2019 ජුලි 13 වන සෙනසුරාදා

මුල්ම කාලයේ අපි දෙන්නා අතරෙ එහෙම ඇටෑක් එකක් තිබුණා..

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 313

නිමන්තිට මතකද මුලින්ම ප්‍රභාත්ව මුණගැහුණු කාලය..?
ඔව්.. මට හරියටම ප්‍රභාත් එක්ක කතාබහ කරන්න, ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ ජෝ අබේවික්‍රම මහත්තයගේ සබඳ පබිලිස් ටෙලිනාට්‍යයෙනුයි. මම ඉස්කෝලෙ යන කාලෙදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයේ රජ මාලිගාවේ සිතාර් වාදනය කරන ගෑනු ළමයෙක් විදිහට පොඩි කොටසක් රඟපාන්න අවස්ථාව ලැබුණා. එදත් මට ප්‍රභාත්ව මුණගැහුණා. හැබැයි අපිට එදා එක වචනයක්වත් කතා කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. එතකොට අපි ඉස්කෝලෙ යන වයසේ ඉන්න පොඩි ළමයිනෙ.. සිතාර් එක ගැහුවා. ගෙදර ආවා. හැබැයි සබඳ පබිලිස් ටෙලිනාට්‍යයෙදී අපිට එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

සබඳ පබිලිස් ටෙලිනාට්‍යයෙදී නිමන්තිටයි ප්‍රභාත්ටයි කතා කරන්න අවස්ථාව ලැබුණද..?
ඔව් ඔව්.. ඒ ටෙලිනාට්‍යයේ ප්‍රභාත් කැමරමන් විදිහටයි වැඩ කළේ. ඒ නාට්‍යයේ මම රඟපාපු චරිතයට මුලින්ම රඟපාන්න හිටියෙ වෙන නිළියක්. හදිස්සියෙ මොකක්දෝ ප්‍රශ්නයක් නිසා රූගත කිරීම් පටන් ගන්න දවස් දෙකකට කලිනුයි මට ඒ චරිතයට කතා කළේ. ඉතින් ජෝ අංකල්ගේ වැඩක් නිසා මම ඒ අවස්ථාව හරිම සතුටින් බාරගත්තා.

ඔබගෙයි ප්‍රභාත්ගෙයි ආදර කතාව පටන් ගත්තෙත් සබඳ පබිලිස් නාට්‍ය හරහාද..?
ඔව්.. බොහෝ ආදර කතා වගේම අපේ ආදරයත් මුලින්ම පටන් ගත්තෙ රණ්ඩුවකින්. ඒ දවස්වල අපි දෙන්නට දෙන්නව පෙන්නන්න බැහැ. ඒ කාලේ මම මගේ කොණ්ඩෙ රතු පාටට පාට කරලයි තිබුණෙ. ඒක රූගත කිරීම්වලදී ලයිට් එකට ටිකක් වැඩියෙන් පේනවා. ඒ ටෙලිනාට්‍යයේ මට රෙද්ද හැට්ටෙ අඳින ඩිංගිරි මැණිකා කියන චරිතයයි කරන්න තිබුණෙ. ඒ නිසා ඒකට ප්‍රභාත් සෑහෙන්න මට දොස් කිව්වා. කට්ටිය එක්ක එකතුවෙලා හින්ට් පාස් කළා. රෙදි අඳින අය කොණ්ඩෙ පාට කරනවද? මේ නාට්‍යවලට වෙන නිළියො නැද්ද? කිය කියා මාව බයිට් කළා. මාත් ඒවාට ඇයි මගේ කොණ්ඩෙ ඔයාට ප්‍රශ්නයක්ද? වගේ දේවල් කිය කියා එයත් එක්ක එකට එක කිව්වා. මුල් කාලෙදී ඒ වගේ ඇටෑක් එකක් අපි දෙන්න අතරේ තිබුණා.

මෙහෙම රණ්ඩු වුණු දෙන්නා සමාදාන වුණේ කොහොමද..?
ඒ කාලෙදී අපි දෙන්නම සමාන වුණේ එකම එක දෙයකට විතරයි. ඒ කාලේ ෆෝන්වල නයාගේ ගේම් එකක් තිබුණා. අපි දෙන්නටම තිබුණේ එකම වර්ගයේ ෆෝන් දෙකක්. ප්‍රභාතුත් ඒ ගේම් එකට හරි කැමතියි. මාත් ඒ වගේම කැමතියි. රූගත කිරීමක් නැති හැම වෙලේම පැත්තකට වෙලා ෆෝන් එකෙන් මේ ගේම් එක සෙල්ලම් කරන එක තමයි මගේ වැඩේ. එක දවසක් මගේ ෆෝන් එකේ බැටරි බැහැලා. මම ෂේප් එකේ ප්‍රභාත් ළඟට ගිහින් එයාගෙන් ෆෝන් එක ඉල්ලුවා. එයා ෆෝන් එක දුන්නා. ඊට පස්සෙ අපි හොඳට කතාබහ කළා. ටික දවසක් යද්දී අපි හොඳ යාළුවෝ වුණා.

