2019 ජුලි 13 වන සෙනසුරාදා

තාත්තගෙන් ගුටිකාපු දවසේ මම මටම පොරොන්දුවක් වුණා...

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 294

පවිත්‍රා.. අපිට ඔයා ගැන විස්තරයක් කරමු..?
මගේ නම පවිත්‍රා උමයංගනී. මගේ පවුලේ ඉන්නෙ මමයි තාත්තයි අම්මයි ආච්චියි විතරයි. මම පවුලේ එකම දරුවා. මගේ තාත්තා ධර්මකීර්ති ශ්‍රී රංජන්. තාත්තා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස සේවය කරනවා. මගේ අම්මා සරෝජා කන්නංගර. අම්මා සංගීත ගුරු උපදේශිකාවක් ලෙස සේවය කරනවා.

පවුලේ එකම දරුවා වුණු ඔබගේ ළමා කාලයේ මතක අවදි කළොත්..?
ළමා කාලෙදී මට යාළුවෝ ගොඩක් හිටියා. ඒ අය නිසා තනිකම කියන දේ මට වැඩිය දැනුණේ නැහැ. මම පාසල් තුනකින් ඉගෙන ගත්තා. මුලින්ම අම්බලන්ගොඩ සිරිපති විද්‍යාලයේ ටික කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සෙ හඳපාන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයෙනුත් අවසානයේදී හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙනුත් ඉගෙන ගත්තා. තක්ෂිලාවේ යාළුවෝ එක්ක ගෙවුණු කාලයට මම ගොඩක් කැමතියි.

පවිත්‍රාගේ මව සංගීතයට ළැදි, සංගීතයට නැඹුරු කෙනෙක් නිසාම පවිත්‍රාත් ළමා කාලයෙදීම සංගීතයට නැඹුරු වුණා. එහෙමද..? 
ඔව්.. ඒකත් ලොකු හේතුවක් වුණා. ඒ වගේම මගේ අම්මගේ තාත්තා වන ආරියදාස කන්නංගර, ඒ කියන්නෙ මගේ සීයාත් ඒ කාලේ සංගීතය අතින් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ බොහෝ ජනප්‍රියයි. සීයා හොඳ සංගීත ගුරැවරයෙක්. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම මම දැක්කෙ, ඇහුවෙ සංගීතයම තමයි. පුංචි කාලේ ඉඳන්ම මගේ හීනය වුණේ සංගීත ගුරුවරියක් වීමයි. තේරෙන වයසට ආවම මගේ ලොකුම හීනය වු‍ණේ සංගීත අංශයෙන් කථිකාචාර්යවරියක් වීමයි. හැබැයි පස්සෙ මම නොහිතපු විදිහට මගේ අනාගත ගමන වෙනස් වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවට පස්සෙත් මගේ මුල්ම තේරීම වුණේ සංගීතය. සඳරශ්මි තරුෂිකා කියන මගේ හොඳම යාළුවා විශ්වවිද්‍යාලයෙදී මනෝ විද්‍යා විෂය හැදෑරුවා. හිතාගන්නත් බැරි විදිහට මමත් මනෝ විද්‍යාව විශේෂවේදී උපාධිය කරන්න තෝරාගත්තා. ඒ ගැන අද මම ගොඩක් සතුටු වෙනවා. සංගීතයට මනෝ විද්‍යාවත් එකතු වුණාම ඒකත් වෙනස්, හොඳ දෙයක් කියලා මට හිතෙනවා. 

