සර් මම දැන් ගේ ළඟ ඉන්නෙ.. කොල්ලා මැනේජර්ට කෝල් කරලා කිව්වලු.
හරි දැන් බෙල් එක ගහලා, ඒ මහත්තයා කාගෙද ගොන් වස්සා කියන්න කලින් මූණ පෙන්නන්න.. මැනේජර් කොල්ලට කිව්වලු.

මේ ලිපිය ගෙනිහිල්ලා තියෙන්නෙ අපේ ප්‍රවීණ ගායක ඇනස්ලි මාලවන මහතාගෙ ගෙදරට.

 

ඒ ලෙවල් එකටද ආවෙ?

මීට අවුරුදු දෙකකට විතර කලින් ඒලෙවල් කියලා චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුණා.

ඔය චිත්‍රපටය හදන කාලෙ සිදුවුණු රසවත් සිද්ධියක් ඒකෙ වැඩ කරපු කෙනෙක් ළඟදී සිහිපත් කළා.
ඒකෙ ළමයි ගොඩාක් ඉන්න සීන් එකක් කරන්න අපි ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගියා. ප්‍රින්සිපල් කෙනෙකුගෙ චරිතෙ කරන්න එක්තරා හිතවතෙකුට එන්න කිව්වා දර්ශන තලයට. ඉස්කෝලෙ ඔෆිස් එකේ එළියේ ඇවිත් වාඩිවෙලා ඉන්න වෙලාවක් දුන්නා. දර්ශන තලයේ වැඩ කටයුතු සූදානම් කරමින් ඉන්නකොට අධ්‍යක්ෂකවරයා එයාගෙ ගෝලයෙකුට කිව්වා, මේ වගේ තලත්තෑනි මනුස්සයෙක් වාඩිවෙලා ඇති විදුහල්පති කාර්යාලය ළඟ, එයාව එක්කරගෙන එන්න කියලා.

කොල්ලා ගියා. අතන මැදිවිය පසුකළ මහත්තුරු දෙන්නෙක් වාඩිවෙලා හිටියලු. මෙයා එක්කෙනෙක් ගාවට ගිහින් ඇහුවලු ඒ ලෙවල් එකටද ආවෙ කියලා. අර මනුස්සයා තිගැස්සුණාලු. එයා සුප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. මම ඒලෙවල් කරලා ගොඩක් කල් කියලා කොල්ලට කියලා.

 

► Text - Mithra