සබඳ පබිලිස් අවසානයෙදී නිමන්තියි ප්‍රභාතුයි පෙම්වතුන්. එහෙමද..?
ඔව්.. යාළුවෙලා ආදරය කරන්න පටන්ගන්න කොටත් මාසයක් ගිහින් ඉවරයි. මාසයක විතර කාලයක් තුළදී අපි යාළුවෙලත් ඉවරයි. රූගත කරන කාලෙදී මට ගෙදරින් වෙනම විවාහ යෝජනාවක් ගෙනල්ලා තිබුණා. අම්මලා ඒකට කැමති වුණාට මම ඒකට කැමති වුණේ නැහැ. ඔය කාලෙදීම ප්‍රභාතුත් මට යෝජනාවක් ගෙනාවා. මම ඒ වෙලාවෙදී අම්මලා ගෙනාපු විවාහ යෝජනාව ගැන ප්‍රභාත්ට කිව්වා. මම එයාව ඇහැටවත් දැකලා නැහැ. ඔයා ගෙදර ඇවිත් අම්මලාගෙන් අහන්න කියලා මම කිව්වා. හැබැයි ඒ වෙද්දීත් මාත් ප්‍රභාත්ට කැමැත්තෙනුයි හිටියෙ.

එයාට කැමති වෙන්න.. එයාට ආදරය කරන්න විවාහ කර ගන්න තිබුණු සුවිශේෂීතාවය මොකක්ද..?
ඒක තමයි මාත් කල්පනා කරන්නෙ. සමහර වෙලාවට මම ඒක ප්‍රභාත්ගෙනුත් අහනවා. සබඳ පබිලිස් රෑගත කිරීම් මාසයක් වගේ තිබුණනෙ. ඒ කාලය තුළදී ප්‍රභාත් ගැන මට ලොකු පැහැදීමක් ඇතිවුණා. ප්‍රභාත් කියන්නෙ හරිම සරල මනුස්සයෙක්. බොරු සෝභන එයා ළඟ නැහැ. කරන රුකියාව පුදුමාකාර විදිහට කැපවීමෙන් කරනවා. ඒ වෙද්දීත් එයාගේ තාත්තා නැතිවෙලා මාස තුනක් විතර ඇති. තාත්තා ගැන කතා කරද්දී, ගෙදර අය ගැන කතා කරද්දී ප්‍රභාත් පුදුම විදිහට සංවේදී වෙනවා. එයා මව්පියන්ට පුදුම විදිහට ආදරය කරනවා. එහෙම මව්පියන්ට ආදරය කරන කෙනෙක් ම‍ගේ මව්පියන්ටත් ආදරය කරනවා කියලා මම විශ්වාස කළා. මව්පියන්ට ආදරය නොකරන කෙනෙක්ගෙන් බිරියට ආදරය බලාපොරොත්තු වෙන්න බැහැනෙ. ඒ කාලේ මගේ පොඩි වයසට මට ප්‍රභාත්ගේ ඒ හොඳ ගතිගුණ තේරුණා. ඒක තමයි ප්‍රභාත්ට කැමති වෙන්න මුල්ම හේතුව වුණේ.  

එයා ගෙදරින් ඇවිත් අහන්න කලින් නිමන්ති එයා ගැන ගෙදරට කිව්වද..?
මෙහෙමනෙ.. මම මුලින්ම කිව්වෙ මගේ අයියටයි අක්කටයි. දවසක් අයියයි අක්කයි (නිමන්තිගේ අයියාගේ බිරිය) මමයි සතුටු උයනට ගියා. ඒ කාලේ අයියගේ පුතා, දෙව්නක (ඝරසර්ප චිත්‍රපටයේ රඟපෑ) හරිම චූටියි. ඉතින් අපි එදා ප්‍රභාත්ට සතුටු උයනට එන්න කිව්වා. මට තාම මතකයි ප්‍රභාත් එදා එද්දී දෙව්නකට ලොකු තෑග්ගක් අරගෙන ආවා. (මස්සිනාවයි නෑනාවයි ෂේප් කර ගන්න වෙන්න ඇති). එදා ප්‍රභාත් එක්ක කතා කරද්දී අයියටයි අක්කටයි ප්‍රභාත් ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. එයාලා ප්‍රභාත්ට ගෙදර ඇවිත් අම්මලා එක්ක කතා කරන්න කියලා කිව්වා. අයියයි අක්කයි අම්මට ප්‍රභාත් ගැන විස්තරේ කිව්වා. ඊට පස්සෙ ප්‍රභාත් අපේ ගෙදර ඇවිත් අම්මලා එක්ක කතාබහ කළාම අපි දෙන්නට කැමැත්ත ලැබුණා.