මේ වෙලාවෙදී මට මතක් වෙන සිදුවීමක් තියෙනවා. උසස් පෙළ හදාරණ කාලෙදී මම කරපු වැරැද්දකට තාත්තා මට දඬුවම් කළා. එදා තාත්තා මට ගැහුවා. ඒ තමයි ජීවිතයටම තාත්තා මට දඬුවම් කරපු එකම අවස්ථාව. එදා මට හොඳටම දුක හිතුණා. මම කරපු වැරැද්ද එදායින් පසුව ආයේ කරන්නෙ නැහැ කියලා එදා මම තාත්තාට පොරොන්දු වුණා. ඒ විතරක් නෙමේ මගේ අධ්‍යාපනයට මුල්තැන දීලා වැඩ කරනවා කියලා මම හිතාගත්තා. මම හිතන්නෙ එදා මම මටම වුණු පොරොන්දුව නිසාම වෙන්නත් ඇති මේ තරමටම අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් වුණේ.

පුංචි කාලේ ආසාවෙන් ඉගෙන ගත්ත සංගීතය විශ්වවිද්‍යාලය ජීවිතය තුළදී එළිදක්වන්න ඔබට අවස්ථාව ලැබුණේ නැද්ද..?
විශ්වවිද්‍යාලයේ ගීත තරගවලට මම සහභාගි වුණා. ඒවායිනුත් මට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබද්දීම 2017 වසරෙදී රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට ඉදිරිපත් වුණා. ඒ තරගයේ අවසාන තිස් හය දෙනා අතරින් තිස්දෙනා තෝරන අවස්ථාවෙදී මටත් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒකත් ජීවිතේ ලොකු අත්දැකීමක්. ඒ තරගයට මාව ඉදිරිපත් කළේ මගේ අම්මයි තාත්තයි. මීට පෙර මම ඒ වගේ රියැලිටි තරගයකට සහභාගි වුණේ නැහැ. මේ පළවෙනි වතාව වගේම ආයෙමත් ඒ වගේ රියැලිටි තරගයකට සහභාගි වීමේ අදහසකුත් නැහැ.

පවිත්‍රාගෙ පියාත් ගී පද රචනා කරනවා..?
ඔව්.. තාත්තා ගීත රචනා කරනවා. මේ වනවිට තාත්තා ලියපු ගීත කිහිපයක්ම තියෙනවා. තාම ඒවා කාටවත් ගායනා කරන්න ලබාදීලා නැහැ. ළඟදීම දවසක තාත්තා ලියපු පදරචනාවක් ගායනා කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ඔබ විලාසිතාවලට දක්වන කැමැත්ත කොයි වගේද..?
විලාසිතාවලට කැමතියි. මම විලාසිතා කරනවා. හැබැයි ඒ මට ගැලපෙන විලාසිතා විතරයි. මට ගැලපෙන, තැනට ගැලපෙන විලාසිතා තමයි මම කරන්නෙ.

මේ දවස්වල මොනවද කරන්නෙ...?
ළඟදී මම ජාතික  රෑපවාහිනියේ සංගීත වැඩසටහනකට සහභාගි වුණා. ඒ වැඩසටහනෙන් පස්සෙ බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම මම ගුවන්විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායිකාවකුත් වෙනවා. මම වැඩිපුරම කැමති සුජාතා අත්තනායක, නිරෝෂා විරාජිනී වගේ අයගේ ගීතවලටයි. ඒ වගේම මහාචාර්ය ඥානදාස පෙරේරා සර්ගේ සංගීත තෙරපි වැඩසටහන්වල වගේම කවුන්සලින් වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව පොළොන්නරැවේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉන්න අයට උපදෙස් ලබාදීමේ වැඩසටහනකටත් සහභාගි වෙනවා.

පවිත්‍රාගේ අනාගත බලාපොරොත්තු මොනවද..?
පුංචි කාලේ ඉඳන්ම සංගීත ගුරුවරියක් වෙන්න ආසා කළා. මනෝ විද්‍යා අංශයෙන් කථිකාචාර්යවරියක් වෙන ආසාවකුත් මට තියෙනවා. මාධ්‍ය සහ සංගීතය එකතු කරලා අලුත් දෙයක් හඳුන්වා දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ මනෝ උපදේශිකාවක් වෙන්නත් ලොකු ආසාවක් කැමැත්තක් තියෙනවා.

 

Text - Dishani  /  Pic - Sumudu