ඔයා ප්‍රභාත්ට දීපු මුල්ම තෑග්ග මතකද..?
ඔව්.. මතකයි. එයා මට මුලින්ම ජැකට් එකක් වගේ ලස්සන ෂර්ට් එකක් දුන්නා. කළුයි දුඹුරුයි මිශ්‍ර වුණු ඒ ෂර්ට් එක තාමත් මා ළඟ හරිම පරිස්සමට තියෙනවා.

ප්‍රභාත් නිමන්තිට මුලින්ම දුන්නෙ මොනවද..?
මම එයාට හොඳ පර්ෆියුම් එකකුයි ආෆ්ටර් ෂේව් එකකුයි තෑගි කළා.

නිමන්ති... ප්‍රභාත් එක්ක විවාහ වුණේ කොයි කාලෙද..?
ප්‍රභාත් එක්ක විවාහ වුණේ 2006 අවුරුද්දෙ. යාළුවෙලා අවුරුදු පහක් විතර වුණාට පස්සෙ තමයි අපි විවාහ වුණේ. අපේ විවාහයේ හැමදේම සැලසුම් කළේ අපි දෙන්නමයි. අපිට කියන්න බොහෝ දෙනෙක් හිටියා. අපි දෙන්නා එකතු කරගත්ත සල්ලිවලිනුයි විවාහ උත්සවය ගත්තෙ. අපි දෙන්නා මහ ලොකු සල්ලිකාරයෝ නෙමේ. මම නිළියක් විදිහට සල්ලි හම්බ කළා. ප්‍රභාත් කැමරා ශිල්පියෙක් විදිහට හම්බ කළා. අපි විවාහ උත්සවය සිය දෙනෙක්ට කිව්වා. එක රුපියලක්වත් කිසිම කෙනෙක්ගෙන් ණයට ගත්තෙ නැහැ. ණය වුණෙත් නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් කිසිම දෙයකින් අනුග්‍රහය දැරුවෙත් නැහැ. අද කාලෙනම් නළු නිළියන්ගෙ විවාහ උත්සව වෙනුවෙන් ඕනෑ තරම් අනුග්‍රාහකයන් ඉන්නවනෙ.. අපි දෙන්නා විවාහ උත්සවය ගත්තෙ අපි හම්බ කරගත්ත සල්ලි වලින්. ඒ නිසා විවාහයෙන් පස්සෙ අපි දෙන්නට ණය බේරීම සම්බන්ධව කිසිම බරක් තිබුණෙ නැහැ. හැම චාරිත්‍රයක්ම ඇතිව වැල්ලවත්ත සෆයාර් හෝටලයේ අපේ විවාහ උත්සවය ගත්තා. 

ප්‍රභාත්ට කේන්ති යනවද..?
ඔව්.. ගොඩක් කේන්ති යනවා. එයාට කේන්ති ගියාම මටත් කේන්ති යනවා. ඒ කාලෙනම් එයාට හොස්ස ළඟින් මැස්ස යන්න බැහැ. පුදුම තරහක් යන්නෙ. ඒ වෙලාවට මම පොඩ්ඩක් අඬනවා. හැබැයි දැන් එයාට ඒ තරම්නම් කේන්ති යන්නෙ නැහැ. 

විවාහ වෙන්න කලින් පෙම්වතුන් විදිහට සිටින කාලෙදී දෙන්නා අතර ඇතිවුණු පුංචි පුංචි තරහවීම්, අමනාපකම්වලින් පස්සෙ මුලින්ම කතා කරන්නෙ කවුද..?
ඔව්.. අපි දෙන්නා එහෙම තරහවෙලා තියෙනවා. අතරමඟදී මම වාහනයෙන් බැහැලා ගිහින් තියෙනවා. සමහර වෙලාවට ප්‍රභාත්ට තරහ ගියාම එයා සිගරැට් පත්තු කරගෙන මට පේන්න මගේ ඉස්සරහෙන් ඇවිදගෙන යනවා. ඒත් ඒ හැම වෙලාවකදීම දෙන්නගෙන් කවුරුහරි මුලින් කතාබහ කරලා ආයේ යාළු වෙනවා. එයා නැතිව මට ඉන්න බැහැ කියලා මට හැම වෙලේම දැනිලා තියෙනවා.

මුලින්ම පවුලට එකතු වුණේ පුතෙක්. එහෙම නේද..?
ඔව්.. ප්‍රභාත් හරි ආසාවෙන් හිටියෙත් පුතෙක්ටයි. අපි ස්කෑන් කරලා බලද්දී පුතෙක් කියලා දොස්තරවරු කියනකොට එයා පුදුම විදිහට සතුටු වුණා. මමනම් මුලින්ම ආසාවෙන් හිටියෙ දුවෙකුට. හැබැයි පුතෙක් කියලා කිව්වට පස්සෙ ප්‍රභාත්ගෙ බලාපොරොත්තුව ඉෂ්ඨවෙන නිසා මාත් ඒකට කැමති වුණා. පුතා ලැබිලා අවුරුදු හතකට පස්සෙ දුවත් ඉපදුණා. දැන් අපේ පවුල සම්පූර්ණයි.

අද වෙද්දී ප්‍රභාත් නිෂ්පාදකවරයෙක් විදිහටත් කටයුතු කරනවා..?
ඔව්.. එයා ගොඩක් උත්සාහයෙන් දියුණුවෙන කෙනෙක්. ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න ඕනෙ කියලා හිතලා කැමරමන් කෙනෙක් වෙලා ඉන්න කාලෙදීම එයා පොඩ්ඩ පොඩ්ඩ අවශ්‍ය කරන බඩු එකතු කර ගත්තා. ඒ අවශ්‍ය පරිසරය සකස් කර ගත්තා. මාත් එක්කම ටී.වී. නාලිකාවලට ගිහින් නිෂ්පාදන සම්බන්ධ ලියවිලි අපි ඉදිරිපත් කළා. අපේ ලියවිලි ප්‍රතික්ෂේප වුණු තැන් අනන්තයි. අප්‍රමාණයි. සමහරු අපිට මේවා කරන්න බැහැ කියලා කිව්වා. අද අපිට චැනල්වලින් කතා කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ප්‍රභාත් කරන වැඩේ හරි පිළිවෙලට කරනවා. කවදාවත් බාල විදිහට වැඩේ කරන්නෙ නැහැ.

ගෙදර වැඩවලට ප්‍රභාත්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
ගෙදර වැඩවලටනම් ප්‍රභාත්ගෙන් සහයෝගයක් ලැබෙන්නෙම නැති තරම්. හැබැයි කවදාවත් ප්‍රභාත් එයාගේ යුතුකම් මඟහරින්නෙ නැහැ. පොඩි දෙන්නා මොනවාහරි කියපු ගමන් ප්‍රභාත් ඒ දේ කරනවා. එයා ට්‍රිප් යන්න ආසයි. දරුවෝ දෙන්නත් ආසයි. ඉතින් විවේකයක් ලැබුණු ගමන් අපි ඇවිදින්න යනවා.

එයා වගේ කෙනෙක් ජීවිතේට ලැබීම ගැන අද නිමන්තිට මොකද හිතෙන්නෙ..?
ඇත්තටම ප්‍රභාත් එක්ක ගෙවන ජීවිතේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. අද මම සාර්ථකව සතුටින් ගත කරන්නෙ ප්‍රභාත් නිසයි. මොන තරම් කාර්යබහුල වුණත් එයා මම ගැන, දරුවන් ගැන හොයලා බලනවා. 
ඔන්න ඔහොම තමයි නිමන්ති එයාගේ ආදරණීය සැමියා වන ප්‍රභාත් ගැන කිව්වෙ. දැන් අපි බලමු ප්‍රභාත්, නිමන්ති ගැන කියන්නෙ මොනවද කියලා.

සබඳ පබිලිස් ටෙලිනාට්‍යයේ ඩිංගිරි මැණිකේට ප්‍රභාත්ගේ හිත ගියේ ඇයි..?
සබඳ පබිලිස් ටෙලිනාට්‍යයට කලින් මම නිම්මිව අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයෙදී දැකලා තිබුණා. ඉස්කෝලෙ යන ගමන් ආපු ඒ ගමන ගැන මගේ මතකයක් තිබුණා. ඊට පස්සෙ වෙළෙඳ දැන්වීම් කිහිපයකින් මම නිම්මිව දැකලා තිබුණා. ඊට බොහෝ කාලයකට පසුව ජෝ අංකල් නිෂ්පාදනය කළ මාපිටිගම මහතා අධ්‍යක්ෂණය කළ සබඳ පබිලිස් ටෙලිනාට්‍යයේ නිම්මි ප්‍රධාන චරිතය රඟපෑවා. මම කැමරා කළා. මුලින්නම් දෙන්නා අතර චූටි චූටි හිත් රිදීම් එහෙමත් ඇතිවුණා. පස්සෙ ඒක ෂේප් වුණා.

නිමන්තිට ආදරය කරන්න, නිමන්තිව ඔබගේ හිත ළඟ නතර වෙන්න තිබුණු සුවිශේෂීතා මොනවද..?
මේ ටෙලිනාට්‍ය අපි මාසයක් විතර රූගත කිරීම් කළා. රූගත කිරීම් අවසන් කරන්න සතියක් විතර තියෙද්දී තමයි නිම්මි ගැන මට ආදරයක් ඇති වුණේ. නිම්මි එයාගේ පවුලේ අයට හරි සමීපයි. මමත් ඒ වගෙයි. ඒ දේවලුත් එක්ක මට නිම්මිට ආදරය කරන්න හිතුණා. ඇත්තටම එදා මම ගත්ත තීරණය සීයට සීයක්ම නිවැරදියි.

මතකද නිමන්ති ඔයාට දීපු මුල්ම තෑග්ග..?
ඔව්.. හොඳට මතකයි. එයාට මම ආෆ්ටර් ෂේව් එකකුයි පර්ෆියුම් එකකුයි තෑගි කළා. මම එයා ජැකට් එකක් දුන්නා. ඒකට නිම්මි හරි ආසයි. (දෙන්නගේ ආදරණීය මතකයන්නම් තවමත් හොඳට මතකයි වගේ.)

නිමන්ති කියන්නෙ මොනවගේ කෙනෙක්ද..?
මට අක්කා කෙනෙක් ඉන්නවා. නංගි කෙනෙක් ඉන්නවා. මගේ අම්මා වගේම ඒ දෙන්නත් මගේ හැමදේම බලලා කරලා දෙනවා. ඒ අය මට හරි ආදරෙයි. නිම්මි මට මුණගැහුණට පස්සෙත් ඒ ආදරයෙ වෙනසක් නැහැ. එයා මගේ අම්මා අක්කා නංගි වගේම තමයි. මට නිම්මි වෙලාවකට අම්මා කෙනෙක් වගෙයි. සහෝදරියක් වගෙයි. වෙලාවකට හොඳ යාළුවෙක් වගෙයි. නිම්මි තරම් හොඳ කෙනෙක් මට කවදාවත් මුණගැහෙන එකක් නැහැ.

එයාගේ විලාසිතා ගැන ප්‍රභාත් මොකද හිතන්නෙ..?
එයා විලාසිතාවලට ප්‍රියයි. හැබැයි ඒක එයාට ගැලපෙන්න කරනවා හැරෙන්න කවදාවත් අනවශ්‍ය විදිහට ඒවා කරන්නෙ නැහැ. විවාහ වෙන්න කලින් ඉඳන්ම එයා එයාගේ ඇඳුම් ගැන සැලකිලිමත් වුණා. දැන් වුණත් විවාහ වුණු දරුවන් දෙන්නෙකුගෙ මවක් විදිහටයි එයා ඇඳුම් පැළඳුම් තෝරාගන්නෙ. එයාගේ විලාසිතාවලට මම කැමතියි.

නිමන්ති වගේ කෙනෙක් ජීවිතයට ළං වුණු එක ගැන ප්‍රභාත්ට මොකද හිතෙන්නෙ..?
අද මම ගොඩක් සතුටින් ජීවිතය ගත කරන සැමියෙක්. තාත්තා කෙනෙක්. මට හොඳ ආදරණීය බිරියක් ලැබුණා. මගේ අම්මට මම පණ වගේ ආදරෙයි. ඒක හැමෝම දන්නවා. මගේ සහෝදරියන්ට මම හරි ආදරෙයි. නිම්මිටත් මම ඒ වගේම ආදරෙයි. අම්මගෙන් ලැබුණු ආදරය වගේම හරිම ආදරණීය ආදරයක් නිම්මිගෙන් මට ලැබෙනවා.

 

► Text - Dishani